කොහොමද මේ මුහුණු තුන මුණගැහුණේ...?
මේ මුහුණු තුන වේදිකාවට නෑකම් කියන මුහුණු තුනක්නෙ. මම වේදිකාවෙන් උපන් කෙනෙක්. කුමාර තිරිමාදුරත් එහෙමයි. සමන් ලෙනින් කියන්නෙත් වේදිකාවේ ඇසුර ලබපු කෙනෙක්. ඉතින් අපේ හඬ පෞරුෂයන් තුනක්. පැතිකඩ තුනක්. ඒ නිසා අපි වේදිකාවේ ශිල්පීන් හැටියට ගයමින් රඟනවා. රඟමින් ගයනවා. මම අවුරුදු තිස් හයක් වේදිකාවේ රඟපෑවා. ඉතින් මගේ ගායන කෞෂල්‍යය පොඩ්ඩක් ඉස්මතු කරලා ගන්න ඕනෙ මට හිතුණා. මම කලාවට ඇවිත් මගේ අවුරුදු තිස්පහ මට සමරන්න බැරිවුණු හින්දා මම තිස්හත්වැනි අවුරුද්ද තිස්පහ විදිහට රවුම් කරලා ගත්තා. ඒකෙදී ගීතවලට මුල්තැන දෙන ප්‍රසංගයක් කරන්න ඕනෙ කියලා හිතුණා. ඒකත් ප්‍රාසාංගික විදිහට කරන්න හිතුණා.
දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර කීවා රොඩ්නි, කුමාර, සමන් එකතුව කොස් තම්බලා, කිරිහොදි හදලා, කාරල්ලා කරවල තෙල් දාලා කද්දී දැනෙන රස වගේ වෙනස්ම අලුත්ම රසයක් වෙයි කියලා. ඇත්තටම මොකක්ද ඒ වෙනස්ම අලුත්ම රසය...?
ඒ රස වෙනස්ම රසක් තමයි. අපි මේ ප්‍රසංගය නම් කළෙත් Three face කියලා. ත්‍රී ෆේස් කියන්නෙ තෙකලා විදුලිය. කරන්ට් එක වැදුණොත් හමාරයි. ඉතින් මේක නම්කළේ Three face (මුහුණු තුන) කියලයි. මම කුමාර මල්ලිගේ (කුමාර තිරිමාදුර) කුමාරයා මං ප්‍රසංගය බලන්න ගියා. ඒ වෙලාවෙදී මට මේ අපූරු හඬ ඇහුණා. මේ අපූරු හඬ එකතු කරගන්න මට ඕන වුණා. ඊටපස්සෙ කුමාර මල්ලි එක්ක කතාබහ කළා. කුමාරට ඉස්සරට වඩා හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්කම තිබුණා. අපි දෙන්නා මේ ගැන කතාබහ කරද්දී කුමාර මල්ලි තමයි සමන් ගැන කිව්වේ. අද කාලේ අපේ රටේ පහලවුණු ගැඹුරු හඬ පෞරුෂය ඔහුයි. ඔහුගේ තියෙන්නෙ අර කිව්වත් වගේ වෙනත් ආරයක්. ඉතින් අපි තුන්දෙනා එකතු වුණා. ඒක වෙනස්ම රසයක්. ඒ රසය අපි මැයි මස දහඅට වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මුදාහරිනවා.
දහඅට වැනිදා ගායකයෙක් වුණාට ඔබ අපිට හොඳ රංගන ශිල්පියෙක්...?
ඔව්... අපි සින්දු කිව්වට අපි රංගන ශිල්පියෝ තමයි. හැබැයි රඟන්නත් පුළුවන්. ගයන්නත් පුළුවන්. වේදිකාවෙදී මම අනන්තවත් ගායනා කරලා තියෙනවා. වේදිකාවේ උඩ ඉඳගෙන ඈත එපිටට අපේ ඒ කටහඬ විසිරිලා ගියා. අන්න ඒ වේදිකාවේ හඬට වටිනාකමක් දෙන්න මට ඕනවුණා. ලංකාවේ පොළොවේ පයගහලා ඉන්න නාට්‍යවේදියෝ නගරශාලාවල, කැඩුණු වේදිකා උඩ, වහළ කැඩුණු ශාලාවල ඕනතරම් නාට්‍ය පෙන්නලා තියෙනවා. මේ අවුරුදු තිස් හතට එවැනි තැන්වල අපූරු නාට්‍ය මමත් පෙන්නලා තියෙනවා. නමුත් අපි හැමදාම එතැන ඉන්න ඕනෙ නෑ. ඒවා හැදෙන්නෙත් නෑ. රජයේ බලවතුන්ට ඒවා මතකත් නෑ. මෙතන අපි අපිත් ඉන්නවා කියලා කියන්න හොඳ අවස්ථාවක් කරගන්නවා. නෙළුම් පොකුණ, බණ්ඩාරනායක සමරු රඟහල වගේ ලංකාවේ ඉහළ රංගශාලාවල අපිටත් පයගහන්න පුළුවන් කියලා අපි මැයි දහඅට වැනිදා ඔප්පු කරලා පෙන්නනවා.
