2018 මැයි 12 වන සෙනසුරාදා

මගේ අම්මා වෙන්න කාටවත් බෑ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 152

කර්ම භූමි 11

කුඩම්මාගේ මූණ බලන්න තිබුණු අකමැත්ත නිසාම ඉස්කෝලෙට නොයන හැම දවසකම මම උදේ ගඟට යන්න පුරුදු වුණා. අන්තිමේදී කුඩම්මා මට උදේට දෙන කිරි එකත් නතර කරලා දැම්මා. ගඟ ඉවුරට වෙලා පැය ගණනක් සමහර දවස්වල මම ගඟ ඉවුරේ නිදාගෙන හිටියා. උදේ ඉරඑළිය ඇස් අස්සට ඇවිත් මාව ඇහැරවනකම් මම ගඟ ඉවුරේ නිදාගෙන හිටියා. වෙලාවකට අනිල් මාමා ඇවිත් මාව හෙමින් සැරේ තට්ටුවක් දාලා ඇහැරෙව්වා. ගඟ දෙපස ඉවුරු දෑල හැමදාමත් උදේට පිපුණු දම්පාට මල් මට අම්මගේ විලවුන් කුප්පියේ සුවඳ මතක් කරලා දුන්නා. 

අම්මා ජීවිතෙන් කොයිතරම් ඈතකට ගියත් අම්මත් එක්ක තියෙන බැඳීම දවසින් දවස මගේ ජීවිතේ ගැඹුරටම කිඳා බහින්න පටන් ගත්තා. මම ඒ ගඟ ඉවුරේ ඉඳගෙන අම්මත් එක්ක හැමදේම කියන්න පටන් ගත්තා. තාත්තා හිටියටත් වඩා වෙනස් වෙලා කියලා කුඩම්මා ගැන එයාගේ කුණු ලෝබකම් ගැන මගේ උදේ කිරි කෝප්පයත් මට නැතිවුණු එක ගැන මම අම්මට කියන්න පුරුදු වුණේ ඒ ගඟ ඉවුරේ ඉඳන්....
අමර් මොකද ඉස්කෝලේ යන්නේ නැති දවසට උදේ එළිය වැටුණු ගමන් ගඟට දුවන්නේ?


නාන්න....

ඉස්සර එහෙම නෑවේ නෑනේ.... එළිය වැටෙනකම් නිදාගත්තා මිසක්....
එළිය වැටෙනකම් නිදාගත්තම කුඩම්මා කෑ ගහනවා. ඒ හින්දා ඉතුරු නිදිමත ටිකට මම ගඟේ ගිහින් නිදා ගන්නවා...
මදැයි පුතෙක් හදලා තියෙනවා.

කුඩම්මා එහෙම කියාගෙන ගෙට ගියත් තාත්තා එහෙමම නතර වෙලා මගේ දිහා බැලුවා...
මොකද උඹ ඇස් ලොකු කරලා මගේ දිහා බලන්නේ මට උඹගේ ඔය ලොකු ඇස් පේන්න බෑ.... මොකක්ද උඹට කුඩම්මත් එක්ක තියෙන තරහ....
මට මගේ අම්මගේ විලවුන් කුප්පිය ඕනෑ....

දැන් අම්මා මැරිලා... අම්මව අමතක කරලා දැන් උඹ කුඩම්මට අම්මා කියපන්... කුඩම්මා කියන දෙයක් අහගෙන එයාට ආදරෙන් හිටපන්.
කුඩම්මට අම්මා කියන්න මට බෑ.
මොකද බැරි?

