අපේ දේශීය සිනමාව පණ අදින්න පටන් ගත්තේ අද ඊයෙක නොවේ. මීට අවුරුදු 10ක 20ක කාලයක පටන්ම අපි මේ ඛේදනීය තත්ත්වය දැනගෙන සිටියෙමු. අදාළ පාර්ශව කමිටු පත් කළහ. සාකච්ඡා පැවැත්වූහ. ඒ විෂය සම්බන්ධව කටයුතු කිරීමට සුවිශේෂී පුද්ගලයෝ ලැබූහ. ඒත් තුවාලයට පැලැස්තර දමනවා මිස එය නිට්ටාවට සුව කිරීම සඳහා ලෙඩේ හඳුනාගෙන නිසි ප්‍රතිකාරයක් කළේ නැත.
වර්තමානය වනවිට දේශීය සිනමාවක් ගැන හෝ දේශීය සිනමාවේ අනාගතය ගැන හෝ කතා කරන්නට දෙයක් ඉතිරි වී තිබේද යන්නත් සැක සහිතය.
දැනට දේශීය සිනමා කර්මාන්තයට සෘජු ලෙස බලපා ඇති බරපතළ ගැටලු රැසක් ගැන සාකච්ඡා කරන්නට අප ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදන හා ශ්‍රී ලංකා චිත්‍රපට ප්‍රදර්ශක සංගමයේ සභාපති බුද්ධි කීර්තිසේන මහතා හමුවීමු.
අපි මේ කාලය තුළ මුහුණ දෙන විශාලතම ගැටලුව තමයි ප්‍රදර්ශනය සඳහා නියමිත හොඳ සිංහල චිත්‍රපට නැති වීම. ප්‍රදර්ශනය අපේක්ෂාවෙන් දැනට තිබෙන සිංහල චිත්‍රපට බොහොමයක් සතියක්වත් දුවයි කියලා හිතන්නට බැහැ. කොළඹ ප්‍රදේශය මෙන් නොව පිට පළාත්වල තිබෙන සිනමා ශාලා රැසක් සිංහල චිත්‍රපට මත යැපෙන නිසා එම ශාලා හිමිකරුවන් විශාල අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අපි මේ ප්‍රශ්න ගැන කීප විටක්ම ජාතික චිත්‍රපට සංස්ථාවත් සමඟ සාකච්ඡා වාර පවත්වා තිබෙනවා. එහෙත් චිත්‍රපට සංස්ථාව මේ ගැටලු දෙස ඕනෑකමින් අවධානය යොමු කරලා නැහැ කියලයි අපට කියන්න වෙන්නේ.
චිත්‍රපට සංස්ථාව භාරව අලුතින් පත්වෙලා සිටින විජේදාස රාජපක්ෂ මැතිතුමාගෙන් අපි ඉතාම කාරැණිකව ඉල්ලා සිටින්නේ මේ අර්බුදකාරී තත්ත්වය ගැන වහාම හොයා බලා අපේ සිනමාව බේරා දෙන ලෙසයි. චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කරන හැමවිටම ඔහු කියන්නේ ඔහුට තීන්දු තීරණ ගන්න බලතල නැතැයි කියලා. අපි අහන්නේ එහෙනම් එතුමාට කළින් හිටිය සභාපතිවරු වැඩ කළේ බලතල නැතුවද? අපි ගරැ ඇමැතිතුමන්ගෙන් ඉල්ලන්නේ මෙම විෂය ගැන දැනුමක් තිබෙන පුද්ගලයකු චිත්‍රපට සංස්ථාවට පත් කරලා අපේ සිනමාව විනාශ මුඛයෙන් ගලවා දෙන ලෙසයි. බුද්ධි කීර්තිසේන කීය.
සිංහල සිනමාව ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ වාර්තාව පසුගියදා එතුමන්ට භාර දුන්නා නේද?
ඔව්... ඒ වාර්තාවේ තිබෙන හැම යෝජනාවක්ම අපි අනුමත කරන්නේ නැහැ. සමහර හොඳ ඒවා වගේම සමහර අහිතකර දේවලුත් ඒකට ඇතුළත් වෙලා තියෙනවා. අලුත් ඇමැතිතුමාගෙන් අපි ඉල්ලන්නේ මෙම යෝජනාවලියෙන් අඩුම තරමේ 50ක්වත් ක්‍රියාවට නංවන ලෙසයි. ඒවා ක්‍රියාවට නංවන්නට නම් වැඩ දන්නා ක්‍රියාශීලී සභාපතිවරයෙක් සංස්ථාවට පත්විය යුතුයි.
දමිල චිත්‍රපට ආනයනය සම්බන්ධයෙන් ගැටලු තිබෙනවද?
