කවුළු පියන් පත් වහන්න සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
කසුන් කල්හාරගේ හැඟුම්බර හඬින් ගැයෙන මේ ගීතය ඔබ කොතෙකුත් වාරයක් අසා ඇති. සිතට කතා කරන කසුන්ගේ කට හඬේත්, හිත කොනිත්තන සංගීතයකත්, පද අහුරකත් එකතුවක් වූ මේ ගීතයේ මතුපිට රසය ඔබ අනේක වාරයක් රසවින්ඳත් ඒ ගීතයේ ගැඹුර ස්පර්ශකර බලන්නට ඔබ එක්වරක්වත් නොසිතන්නටත් ඇති. මිල මුදල් භෞතික සැප සම්පත් රාමුවක් ලෙස තනා ඒ රාමුව ඇතුළෙහි මිනිස් හදවත් මත ඇතිවන ප්‍රේමණීය බැඳීම්හි ආදර හැඟුම්හි රස මරාදමා නිදන් කරන්නනට, රාමු ගත කරන්නට වෑයම් කරන සමාජ සිතුවිලි ගැන ඒ ගීතයෙන් කතා කරන වගත් ඔබට මෙතෙක් නොදැනෙන්නට ඇති.
කෙනෙකු සතු මිල මුදල්, භෞතික සම්පත්, ඔහුට හෝ ඇයට හිමි සමාජ වරප්‍රසාද, තනතුරු, උගත්කම්, සමාජ වටිනාකම් නිසා කෙනෙක් කෙනෙකුට ළංවන්නේනම් නිසඟයෙන්ම ඒ ඇතිවෙන්නේ භෞතික හරයක් මූලික කරගත් කෘත්‍රීම බැඳීමක් මිස ආත්මගත ස්නේහයක් බැඳීමක් නොවේ. අධ්‍යාත්මික ආදරයක ලක්ෂණ වටිනාකම් ගුණාංග එකී ප්‍රේමයක් තුළ දකින්නට නැති වග බොහෝ විට තේරුම් ගත හැකිවන්නේ ජීවිතයේ තීරණාත්මකම අවස්ථාවකදී විය හැකිය. ධනයෙන් බලයෙන් තමන් පිරිහී යන අවස්ථාවක සමාජ ප්‍රශ්න පීඩන තමන් වෙත ගලා එන මොහොතක විය හැකිය. හදවතේ ගැඹුරුම ඉසව්වකට කතා කරන බව හැඟෙන නෙතු බැල්මකට, දඟකරන කෙහෙරැල්ලකට, හිත කොනිත්තන අව්‍යාජ සිනාවකට, හිත නිවන කට හඬකට ඇති වන බැඳීම, හුරුපුරුදු බව, සංසාර සේනේහයක්යැයි සිතෙනා සිතුවිල්ල අධ්‍යාත්මික ප්‍රේමයක ආරම්භය විය හැකිය. එවන් ප්‍රේමයක සහ ඉහත කී භෞතිකවාදී ප්‍රේමයක වෙනස අහසත් පොළොවත් තරම්ය. මෙවන් අරුත් පහදාලීමක් මේ ගීය ගැන ඔබට නොතිබුණේනම් මේ අරුත් විවිරණයේ කිමිදී මේ ගීය යළි අසන මෙන් මම ඔබෙන් ඉල්ලමි.
සිත ඈත අරන් යන විමනේ සඳළු තලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
ඇදුම් දෙන වේදනාවකින් ඒ අයදින්නේ අයැදුමකි. රිදුම් දෙන හද ගැස්මකින් ඒ ඉල්ලන්නේ ඉල්ලීමකි. කොන්දේසි විරහිත ප්‍රේමයම විසල් පරිත්‍යාගයකි. ඔබේ සඳළු තලාවේ ඔබ රැඳෙන්න. කොතෙක් ළඟ වග හිතට දැනුණත් මගේ පැල්පතට ඒ සඳළුතලාව දුර වග දනිමි මම. ඉතින් අවසරයි නික්මී යන්නට... ඔබ ඔබේ ලෝකයටත්... මම මගේ ලෝකයටත්.
දහවලක සැඩ හිරු දහරකට වඩා හැන්දෑවක් ගෙවී සපැමිණෙන රාත්‍රිය මනරම්ය. හිරු සළුවකට වඩා ඒ කළුවර සළුව ඝනකම්ය. ප්‍රේමයක් තරමටම කළුවරත් කවියක්ය. ඒ කළුවර අතීත වර්තමාන ජීවන මතක හද පවුරු බිඳ මතකය අද්දරට කැන්දාගෙන එයි. සඳ මෝරා නිල් අහසට නොඑන මොහොතක මලානික තරු එළිය ජීවිතේ දුක්බරම මතක යළි යළිත් සිත් දෑල ගොඩ ගසන මොහොතක, ඔබ ඔබම වී අසන ගීයක ගැඹුරු සියුම් රස භාව ඔබ තුළ දල්වන ප්‍රකම්පනය නෙත් වසා මොහොතක් විඳින්න ඔබට කසුන් කල්හාර ශෝකී හඬකින් කරන නිහඬ ඇරියුමක් සේය මේ ගීය.