රොඩ්නිගේ කලාවේ ආරම්භය වේදිකාව නේද...?
ඔව්... මම කලාව පටන් ගන්නේ වේදිකාවෙන්. මගේ ආත්මය එතැනයි. මම ලූෂන් බුලත්සිංහල මහතාගේ තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයෙන් තමයි පටන් ගන්නෙ. ඒ 1981 දී. චූං චෑං... කියන චීන කෝකියාගේ චරිතය තමයි මගේ මුල්ම චරිතය වුණේ. ටවර් හොල් පදනමේ නාට්‍ය පාඨමාලාවක් මම හැදෑරුවා. එතැනදී මම අනුලා බුලත්සිංහල මැතිනිය හඳුනාගත්තා. ඇය මාව ලූෂන් බුලත්සිංහල මහත්මයාට හඳුන්වලා දෙනවා. එහෙම තමයි මගේ ආරම්භය වුණේ. ඊටපස්සෙ නරිබෑනා, මධුර ජවනිකා වැනි නිර්මාණවලට එකතුවෙන්න අවස්ථාව ලැබුණා. මට හොඳ ඉවුරේ ඉන්න මිනිස්සු හමුවුණා. ඒ නිසා අපිටත් හොඳ දෙයක් කරන්න ඕනෙ කියලා හිතුණා. මේ රටේ වැළලිලා යන, අඩුවෙලා යන, මොටවෙලා යන රසවින්දනය ඉහළ තැනට ගන්න පුංචි දෙයක් හරි එකතු කරන්න ඕනෙ. ඒකට එක්තරා විසඳුමක් ලෙස තමයි අපි Three face ප්‍රසංගය කළේ. හොඳ රසවින්දනය වගේම මතු පරපුරට හොඳ රසවින්දනයක් ඉතිරි කරන්න පුංචි හරි දායකත්වයක් ලබාදෙන්න හිතුවා. අමරදේව මාස්ටර්ගේ ඉඳලා ස ප්‍රසංගය, කම්පන, සඳකඩපහණ, ස්වර්ණ කුණ්ඩලී වැනි දැවැන්ත නිර්මාණයන් එක අන්තයක්. අද තවත් අන්තයක් තියෙනවා. ස්ටාර් තරගවලින් මතුවන, අන්තර්ජාලයෙන් යූ ටියුබ් හරහා ගීතවත් වෙන අයත් ප්‍රසංග පවත්වනවා. හැබැයි මේ දෙක අන්ත දෙකක්. අද තිබෙන ප්‍රසංගයන්ට වඩා අපි ස, කම්පන, ස්වර්ණ කුණ්ඩලී, සඳකඩපහණ වැනි දැවැන්ත ප්‍රසංග හොඳට වින්දා. මේ අන්ත දෙක අතරේ තමයි අපි ඉන්නෙ. ඉතින් අපිත් හොඳ දෙයක් දෙන්න හැමවෙලේම උත්සාහ දරනවා.
අවුරුදු තිස් හතක් කලාව තුළ හිටපු ඔබ ආපු ගමන ලේසි නැහැ... බොහෝ දුක්, කම්කටොලු විඳලා ඇති...?