ප්‍රදර්ශකයන් ලෙස අපට අවශ්‍ය වෙන්නේ ශාලාවල චිත්‍රපට පෙන්වීම හා ඒ සඳහා ප්‍රේක්ෂක පිරිස වැඩි කරගැනීමයි. මේ රටේ දමිල භාෂාව කතා කරන විශාල ප්‍රේක්ෂක පිරිස වෙනුවෙන් ගෙන්වන දකුණු ඉන්දීය දමිල හෝ හින්දි චිත්‍රපට ගැන අපට ගැටලුවක් නැහැ. ඒත් ඉංග්‍රීසි චිත්‍රපට ගැන නම් ගැටලුවක් තියෙනවා. දමිළ, හින්දි චිත්‍රපට ආනයනය කරන්නන්ගෙන් අපට ගැටලුවක් නැති වුණාට ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වන ආනයනකරුවන්ගෙන් අපට ගැටලු රැසක් තිබෙනවා. ප්‍රදර්ශක මණ්ඩලයට අයත් සිනමා ශාලා හිමිකරුවන් හැටියට අපි නිල වශයෙන් බැඳී සිටින්නේ ජාතික චිත්‍රපට සංස්ථාවත් එක්ක වැඩ කරන්න. ඒත් ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වන අය චිත්‍රපට සංස්ථාවත් එක්ක ගිවිසුමට එළඹිලා නැහැ. එහෙම තියෙද්දී ඒගොල්ලන්ට බැහැ ඒ අයට ඕන විදිහට අපිව හසුරුවන්න. අපේ දේශීය චිත්‍රපට කර්මාන්තය අසීරු තත්ත්වයක තිබියදීත් අපේ චිත්‍රපට අමෙරිකාවෙවත්, ඉන්දියාවෙවත් ප්‍රදර්ශනය කරන්නේ නැහැනේ. ඉතින් ප්‍රදර්ශන සමාගම්වල නිත්‍යනුකූල අයිතීන් නැති කරන්නට හෝ හෑල්ලුවට ලක් කිරීමට අහසින් පහත් වුණු ඉංග්‍රීසි චිත්‍රපට ආනයනයකරුවන්ට ඉඩ දෙන්න බැහැ. අපේ අයිතීන් උල්ලංඝනය කරන්න ඒ අයට කොහෙත්ම අයිතියක් නැහැ. ජාතික චිත්‍රපට සංස්ථාව මෙවැනි අවස්ථාවලදී මැදිහත් වෙලා අපේ සිනමාව, සිනමා ශාලා හා ප්‍රදර්ශක සමාගම් රැකගන්නට ඉදිරිපත් වෙන්න ඕනේ. සමහර ඉංග්‍රීසි චිත්‍රපට ගෙන්වන්නෝ ඒ අයට හිමි ශාලාවල එක සිංහල චිත්‍රපටයක්වත් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අපේ දේශීය සිනමාවට කිසිම විදිහකින් අත නොදෙන ඒ අයගේ පරම අභිලාෂය මුදල් ඉපැයීම විතරයි
ඉදිරියේදී ප්‍රදර්ශනය සඳහා හොඳ චිත්‍රපට නැති වීමට හේතුවක් තිබෙනවාද?
ප්‍රධාන හේතුව තමයි හොඳ චිත්‍රපට හැදෙන්නේ නැති එක. හොඳ චිත්‍රපට හැදුවත් ඒවා නරඹන්න ප්‍රේක්ෂකයෝ එන්න කැමති හොඳ සිනමා ශාලාවලට. සිනමා ශාලා හොඳින් නඩත්තු කරන්න, සේවක පඩි නඩි ගෙවන්න, බදු ගෙවන්න පුළුවන් වෙන්නේ ඒ ශාලාවලට ප්‍රේක්ෂකයෝ ආවොත් විතරයි. ඉතිං සතියක්වත් දුවන්න බැරි චිත්‍රපට හැදෙනකොට සිනමා ශාලා හිමිකරුවන්ට සිදුවන්නේ මොනවද? ඒ මදිවට සිනමා කර්මාන්තය වෙනුවෙන් ලබාදී තිබෙන බදු සහන රැසක් මුදල් අමාත්‍යංශය විසින් කරලා කප්පාදු තියෙනවා. මම ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඒ බදු සහන අපට යළි ලබා දෙන්න කියලා. ලොතරුයි පත් විකුණන අලෙවිකරැවන්ගේ ප්‍රශ්න විසඳගන්න පුළුවන්නම් මේ රටේ කලාව හා සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින දේශීය සිනමාව වෙනුවෙන් නීති වෙනස් කරන්නට බැරිකමක් තියෙනවද? අපේ සිනමාව බේරා ගැනීමට ලැබී තියෙන අවසාන අවස්ථාව මේකයි කියලා තමයි මම විශ්වාස කරන්නේ.
► Text – Ramesh Uvais / Pic – Internet