2018 මැයි 26 වන සෙනසුරාදා

පුර හඳ එක්ක එන්න නිල් අහසට

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 846

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න 
සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න 
පුර හඳ එක්ක එන්න නිල් අහසට 

විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට 
නෙතු වියන් අගට පලඳා සුදු මුතුලැල් පොට 
පුර හඳ එක්ක එන්න නිල් අහසට 

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට 
එක යායක් වෙයි මුළු ලෝකය හඳ එළියට 
පුර හඳ එක්ක එන්න නිල් අහසට
 


ගී පද - රත්න ශ්‍රී විජේසිංහ 
සංගීතය - රෝහණ වීරසිංහ 
ගායනය - සශිකා නිසංසලා 

විරහා ගින්දරින් දැවෙන ඇවිලෙන මේ ලෝකයේ හැම මිනිස් හදවත්කම සඳුන් වැනි සීතල සුවය දනවන ප්‍රේමයකින්, මනුෂ්‍යත්වයකින් සිහිලැල් කරන්න හැකිනම්... එය හැම හදවතකම  ප්‍රාර්ථනාවක් නොව පාරමිතාවක් වෙනවානම්... නිසැකයෙන්ම මුළු ලෝකයම සතුටේත් සැනසිල්ලේත් එකම යායක් බවට පත්වේවි දවසක....  

ගීයක් අසන මොහොතක සිතේ ඉපදුණු සිතුවිල්ලකි ඒ. විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට... ඒ ගීයේ වඩාත් ආදරයෙන් සිත කෙනිත්තූ ගී පදය එයයි. ඔබ නොයෙක්වර අද අපේ විචාරයට තෝරා ගත් මේ  ගීය අසා ඇති. එහෙත් ඒ ගීයේ ගැඹුර.. ඒ ගීයෙන් කියන ප්‍රේමය හා මනුෂ්‍යත්වය පිළිබඳ සුන්දර පණිවිඩය ඇතැම් විට ඔබට එක්වරක්වත් නොහැඟෙන්නත් ඇති... ඒ මොන කුණුහරප සින්දුවක්ද? සරලවම පැවසුවහොත් ඔබට ඒ ගීතය ගැන පැවතුණේ එවන් තේරුම් ගැනීමක් වෙන්නත් ඇති. 

තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න 
සේපාලිකා මලකට රෑ තනියම හිනාවෙන්න 
පුරහඳ එක්ක එන්න නිල් අහසට 

රත්න ශ්‍රී විජේසිංහ වැනි ගී පද රචකයෙක් මෙහෙම සින්දුවක් ලියුවද? තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න... කොච්චර කසි කබල් පටන් ගැන්මක්ද? මේ ගීතය ගැන ඇතැමුන් එවන් දැක්මක සිටිද්දී ඇතැම් FM නාලිකාවන් ඔස්සේ ගීත ඉල්ලා සිටින ඇතැම් අයගේ ඉල්ලීම්ද අපට සිහිපත් වේ. 

මට දෙනවද තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න...
හා දෙන්නම්... කියන්න තව කවුද අපිත් එක්ක එකතු වෙන්නේ කියලා. 
මායි, මගෙ දුවයි, මහත්තයයි....

මෙවන් වැඩසටහනක් අසා සිටින තවත් රසිකයෙක් වෙතින් ලැබෙන දෝෂාරෝපණය වැඩසටහන මෙහෙයවන නිවේදකයා හෝ නිවේදිකාව කෙරේ මෙන්ම ගීතය ඉල්ලා හිඳින ශ්‍රාවකයන් කෙරේද එල්ල විය හැක. මේ සියලු විචාර ආකල්ප මැද හිඳ අපි තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න අපේ විචාරයට බඳුන් කරමු.