ඔව්... ඇත්තෙන්ම. ඒ කටුකෑමත් හරිම රසවත්. අපි අම්මගේ කුසේ මාස නවයක් ඉඳිද්දී අම්මත් දරුවාව මෙලොවට බිහිකරන්න හොඳ කට්ටක් කනවනෙ. ඊටපස්සෙ දණිපණිගාලා, ඇඟේ හැමතැනම මලමුත්‍රා නාගෙන තමයි නැඟිටින්නෙ. ඒක තමයි ජීවිතයට පන්නරය වෙන්නෙ. නමුත් දැන් එහෙම නැහැනෙ. සමහරු ජීවිතේ කටු කන්නම ඕනෙද කියලත් අහනවා. අනිවාර්යයෙන්ම කටු කන්නම ඕනෙ. ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න. ජීවිතේ කටුකාලා ඇති. දුක් විඳලා ඇති. ඒවායි මෙතැනට ඔබ ඔසවලා තැබුවේ.
කලා ක්ෂේත්‍රයට හෙලිකොප්ටරයකින් කන්ද මුදුනට ආපුවාම වෙන්නෙ ලොකු අනතුරක්. හෙලිකොප්ටරය කන්ද උඩ තියලා යනවා. කන්ද මුදුනේ ඉන්න කෙනා වටපිට බලනවා. පහළ බෑවුම විතරයි පේන්නෙ. ගලක් මුලක් අල්ලගෙන බහින්නවත් දන්නෙ නෑ. අවසානයෙදී වෙන්නෙ වැටිලා මැරෙන්නයි. අපි එහෙම නෙවෙයි. අපි කන්ද තාමත් නඟිනවා. ගල්මුල්වල පය පැටලිලා වැටි වැටී අපි තාමත් හිමින් හිමින් නඟිනවා. සමහරවිට කන්ද මුදුනටම අපිට එන්න බැරිවෙන්න පුළුවන්. ඒත් ආපු ගමන දිහා ආයෙත් හැරිලා බැලුවාම හිතට දැනෙන්නෙ විශාල සතුටක්. ඒ විතරක් නෙමේ සැනසීමක්. වේදිකාවේ තවමත් මම ජවසම්පන්න තරුණයෙක්.
ඒ වුණාට අද ඒ ජවසම්පන්න තරැණයා සීයා කෙනෙක්... එහෙම නේද...?
ඔව්නෙ... අද මම පුංචි මිණිපිරියකගේ සීයා කෙනෙක්. ඒ පදවිය හරි අපූරු පදවියක්. මගේ පවුලේ අපි හැමෝම හරිම සතුටින් ඉන්නවා. මගේ දයාබර බිරිය තමයි ඉරානි. අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු දුව ප්‍රාසාංගිකා. ඇය විවාහකයි. ලොකු දුව නර්තන ගුරැවරියක්. දෙවැනි දුව සමාධි රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. පුතා ඉරෝන් උසස් පෙළට දැන් සංගීතය හදාරනවා. මගේ මිණිපිරියගේ නම මෙනුලි. ඉතින් අපි කොහෙ කොහේ හරි කලාවේ රුඳිලා ඉන්නවා. ගෙදර ඉඳිද්දී අපි හැමෝම ගීත ගායනා කරනවා. මේ නැටුම්, ගැයුම් නැත්නම්, රසවින්දනයක් නැත්නම් මනුෂ්‍ය ජීවිතය හරියට පරඩැලක් වගේ තමයි.
ඇරඹෙන Three face මෙතැනින් නැවතෙයිද...?
නෑ. නවතින්නෙ නෑ. මේක මගේ අවුරුදු තිස්අටේ සැමරුම් ප්‍රසංගයක් වගේම මේක Three face මංගල ප්‍රසංගයයි. මේක අපි මෙතැනින් නවත්වන්නෙ නෑ. මේ දරපු උත්සාහය කොළඹට විතරක් නෙමේ, ප්‍රාදේශීය මට්ටමෙන් ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගෙනියන්න උත්සාහ දරනවා. අපිට මේ ප්‍රසංගය හොඳ රංග ශාලාවකත් කරන්න පුළුවන්. එළිමහනේ කමතකත් කරන්න පුළුවන්. අපි ඒකට සූදානම්වෙලයි ඉන්නෙ. හැබැයි ශාලාවක කරනවනම් හොඳ ශාලාවක. එළිමහනක කරනවනම් හොඳ සුන්දර එළිමහනක තමයි. හැබැයි එළිමහන්වල අද දකින ආතල් වනන, ආතල් වස්සන ප්‍රසංගයක් නම් නෙමෙයි Three face ප්‍රසංගය. මේකෙ තියෙන්නෙ රසය. මිනිස්සු රසය ඉල්ලනවා. අපි ඒ රස බෙදන්න කැමතියි.
Text -Dishani / Pic – Sumudu