විශ්ව පරණ යාපාගේ පෑන් තුඩ කෙළවරින් අකුරු වූ ඒ වචන සංගීත තනු රුහැනකින් වෙලාලූයේ කෞෂල්‍ය කුමාරසිංය. වත්මන් ගායක පරපුරේ ස්නයිපර්.... කසුන් කල්හාරගේ ගැඹුරු ශෝකී කටහඬට ඒ ගී පදත් සංගීත සුසංයෝජනයත් මැනවින් ගැලපුණේය.
ගීතයක් පුරා විහිද ගිය රසභාව කළඹන ගීතමය සෞන්දර්ය මෙන්ම එහි සැඟවුණු යටිපෙළ අරුතක්ද දිවේ. ආනන්දය දල්වාලන්නේත් ප්‍රඥාව අවුලුවන්නේත් ඒ සෞන්දර්ය හා ගැඹුර විසිනි. අග්‍රගණ්‍ය කලා කෘතියක් ඔස්සේ අවසානයේ මානව සමාජය වෙත ධ්වනිත කරන්නේද ආනන්දය හා ප්‍රඥාවයි. මේ ගීතයේ සැඟව ගත් යටි පෙළ අරැත අතිධාවනකාරී පාරිභෝගිකවාදී හුදෙක් ගනුදෙනු සිද්ධාන්තය මතම බොහෝ දේ තීරණය කරන සමාජයක භෞතික බරක් නැති එනමුදු අධ්‍යාත්මිකව මහා බරක් ඇති ප්‍රේමයක සරදම් ඉරණම ගැන සාධක සාක්ෂි සහිත විවරණයක් සේ මට හැඟේ. ජීවිතය කියන්නේ සල්ලි... සල්ලි නැත්නම් ආදරේ කන්නද? එසේ අසන සමාජයක් වෙතින් පෙරළා විමසන්නට එක ප්‍රශ්නයක් තිබේ. ජීවිතය යනු හුදු භෞතිකයක් පමණක්මද? ජීවිතයේ සියලු වටිනාකම් ලඝු කළ හැක්කේ භෞතික සාධක තුළ පමණද? ආදරයේ ප්‍රේමයේ සියලු වත්කම් මුදල් හා භෞතික සාධක මත පමණක් තීරණය වූවක්ද? ජීවිතය යනු භෞතික හා අධ්‍යාත්මික යන දෙඅංශයේම සමබර ගැලපුමක් මිස ඉන් එක් අංශයක නිර්මිතයක් නොවේ.
කවුළු පියන් පත් වහන්න සඳළුතලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
මේ ගීතයෙන් කියවෙන සඳළුතලාව ධනපති පන්තියත් ළවැලි තලාව, පැල්පත නිර්ධන පන්තියත් වැන්න. කෙතරම් සමාන්තරව එක පෙළට කෙළවර තෙක් දිව ගියත් සරල සමාන්තර රේඛා ද්විත්වයක් කිසිදාක එක් නොවෙන අරැමය සේමය; ප්‍රේමයේ ගැලපුම කොතෙක් වුවත් පන්ති වෙනස සමාජ තත්ත්වයේ වෙනස, කිසිදා එක්වෙන්නට ඉඩක් නොමදෙන ප්‍රේමයේ ස්වභාවයත්. සඳළුතලාවත් ළවැලි තලාවත් අතර නෙතට හමුවෙන දුර නිර්මාණය කර ඇත්තේ යොදුන් වලින් නොව පෙර කී භෞතික නිර්ණායක මගිනි. එදාමෙදා තුර ඒ පන්ති විෂමතාවය ලෝකයේ පැවතියේය. දහසක් ආදර කතා ඒ පන්ති විෂමතාවය කඩා බිඳ පොළොවටම සමතලා කර දැම්මේය. සමහර ආදර කතා ඒ සීමාවන් හා අරගල කරද්දී, ඒ අරගල අවසානයේ පරාජිතයන් හා ජයග්‍රාහකයන්ද බිහි කරද්දී කවුළු පියන් පත් වහන්න සඳළුතලාවේ ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ යන ගීතය තුළ මුණගැසෙන ප්‍රේමවන්තයා කියන්නේ කුමක්ද?
