2018 මැයි 19 වන සෙනසුරාදා

සුප්පා දේවිව මම ලේසියෙන් අත්හරින්නෙ නෑ....

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

කාලයක් තිස්සේ කලාවට සම්බන්ධ වෙලා හිටපු නිලක්ෂි... වැඩිය දකින්න ලැබුණේ නැහැ..
ඔව්.. මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු දහ අටක් විතර වෙනවා. නමුත් මම කාලයක්ම එංගලන්තයේ ජීවත් වුණා. ඒ නිසාම තමයි මට වැඩිය නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව නොලැබුණේ. පිටරට මම අවුරුදු දොළහක් විතර හිටියත් ඒ හිටපු කාලය තුළදී මම වරින්වර ලංකාවට ආවා. ඒ ආපු අවස්ථාවලත් මම නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා.

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ගායිකාවක් විදිහට නෙවෙයි.. වේදිකා නාට්‍ය ශිල්පිනියක් විදිහටයි. එහෙම නේද?
ඔව්.. මම මුලින්ම සිංහබාහු වේදිකා නාට්‍යයේ සුප්පා දේවිගේ චරිතය තමයි රඟපෑවේ. මට පොඩි කාලේ ඉඳන් ගායන හැකියාව තමයි තිබුණේ. සුප්පා දේවියට සම්බන්ධ වීමටත් ප්‍රධාන හේතුව ගායන හැකියාව තමයි. සුප්පා දේවි කියන්නේ වේදිකාවේ තියෙන අමාරුම චරිතයක්. මට රංගනය උපතින්ම තියෙනවා කියලා බොහෝ දෙනා දැනගත්තේ සිංහබාහු වේදිකා නාට්‍යයෙන්. ඊට කලින් මම වේදිකා නාට්‍යයක රඟපාලා තිබුණෙත් නැහැ. හැබැයි සුප්පා දේවියට අවශ්‍ය පෙනුමත් මට තිබුණා කියලයි මාව ඒ චරිතයට තෝරගත්තේ.

ඒ වගේ ප්‍රබල චරිතයකට තෝරාගත්තේ කොහොමද?
මම කැලණි විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්න කාලයේදී විශ්ව විද්‍යාලයේ බාහිර කලා කටයුතුවලට සම්බන්ධ වුණා. ඒ හඬ අහලා විශ්ව විද්‍යාලයේ සමකාලීනයන් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න කියලා මට යෝජනා කළා. ඔය කාලේදී සරච්චන්ද්‍ර මහත්මිය මාව දැනගෙන එතුමිය මගේ හඬ පරික්ෂා කළා. එතුමිය තමයි මාව සුප්පා දේවී චරිතයට යෝජනා කළේ. ඊටපස්සේ අපි පුහුණුවීම් කළා. මුල්ම දර්ශනය 2001දී එල්ෆින්ස්ටන් රඟහලේ වේදිකාගත කළා. ඒකෙන් පටන් ගත්තු ගමන ඔස්සේ වේදිකා නාට්‍ය ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහටත් පුළුපුළුවන් විදිහට සම්බන්ධ වුණා.

වරින්වර ලංකාවට ආපු කාලයේදී ඔබ නිර්මාණ කිහිපයක්ම පටිගත කළා නේද?
ඔව්.. ඒ ආපු හැම මොහොතකම මම කුමක් හෝ කලා කටයුත්තකට සම්බන්ධ වුණා. ක්ෂේත්‍රයේ අය මාව දැනගෙන හිටියා. ඉතින් මම නිවාඩුවට ආවා කියලා දැනගත්තම බොහෝ අය කතා කළා. ඒ ආපු කීප වතාවකම මම ගීත කිහිපයක් පටිගත කළා. නමුත් අද සුභාවිත ගීත මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේම නැති තරම්. ඒ ගීත බොහෝවිට අන්තර්ජාලය සහ මුහුණු පොතේ තමයි සැරිසරන්නේ. ඒ  අතරේ මම ලංකාවේ නොසිටියත් මට රසික පිරිසක් ඇති වුණා. ඔය අතරේ මගේ ගීතයක් රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ නිර්දේශ වුණා. රටින් පිට හිටියත් ගී පද රචනා මට අන්තර්ජාලය ඔස්සේ එවන්න පටන් ගත්තා. ඉතින්.. දැන් මම ආයෙමත් ලංකාවට පදිංචියට ආවට පස්සේ අර කලා ජීවිතය ආරම්භ කරන්න හිතුණා. දැනට ගීත කිහිපයක්ම පටිගත කරලා තියෙනවා. බොහෝ පද රචනා ලැබුණත් පදවල තියෙන තේරුම, ගීතයේ තියෙන වටිනාකම ගැන හිතලා තමයි මම ඒ හැම දෙයක්ම බාරගන්නේ. එහෙම නැතිව ලැබෙන හැම පද රචනාවක්ම තෝරාගන්නේ නැහැ.