මට ඔබ ජීවිතයේ වඩාත් සංවේදී ඉසව්වකට කැටුව යන්නට මොහොතකට සිත් වෙයි. ලෝකය සහ මිනිසුන් බෙදා වෙන්කළ සියලු නිර්ණායක ඉවත හල කල අපි සියල්ලෝම මනුෂ්‍ය යන පොදු කුලකයට අයත් සත්ත්වයෝ වෙමු. මානව ප්‍රකෘතිය තුළ අපට දැනෙන හැඟීම් විඳීම් බොහෝ විට එක හා සමාන වෙයි. ලෝකයේ බිහි වූ හා බිහිවන මහා ප්‍රාඥයන් පවා ජීවිතය අබිමුව දණින් වැටෙන.. ප්‍රේමණීය ලෙස සංවේදී වෙන.. බොළඳ බවින් කිතිකැවෙන හැඟීමක් වූයේනම් හා වෙත්නම් ඒ ප්‍රේමයයි. ප්‍රේමය හා බැඳී ගිය රාගය, ස්පර්ශය, සල්ලාපය, ඉඟි බිඟි මේ හැම ගනුදෙනුවකදීම ප්‍රේමයෙන් බැඳුණු  සිත් ඇත්තෝ වඩාත් හැඟීම්බර වෙති. ප්‍රේමය විසින් ජනිත කරන සොඳුරුතා සේම දුක්බර ශෝක හැඟීම් ද අපි මේ ජීවන ගමනේදී අත්විඳින්නෙමු. ප්‍රේමයට කවර අර්ථ නිරූපණ නිර්වචන ඉදිරිපත් වුවත් මා දකින සහ විශ්වාස කරන ප්‍රේමය යනු හුදෙක් රාගයේ සහ ආදරයේ සංකලනයක් නොවේ. එක් අතකින් ප්‍රේමය යනු විශ්වීය ගනුදෙනුවකි. ප්‍රේමය තුළ රාගික හැඟීම් යටපත් කරගෙන වරෙක අධ්‍යාත්මික වටිනාකම් ඉස්මතු විය හැක. මනුෂ්‍යත්වයේ ධර්මතා ඉස්මතු විය හැක. ගැහැනියක හා පිරිමියකු අතර ඇතිවෙන ප්‍රේමණීය බන්ධනයක පදනම වරෙක රාගික හැඟීම් අල්පමාත්‍රයකත් අධ්‍යාත්මික හැඟීම් මහමෙරකත් එකතුවක් විය හැක. තවත් වරෙක එය අධ්‍යාත්මික වටිනාකම්වලින් විරහිත හුදු ලිංගික සහ භෞතික ගනුදෙනුවක් පමණක්ම විය හැක.

ආ ලය 
ද යාව 
ර තිය 
ය ථාවබෝධය 

අපි ආදරය එලෙස අර්ථ ගන්වමු. ජීවිතයත් ප්‍රේමයත් සංවේදී සිත් ඇති අපට රාත්‍රියේ ඝනකම් ලෙස ඉහිරෙන කළුවර තුළ වඩාත් ගැඹුරින් දැනෙන්නට පටන් ගනියි. රාත්‍රිය මිනිසුන්ගේ ජීවිතවල සීමාවන්ගේ පටු බව සීමා රහිත දැනීම් බවට පත් කරයි. කළුවර සමඟ අපි වරෙක අපි - අපි තුළම හුදෙකලා වෙමින් අපි - අපි සමඟම කතා කරමු. සිත් තුළ කැකෑරෙන සිතුවිලි වේදනාවන් ඒ රාත්‍රිය සමඟ අවදි වී අප අසළම දැවටෙයි. හදවතේ ගුලි ගැහුණු අපේම සිතුවිලි සමඟ අපිම පොර බදියි. එවන් රාත්‍රීන්වලදී හුදෙකලාවම ජීවිතයේ බොහෝ අහිමි වීම් සමඟ විඳවන ඉකිගසන සිත් මේ ලෝකයේ අනන්තයයි මට සිතේ.