විලක දුරක මල් පිපුණේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරැන් කොහොමැයි
සඳළුතලාවට පැල්පත දුර නම් බෝමැයි
මුදල් හා භෞතික සාධක වර්තමාන ආදරයට කෙරේ කොතෙක් දැඩි ලෙස බලපාන්නේද යන්න මැනවින් පෙන්වන එක් අවස්ථාවක් ලෙස පුවත්පත් මංගල දැන්වීම් තීරය දැක්විය හැකිය. සුරා සූදුවෙන් තොරය, චරිතවත්ය යන කාරණා දෙක හැරුණු විට අන් සියලු කාරණා ලඝු වන්නේ භෞතික ගණයටය. මනාලයාගේ හෝ මනාලියගේ සහෝදර සහෝදරියන් හොඳ නමක් ඇති රටක වෙසෙත්නම් එයද මංගල දැන්වීමේ සඳහන් කර තිබේ. ඒ තරමටම විවාහය භෞතික වටිනාකම් තුළ ලඝු කර ඇත. එනයින් ගම්‍ය වන්නේ ආදරය යන කෝච්චිය දිව යන්නේ මුදල් යන රේල් පීලි දෙක මත බවය. එසේ සියල්ලෙන් පූර්ණව සිටියත් අධ්‍යාත්මික ආදරයක් හෝ තේරුම් ගැනීමක් ඔහු හෝ ඇය තුළ නැති වෙන්නටද පුළුවන... එහෙත් එහෙමට මිල මුදල් සමාජ තත්ත්ව නැති කෙනෙකුගේ හදවතේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධ්‍යාත්මික ආදරයක් අවබෝධයක් තිබෙන්නට පුළුවන. එහෙත් සඳළුතලයත් පැල්පතත් අතර වෙනස ඒ ප්‍රේමයට මඟ හරස් කරගෙන සිටියි.
විලක දුරක මල් පිපුණත් අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
පිපෙන සොඳුරු මල් හා ආදරයෙන් වෙලී ගියත් නෙලන්නට සිත් පහළ වුණත් ඒ මල් නෙළන්නට යා නොදෙන්නේ පෙර කී වෙනසමය. ඔරු පාරු ඇති පැලැන්තියේ අය සතු යාන වාහනය. සඳළුතලය ස්පර්ශ කළ හැක්කේ සඳළුතලයේම සිටින අයට මිස පැල්පතේ සිටින අපට නොවේය.... භෞතික අතින් විසල් වෙන ඔවුන්ගේ ලෝකයත් භෞතික අතින් පටු වූ අපේ ලෝකයත් කෙසේ ගලපන්නද?
මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරුන් කොහොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි
වසනු මැනවි කවුළු පියන් ඔබ සිටිනා සඳළුතලේ... ඔබ මට දුරයි සොඳුර... මම මගේ ආදරය මෙතකින් නිහඬවම දරාගමි... යළි හැරී නොබලන්න... යනෙනු මැන ඔබ ඔබේ ලෝකයට.... ඇසිඩ් කුප්පියක් පිහියක් අතට ගන්නවා වෙනුවට ආදරණීය ලෙස හිමි නැති පෙමකට එසේ සමුදිය හැකිනම් ඒ ධර්මතාවය කොතෙක් සොඳුරු වේද? ඔබ සතුටින් නම්, ඔබ නිදුකින් නම් හද ගැඹුරේ සියලු ලේ නහර පුරා ඇදී යන මේ රිදුම් මම දරා ගන්නම්... ජීවිත පොළොවේ අස්වද්දාගත් ආදරයේ ළදල්ල ආර්ථිකය නම් උදලු තලයෙන් උගුල්ලා දමන්නට ඉඩ දිය යුතුද? ආදරයක් උපදින ස්වභාවික හේතුන් යටපත් කර භෞතික නිර්ණායක තුළ ප්‍රේමය රාමුගත කරන්නට වෙහෙසෙන සමාජයක් හමුවේ ඇත්තටම සඳළුතලාවේ දොරගුළු වසා දැමිය යුතුද? අතීතයේ සාලිය අශෝකමාලා වැනි ප්‍රේමවන්තයන් මතකය අග්ගිස්සට පැමිණ එසේ ප්‍රශ්න කළත් විශ්වට එය දැනුණේ මේ විදිහටය.
මෘදු සිනා සලන සඳවත අහසෙම රැඳුණාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුණාවේ
සිත ඈත අරන් යන විමනේ සඳළුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ
ඔබෙ කතාකරන ඇස් මට නොමපෙනුණාවේ... ඒ කතා මට නොදැනුණාවේ.... නොහැඟුණාවේ... ඒ ඇස් සංසාරගත බැඳීමෙන් බැඳෙන්නට පෙර ඔබේ සඳළුතලාවේ කවුළු පියන්පත් වසනු මැනවි.
අධ්‍යාත්මික ප්‍රේමයක අකලංක සේයාව ඒ අයැදුමේ සැඟවී තිබේ.
කවුළු පියන්පත් වහන්න සඳළු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ
යන ගීතය මේ කතා කළ සියලු රස ගැඹුරු හැඟුම් සිත්හි තබාගෙන නිදහසේ මනසින් අසා රස විඳින්නයැයි ඔබට යළිත් කියන්නට මට සිතේ.
I දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර
අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය,
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02