2018 මැයි 19 වන සෙනසුරාදා

මුදුනටම නැඟ බිංඳුවටම බැස්ස බොලිවුඩ් හොලිවුඩ් තරු

 2018 මැයි 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308

ලෝක ප්‍රකට සිනමා තරු, ක්‍රීඩා තරු සියල්ලන් හටම ඇත්තේ සුපිරි මන්දිර ය. ඔවුන් පදවන්නේ ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, ෆෙරාරි වැනි සුපිරි මෝටර් රථ ය. නිවාඩුවට යන්නේ අමෙරිකානු හුවායි දිවයින් වෙත ය. ඔවුහු සියලුදෙනාම මිලියනපතියෝ ය. 

එහෙත් අතරින් පතර මීට වෙනස් දෛවයකට හිමිකම් කියූ තරු ගැන ද අසන්නට ලැබේ. ඉහළ ආකාශයේ දිදුලමින් සිටි මේ තාරකා බොහෝමයක් නැවත බිමට කඩාවැටෙන්නේ මුදල් කළමනාකරණය කරගන්නට ඔවුන්ගේ නොහැකියාව නිසාවෙනි. තවත් සමහරු මත්ද්‍රව්‍ය ඇබ්බැහිය නිසා ජීවිත නාස්ති කරගනිති. තවත් අයගේ ආර්ථිකය පිරිහෙන්නට හේතුව කසාද හුටපට ය. එසේ නොයෙකුත් හේතු මත සුපිරි ධනවතුන් ලෙස කලක් වැජඹුණු නමුත් අවසානයේ අන්ත දුප්පතුන් බවට පත්වුණු තරු කිහිපයක් අපි මෙසේ ගෙනඑන්නෙමු. 

මයික් ටයිසන්
මයික් ටයිසන් එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි බොක්සිං තාරකාවකි. වරක් ප්‍රතිවාදී ක්‍රීඩකයාගේ කන සැපීම නිසා වඩාත් ජනප්‍රියට පත්වූ ටයිසන් බොක්සිං ක්‍රීඩාවෙන් පමණක් ඉපැයූ ධනය ඩොලර් මිලියන 400කට අධික විය. එහෙත් ඔහු තමා ඉපැයූ ධනය සුපිරි මන්දිර මිලදී ගැනීමටත්, සුරතල් සතුන් සඳහාත් ලෝබ නැතුව වියදම් කළේය. දික්කසාද වූ බිරිඳ ද ඔහුගෙන් විශාල වන්දියක් ලබාගත්තේය. අවසාන ප්‍රතිඵලය වූයේ 2003 වසර වෙද්දී ටයිසන් බංකොළොත් බවට පත්වීමයි. 

 

පැමෙලා ඇන්ඩර්සන්
පැමෙලා රසිකයින් අතර වඩාත් ජනප්‍රිය වූයේ Baywatch සිනමා පටය හේතුවෙනි. එම චිත්‍රපට මාලාව නිසා අතිශය සාර්ථක වූ ඈට ඉතා හොඳ ධනයක් ද ඉපැයීමට හැකිවිය. එහෙත් උපයාගත් මුදල් කළමනාකරණය කරගැනීමේ දැනුම ඈ සතු නොවීය. ඈ මාලිබුහි දැවැන්ත මන්දිරයක් ඉදිකිරීමට ඩොලර් මිලියන ගණනක් වියදම් කළාය. එහෙත් නොසිතූ විරෑ අන්දමට ඊට මුදල් වියදම් විය. බදු වශයෙන් ද තවත් ඩොලර් ලක්ෂ ගණනක් ගෙව්වාය. අවසානයේ තමා දුක් මහන්සියෙන් හම්බ කළ මුදලින් ගොඩනැගූ ගෙය විකුණා දමා ණය ගෙවන්නටත් ආපසු බින්දුවේ සිට පටන්ගන්නටත් ඈට සිදුවිය. 