විරහී හදවත් සඳුන් උලා සිහිලැල් කොට 
නෙතු වියන් අගට පළඳා මුතු සිහිලැල් පොට 
පුර හඳ එක්ක එන්න නිල් අහසට 

විරහා ගින්දරෙන් දැවෙන හදවත් සඳුන් වැනි සිහිල දනවන ප්‍රේමයෙන් මනුෂ්‍යත්වයෙන් සිහිල් කළ හැකිනම්... ඔබට එවන් සිත් මනුෂ්‍යත්වයේ ප්‍රේමයෙන් සනසාලන්න නිවාලන්න හැකිනම්... පුන් සඳකින් වැගිරෙන සෞම්‍ය සඳ කාන්තියෙන් මුළු ලෝකයම එළිය කරන ලෙසින් ඔබටත් සඳක් සේ එවන් සිත් නිවා සනසාලිය හැකිනම්.. කළුවර දුරලන පුර සඳක් සේ වෙන්න ඔබටත් හැකිනම්.. ඒ මේ ගීතයේ හමුවන අරුතින් සාරවත්ම ගී පද සමුච්චයයි.
තොල් පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න... ඒ තොල් පෙති යනු මල් පෙතිය. රාත්‍රියේ සඳකැන් වැටුණු විට සේපාලිකා මල් පිපෙන්නට පටන් ගනියි. පුර සඳ අහසට පැමිණිය හොත් රාත්‍රිය සුවඳවත් කරමින් තුටින් හිනාවෙන්නට හැම සේපාලිකා මලකටම හැකිවෙයි. සේපාලිකා සිනාසෙයි. රාත්‍රියත් සුවඳවත් වෙයි. ඒ සතුට වෙනුවෙන් පුර සඳ අහසට එන්න ඔබ.... කළුවරට තුරුල් වී වේදනාවෙන් ඉන්න මිනිසුන්ගේ ලෝකයට රාත්‍රියේ සිනාවෙන්නට සඳ එළිය යදින සේපාලිකා මල් වෙනුවෙන් සඳ එළිය දන්දෙන සඳක් සේ විය හැකිනම් ඔබටත්.... මතුපිට අර්ථය ගැඹුරේ ගී පද රචකයා සඟවාලූ අර්ථය එයයැයි මට හැඟේ.

එහෙත් ප්‍රායෝගික ලෝකයේ අපට මුණගැසෙන බොහෝ මිනිසුන් එක පෙළට පේවී බලා හිඳින්නේ විරහා ගිනි උසුලන තැලුණු වේදනා සිත් දරාගෙන සිටින හදවත් පාගා පොඩිකර දමන්නට නින්දා අවමන් නගන්නට මිස ඒ සිත් ප්‍රේමයෙන් සහ මනුෂ්‍යත්වයෙන් සනහන්නට නොවේ. මේ ගීතයේ ගී පද රචකයා සේපාලිකා මල් පුර සඳ ආදී රූපක මගින් කියන්නට වෑයම් කළ අරුත්හි ගැඹුර කෙතරම් පුළුල්ද? යන්න ගීතයේ ඇතුළාන්තය විමසීමෙන් මිස වටහා ගැනීම අසීරුය.

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සදහට 
එක යායක් වෙයි මුළු ලෝකය හඳ එළියට 
පුර හඳ එක්ක එන්න නිල් අහසට 

කටු කම්බි පවුරු.... ඒ අප බෙදා වෙන් කළ සීමාවන්ය. අපේ හදවත් මත ලේ ගලන තුවාල ඇති කළ රිදවුම්ය. ඒ සියල්ල ලිහී ගොස් එක අහසක් යට විසුල සඳ එළියෙන් සියලු මිනිස් හදවත් සිහිලැල් කළ හැකිනම්... සඳ ඔබ පැමිණියහොත් ඔබ විහිදුවාලන මේ සිහිලසින් මුළු ලෝකයම එකම යායක් බවට පත්වේවි. 

ඔබටත් එවන් සඳක් වෙන්නට හැකිනම්..... ගීතය අසන වාරයක් පාසා ඔබ ඔබේ සිත්හි රඳවා ගත යුතු සිතුවිල්ලත් එයම නොවේද? 

 

අපේ විචාරයට ලක්වෙන ගීත ගැන ඔබටත් කියන්නට දෙයක් ඇත්නම් අපට ලියන්න.ඔබ කැමති ගීතත් අපට කියන්න.
Deshayanews@gmail.com
Deshayalayout@gmail.com
හදසර - සංස්කාරක, දේශය කතෘ මණ්ඩලය, 
විජය පුවත්පත් සමාගම, අංක 08, හුණුපිටිය හරස්පාර කොළඹ 02

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00