මගේ අම්මා වෙන්න කාටවත් බෑ....
කාලකන්නියෙක් වෙන්න හදනවා.... තාත්තගේ ඒ වචන මගේ හදවත පසාරැ කරගෙන යනවා වගේ මට දැනුණා... තාත්තා කාලකන්නියෙක් කියන වචනය මට කීවේ ජීවිතේ පළවෙනි වතාවට... තාත්තා මගේ හදවතේ රිදවන්න පුළුවන් සංවේදීම තැනකට දරුණුම විදිහට පිහි පහරක් එල්ල කළා වගේ මට දැනෙන්න පටන් ගත්තා... මම ඒ ගිනි මද්දහනේ රත් වෙච්ච වැලි පාර දිගේ ඔහේ ඇවිදගෙන ගියා. ඒ ගියේ ගඟ ඉවුරට. ගඟ ඉවුරත් ගිනි අව්වට රත්වෙලා මාව පණපිටින්ම පුච්චලා දානවා වගේ මට දැනෙන්න පටන් ගත්තා. ඒත් ඒ පිච්චෙන ගං ඉවුරේ මම එහෙමම ඉඳගත්තා. දණහිස දක්වා කෙටි කර ගෙන සිටි සරම යටි පතුල් දක්වා දිගු කරගෙන මම ගඟ ඉවුරේ දිගාවුණේ හිතට නින්දක් ඉල්ලගෙන. තාත්තා කාලකන්නියා කියලා මට කිව්වා අම්මා... මට හුඟක් දුක හිතුණා.... තාත්තා මට කොච්චර බැන්නත් කවදාවත් මට මීට ඉස්සර කාලකන්නියා කියලා බැනලා නෑ... අම්මා මගේ ළඟට ආවේ නෑ.... ඒත් අම්මා මම කියන හැමදේම අහගෙන ඉන්නවා කියලා මට හිතුණා... සුළඟ අස්සේ දැවටී අම්මගේ සුවඳ මගේ ළඟට එනවා කියලා මට හිතුණා... අම්මාගේ පපුව අස්සේ ඔළුව තියාගෙන මට අඬන්න හිතුණත් අම්මා එයි කියලා කොච්චර බලාගෙන හිටියත් අම්මා මගේ ළඟට ආවේ නෑ.... ඒ ගිනි අව්වේ පිච්චි පිච්චීම මට ගං ඉවුරේ නින්ද ගිහින් තිබුණා.

මට ඇහැරුණේ මගේ කකුල් දෙකින් හොලව හොලවා අනිල් මාමා මාව ඇහැරවන හඬට.
අමර් මොකද පොඩි එකෝ... මේ ගිනිඅව්වේ ගංඉවුරේ නිදාගෙන මොකද මේ කරන්නේ... පිස්සුද මේ ළමයට හැබෑවටම....?
මට අනිල් මාමාගේ හඬඇහුණේ හීනයකින් වගේ...
මොකද කතා නැත්තේ... 

ඒ වෙද්දීත් මගේ ඇස්වලින් ගලා ගිය කඳුළු මගේ කොපුල් තල මත්තේ සීතලට වේලිලා ගිහින් තිබුණා.
මේ ළමයගේ නළල ගින්දර වගේ රත් වෙලා... ගැහෙනවා නේද ඇඟ උණට... 
අනිල් මාම මගේ නළලට අත තියලා මගේ හිස යටින් අත යවලා ඔළුව උස්සලා මගේ හිස එයාගේ අත් දෙකට ගත්තා.
මොකද අමර් මේ... ඇත්තටම ඔය ළමයගේ ඔළුව හොඳ නැද්ද මෙතෙන්ට ඇවිත් නිදා ගත්තේ....
මට අම්මව ඕනේ අනිල් මාමේ....

අනිල් මාමා හරිම සානුකම්පිත විදිහකට මගේ ඇස් දිහා බැලුවා. ඒ බැල්මෙන් මට දැනුණේ මහ අසරණ හැඟීමක්. 
මට ගෙදර යන්න බෑ අනිල් මාමේ..
ඒ මොකද ඒ?

තාත්තා හුඟක් වෙනස් වෙලා.
අනිල් මාමාගේ මුවින් ගැඹුරු හුස්මක් පිට වුණා.
ගෙදර නොගිහින් කොහේ යන්නද අමර්...? මේ පුංචි වයසට.
මම මේ ගං ඉවුරට වෙලා ඉන්නවා.

පිස්සු හැදීගෙන එනවද? එතකොට ආයෙත් ඉස්කෝලේ යන්නේ නැද්ද? ගං ඉවුරක කොහොමද මනුස්සයෙක් ජීවත්වෙන්නේ? කෝ.... ඔළුව උස්සන්න මම කරේ තියාගෙන යන්නම්.
මට බෑ අනිල් මාමේ.. තාත්තා දැන් ඉස්සරටත් වඩා නපුරෙක් වෙලා..

එහෙම කියලා ගඟේ පනින්නද? කුඩම්මලා ගෙනාවම එහෙම  තමයි... ඕවා ටික ටික හරියයි. හ්ම්... නැගිටින්න.. අපි යමු ගෙදර.
මට බෑ අනිල් මාමේ.. අමාරුවෙන් හිස ඔසවාගත්ත මම අනිල් මාමාගේ උරහිසේ ඔළුව තියාගත්තා.

 

► අනුවර්තනය : චන්දන වරාවිටගේ &  සංජු

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00