 

කර්ට්නි ලව්
කර්ට්නි ලව් අමෙරිකානු ජාතික සුපිරි ගායන තාරකාවකි. අනූව දශකය මුලදී  ප්‍රසංග වේදිකාව තුළ ජනප්‍රිය ශිල්පිනියක් වූ ඇගේ අභාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදය ආරම්භ වූයේද එම දශකයේම මැද භාගයේදී ය. ඇගේ සැමියා වූ කර්ට් කොබේන්ගේ මරණයත් සමඟ ඈට ඔහුගේ සංගීත වැඩවලින් ලැබිය යුතුව තිබුණු විශාල මුදලක් අහිමිවිය. එමෙන්ම ක්‍රම ක්‍රමයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කර්ට්නිට තමන් සතුව තිබූ මුදල් ද අහිමි වී යන්නට විය. අනතුරුව 2006 වසරේදී මුදල් හොයාගැනීම සඳහා කළ හැකි අන් කිසිවක් නොවූ තැන ඈ කළේ තම සැමියාගේ සංගීත ඇල්බම් එකතුවෙන් සියයට 25ක කොටසක් විකුණා මුදල් සොයාගැනීම ය. 

 

එම්සී හැමර්
අනූව දශකය මුලදී තම ‘You can’t touch this’ ගීතයෙන් අධික ධනයක් උපයාගත් හැමර්, ඉන් අනතුරුව ද සාර්ථක ගායකයෙකු ලෙස බටහිර ලෝකයේ නමක් දිනාගත් චරිතයක් විය. ඔහු සංගීත කටයුතු වලින් ඉතා කෙටි කලකදී ඩොලර් මිලියන 30ක පමණ මුදලක් හම්බ කරගත්තේය. එහෙත් ඔහු ඒවා වියදම් කළේ කිසිදු අරපිරිමැස්මකින් තොරව ය. මිලියන 12ක් වැය කර සුපිරි මන්දිරයක් මිලදී ගත් ඔහු එහි නඩත්තුවට 200ක සේවක මණ්ඩලයක් ද බඳවාගත්තේය. පසුව ගීත ක්ෂේත්‍රය තුළ නීති අර්බුදවලට මුහුණ දෙන්නට සිදුවූ නිසා ද ඔහුගේ ධනය පිරිහී ගියේය. අවසානයේදී 1996 වසරේදී ඔහු බංකොළොත්භාවය ප්‍රකාශ කළේ ඩොලර් මිලියන 13ක ණයකාරයෙකු වෙමිනි. 

 

භාරත් භූෂන් 
භාරත් භූෂන් යනු මීට දශක කිහිපයකට පෙර ඉන්දියානු සිනමාව තුළ සිටි ආකර්ෂණීය නළුවෙකි. මධුබාලා, මීනා කුමාරි වැනි ජනප්‍රිය නිළියන් සමඟ සිනමා රංගනයෙන් දායක වූ ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ ‘බයිජු බව්රා චිත්‍රපටයේ රංගනයත් සමඟ ය. කෙසේ වුවද ජීවිතයේ අවසාන කාලයේදී අන්ත අසරණයෙකු ලෙස කල් ගෙවීමට ඔහුට සිදුවිය. ඊට හේතු වූයේ සිනමාවෙන් ඉපැයූ මුදල් ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාවට ගොස් නැති නාස්ති කරගැනීම ය. 

 

ලීනා හීඩි
ලීනා ජනප්‍රියත්වයට පත්වූයේ The game of thrones නම් වූ අතිශය සාර්ථක ටෙලි කතාමාලාවේ දුෂ්ට රැජනකගේ චරිතයකට පණ පෙවීමත් සමඟ ය. ඒ හරහා ලොකු ආදායමක් ලැබීමට ද ඈ සමත් වූවාය. එහෙත් ඇගේ සාර්ථකත්වයට කණ කොකා හඬන්නට පටන් ගත්තේ දික්කසාදයකට යොමුවීමත් සමඟ ය. නඩු ගාස්තු, නීතීඥ ගාස්තු වෙනුවෙන් අවුරුදු ගණනක් තිස්සේ ඩොලර් ලක්ෂ ගණනක් විනාශ වී ගියේය. අවසානයේ ඇගේ බැංකු ගිණුමේ ඉතිරි වූයේ ඩොලර් 5000කට ආසන්න මුදලකි. 