මිනිසුන්ට අහන්න ඕනේ ගීත තීරණය කරන්නේ රේඩියෝ චැනල්. ඒක හරිම ඛේදවාචකයක්

ඔබ නිහඬව සිටි කලා ශිල්පිනියක් වුණත් බොහෝ පැරැණි අතීතයක් තියෙන කලාකාරියක්. එදා සහ අද ඔබ දකින්නේ කොහොමද?
කොයි රටෙත් එක එක ශෛල ගීත තියෙනවා. වේග රිද්ම, සුභාවිත ගීත, සරල සංගීත, ශාස්ත්‍රීය සංගීත වගේ ගීත තියෙනවා. යුරෝපයේ වුණත් පොප් සංගීතය, රොක් වගේ ශෛලිත් තියෙනවා. හැබැයි ඒ හැම ශෛලයකටම අනන්‍යතාවයක් තියෙනවා. ඒ හැම ශෛලියක්ම ප්‍රචාරය වෙන්න ක්‍රමයක් තියෙනවා. රසික පිරිසක් ඉන්නවා. නමුත් අපේ රටේ එහෙම දෙයක් නැහැ. ඒක හරි කණගාටුවට කරුණක්. රේඩියෝ චැනල්වලින් මිනිසුන්ට මේ දේ ලබා දෙන්නේ නැහැ. මිනිසුන්ට අහන්න ඕනේ ගීත තීරණය කරන්නේ රේඩියෝ චැනල්. ඒක හරිම ඛේදවාචකයක්. හොඳ ගීත කියමින් යන පිරිසට මේ ගමන යන්න හරි අමාරුයි. ඒක ඇත්තටම හරි කනගාටුවක්. අපි පුංචි කාලේ අපේ කන්වලට හොඳ සුභාවිත ගීත ඇහුණා. හොඳ පද රචනා, හොඳ සංගීතය, හොඳ කටහඬවල් අපිට ඇහුණා. ඒ නිසා අපි ඒ ගීත රසවින්දා. නමුත් අද දරුවන්ට ඒ ගීත රසවින්දනය ලැබෙන්නේ නැහැ.

මේ වෙනකොට නිලක්ෂි එළිමහන් ප්‍රසංග හා ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගී වෙන්නේ නැද්ද?
මම ළඟදී පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රසංගයකට ලංකාව නියෝජනය කළා. ඒක ඕස්ට්‍රේලියාවේ පැවැති ගෘහස්ත ප්‍රසංගයක්. පිටරට ප්‍රසංග කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව සමන් ලෙනින් හා මමත් එක්ව විශ්ව විද්‍යාල මට්ටමෙන්, පාසැල් මට්ටමෙන් සංගීත වැඩසටහන් කිහිපයක්ම පැවැත්වුවා. ඉදිරියේදීත් තව වැඩසටහන් කිහිපයක්ම කරන්න ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒකෙදී ගීත ගායනා කිරීමට අමතරව ගීත රසවින්දනය ගැනත් අපි කතාබහ කරනවා. ඒක ඉතා සාර්ථක වැඩසටහනක්. මිනිස්සු සමහර වෙලාවට පුදුම වෙනවා. අපි ගිහින් ගායනා කරලා දේශනය තියලා ඉවර කරද්දි ඒ අය ගොඩක් සතුටු වෙනවා.

වේදිකා නාට්‍යවලට ආරාධනා ලැබිලා නැද්ද?
වේදිකා නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. කලාව දැන් මගේ ආත්මය තමයි. නමුත් තවමත් මම ඉගෙනගන්නවා. මම මගේ ආචාර්ය උපාධියට ලංකාවේ ජන සංගීතය ගැන වැඩිදුර පර්යේෂණ කරනවා. ඒ නිසා මම ඒ රඟපෑම්වලට යොමුවුණේ නැහැ. මම රඟපානවට වඩා ගයන්න ආසයි. පුළුවන් කාලයක් මම සුප්පා දේවි චරිතය රඟයි.

ඒ නිසාමද පංච මකරන්දයට සම්බන්ධ වුණේ?
ඔව්.. පංච මකරන්දය කියන්නේ ඉතා දැවැන්ත අපූරු ප්‍රසංගයක්. මෙය නිශ්ශංක දිද්දෙණිය මහතාගේ මූලිකත්වයෙන් කරන නිර්මාණයක්. මේ ප්‍රසංගයට නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, සමන් ලෙනින්, ඉන්දිකා උපමාලි සහ මම සහභාගී වෙනවා. ඒ ප්‍රසංගය පැවැත්වෙන්නේ ජුනි නව වැනිදා නෙළුම් පොකුණ රංග ශාලාවේදීයි. ඇත්තටම එවැනි දැවැන්ත නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මගේ වාසනාවක්. 

► Text - Dishani 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00