 

ජැකී ෂිරොෆ් 
ජැකී බොලිවුඩය තුළ අදටත් ජනප්‍රිය චරිතයකි. ඔහුගේ පුත් ටයිගර් ෂිරොෆ් ද අද නව පරපුරේ නැගී එන බොලිවුඩ් තරැවකි. එහෙත් ජැකී ද සිනමාවෙන් ඉපැයූ මිලියන ගණන් මුදල් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වීම නිසා අන්තයටම පිරිහුණේය. ඔහු වරක් අධ්‍යක්ෂවරයෙකුගෙන් ණයට ඉල්ලා ගත් මුදලක් නැවත ගෙවා දැමීමට නොහැකි වීම නිසා නඩුමඟට ගොස් හිරභාරයට පත්වෙන්නටද ඔන්න මෙන්න වී සිටියේය. ඒ මොහොතේ ඔහුගේ පිහිටට පැමිණි සල්මාන් ඛාන් එම ණයතුරුස්වලින් නිදහස් වීමට ජැකීට උපකාර කළ බව ද බොලිවුඩය දෙසින් අසන්නට ලැබුණි. 

 

ඕ.පී. නයියර් 
නයියර් යනු ඉන්දීය සිනමාව තුළ ජනප්‍රිය ගීත රැසකටම තනු නිර්මාණය කළ දක්ෂ සංගීතඥයෙකි. සිනමාව නිසා හොඳ ආදායමක් ලැබීමට ඔහුට හැකිවුණත් මත්පැනට ගිජු වීම නිසා ධනය ඔහුගෙන් ඈත් වන්නට විය. කොටින්ම තමන්ගෙන් පුවත්පත් සාකච්ඡා, රූපවාහිනී සාකච්ඡා ලබාගැනීමට පැමිණෙන මාධ්‍යවේදීන්ගෙන් පවා මත්පැන් සහ මුදල් ලබාගන්නා තරමට ඔහු පිරිහුණේය. අවසානයේදී තම පවුලේ සාමාජිකයින් විසින් ද පවුලෙන් ඈත් කරනු ලැබව ඔහු 2007 දී මියගියේ තම රසිකයෙකුගේ නිවසේදී ය. 

 

ලින්ඩ්සේ ලොහාන්
කලක් හොලිවුඩයේ ජනප්‍රියම තාරකාවන් අතර පෙරමුණේ සිටි ඇගේ ජීවිතය කඩාවැටෙන්නට ගත්තේ බලා සිටියදීය. ඊට ප්‍රධානම හේතුව වූයේ අනිකක් නොව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ය. ඈ තමා ඉපැයූ සියල්ල මත්ද්‍රව්‍ය වෙනුවෙන් වැය කළ අතර කලක් බන්ධනාගාරගතව ද කල්ගත කළාය. වාර්තාවන අන්දමට ඇගේ ක්‍රෙඩිට් කාඩ්පතේ ඇති මුළු ණය එකතුව ඩොලර් ලක්ෂ හයකටත් වැඩි ය. 

 

ගීතාංජලී නාග්පාල්
නාවික හමුදා නිලධාරියෙකුගේ දියණියක වූ ගීතාංජලී ජනප්‍රිය වූයේ ඉන්දීය නිරූපිකාවක ලෙසිනි. ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සන්නාම රැසක් වෙනුවෙන් පෙනී හුන් ඈට ඉන් ඉහළ ආදායමක් ද ලැබිණි. එහෙත් මත්කුඩුවලට ඇබ්බැහි වූ ඈ තම සියල්ල අහිමි කරගත් අතර පසුකාලයේදී දකුණු දිල්ලියේ වීථි පුරා සිඟමන් යැද්දාය. ඈ රෑට නිදාගෙන ඇත්තේ කෝවිල් සහ උද්‍යානවල ය. වරක් ඡායාරූප ශිල්පියෙක් ඈව හඳුනාගෙන ඇගේ ඡායාරූපයක් ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඈ ඊට මුහුණ දුන්නේ ද නිරූපිකාවක ලෙස තම කමිසය දෙවුරෙන් පහතට වැටෙන සේ සකසා ගනිමිනි. එම ඡායාරූපය පළ වීමත් සමඟ දිල්ලියේ කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් ගීතාංජලීව මානසික රෝහලකට යොමු කෙරිණි. 

 

Text -Rehan

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00