2018 ජුනි 02 වන සෙනසුරාදා

කොච්චර වහන්න ට්‍රයි කළත් ඒ තට්ටෙනුත් කෙස් පැන්නා

 2018 ජුනි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 178

ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පී ප්‍රියන්ත දිසානායක

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ බිම්බාදේවි හෙවත් යශෝදරා සිනමාකරණයේ ප්‍රධාන වේෂ නිරූපණ ශිල්පියා ඔබයි. කොහොමද මේ අවස්ථාව ලැබුණේ...?
මේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂක විමල් දේශප්‍රිය අයියා තමයි මුලින්ම මට මේ චිත්‍රපටය ගැන කිව්වේ. ඒ වෙලාවේ මට මේ චිත්‍රපටයේ වැඩකරන්න කැමති ද කියලත් ඇහුවා. ඒ වෙලාවේ මම ගොඩාක්ම සතුටු වුණා. සුනිල් සර් වගේ ප්‍රවීණයෙක් යටතේ වැඩකිරීමට ලැබීමත් භාග්‍යයක් වුණා.

මේක ඉතා දැවැන්ත නිර්මාණයක්. සැබෑ මුහුණුවලින්, සිද්ධාර්ථ යශෝදරා වැනි චරිත මැවීම ප්‍රියන්තට අභියෝගයක් වුණාද...?
ඔව්... ඒක අභියෝගයක් වුණා. හැබැයි නිෂ්පාදන පෙර සූදානමේදී අපි මේ චරිත හැඩගසාගන්න ඕනේ මොන විදිහට ද කියලා සාකච්ඡා කිහිපයකදීම අපි කතාබහ කළා. ඒ තුළින් අපි චරිත ගොඩනැගුවා. හැබැයි මිනිසුන්ගේ හිතේ මෙපමණ කාලයක් මැවුණ සිද්ධාර්ථ, යශෝධරා දෙව්දත් ඇතුළු ඒ චරිතවල තියෙන ස්වභාවය අපි වෙනස් කළේ නැහැ. පොඩි කාලේ ඉඳන් අපිට මැවුණ ඒ චරිතවලට සාධාරණයක් කරන්න. මිනිසුන්ට විශ්වාසය ඇතිකරන්න අපිට ඕන වුණා. ඒකට අපි අමතර දේවල් එකතු කළේ නැහැ.

මේ නිර්මාණයේ සිද්ධාර්ථ සහ යශෝධරා ඉන්දියාවේ දෙදෙනෙක්. කොහොමද ඒ දෙදෙනා එක්ක තිබුණු සහයෝගය...?
අපි වැඩකට සූදානම් වෙනකොට ඒ අය අපි ගැන තීරණය කරන්න ඇති. සුනිල් මුලින්ම මාව ඒ අයට හඳුන්වලා දුන්නා. ඒ නිසා ඒ විශ්වාසයට ඒ අය මට සහයෝගය දුන්නා. ලංකාවේ අය එක්ක වගේම හරිම සුහදව අපි ඒ අයත් එක්කම වැඩ කළා. කොහොමත් ඒ අයත් හරිම සුහදශීලීයි.

බොහෝ නිර්මාණවලදී හිසමුඩු කරන්න සිද්ධ වුණත් “යශෝධරා නිර්මාණයේදී ඔබ කිසිඳු චරිතයක හිසමුඩු නොකර ගිහි චරිත ලෙස වේෂ නිරූපණය කළා...?
ඔව්... ඒකට පැය දෙකාමාරක් තුනක් විතරක් කාලයක ගතවුණා. හැබැයි ඉතින් ඊටත් වඩා හොඳට කරනවා නම් මේකට පැය හතරක් පහක් වගේ කාලයක් යනවා. නමුත් ලංකාව වගේ රටක අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. පුළුවන් තරම් ඉක්මණින් ඒ චරිතය නිර්මාණය කරලා දෙන්න ඕනේ. නැත්නම් මේ වගේ රූගත කිරීමක් කරන්න ගොඩාක් වෙලාවට අපහසුයි. අපි කොයිම වෙලාවකවත් පාන්දර එකට දෙකට කලා ශිල්පී ශිල්පිනියන්ට නැගිට්ටවලා මේකප් කළේ නෑ. ඔවුන්ට අපහසුවකින් තොරව තමයි අපි හැමවෙලේම වැඩ කළේ. බොහෝ වෙලාවට අපි මේකප් කරන්න පටන් ගත්තේ පාන්දර පහට හයට වගේ වෙලාවල්වලයි. එතන ඉඳන් මට ලැබෙන කාල සීමාව අඩුකරගෙන තමයි මම රූගත කිරීම්වලට ඔවුන්ට ලබාදුන්නේ.

මේක අභියෝගයක් වුණා නේද...?
ඔව්... බොහෝ රටවල්වල හිසමුඩු කරනවා. ඒත් අපිට එහෙම කරන්න බැහැ. අඩුම තරමේ මේකට දෙව්දත්ගේ චරිතයට රඟපෑ දිනෙත්ටවත් හිස මුඩු කරන්න බැහැ. ඔවුන් වෙනත් නිර්මාණවලට දින දීලා තියෙනවා. ඒ නිසා අපි මේ හිසමුඩු කිරීම වෙනුවට විග් එකක් පාවිච්චි කළා. මේක කෘත්‍රීම තට්ටක් පාවිච්චි කරලා කරන දෙයක්. ඒක ලේසි වැඩකුත් නෙමෙයි. ඒක සමත් එක්ක ගලපන්න ඕනේ. හිස ආවරණයක් විදිහට තමයි මේක නළල වටේත් සවි කරන්නේ. යශෝධරා දේවියට රඟපෑ පල්ලවී සුභාෂ්ට දිගු කෙස් කළඹක් තියෙනවා. ඒ කෙස් කළඹ හිසේ හැඩයට ඔතාගෙන මෙම කෘත්‍රීම කැප් එක සවිකරලා ඒ දෙක අතරේ යම් සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. ඒක ටිකක් අමාරු වුණා.

යශෝධරා චිත්‍රපටය නරඹද්දී වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට ඔබ ගැන ඔබට සෑහීමට පත්වෙන්න පුළුවන්ද...?
මම සීයයට සීයයක් නම් සෑහීමට පත්වෙන්න බැහැ. ඔය වගේ කෘත්‍රීම තට්ටයක් දානවානම් කෙස් ගස් වටේට ඇති කෙස් ටික පවා කපන්න ඕනේ. නමුත් යශෝධරා නිර්මාණයේ දී කාගේවත් හෙයා ලයින් එක වටේ තියෙන කෙස් ටික අයින් කරන්නේ නැතිව, හානියක් නොවන විදිහට වැඩකරද්දී සමහර වෙලාවට මම සාර්ථක නොවෙනවා. ඒවට මට තියෙන ඉඩප්‍රස්ථාව හරි අඩුයි. අඩුතරමේ මූණට ඇවිත් තියෙන කෙස් ගස්වත් අපි කැපුවේ නැහැ. හරි සියුම් විදිහට හරිම පරිස්සමෙන් කරපු වේෂ නිරූපණ නිර්මාණයක තමයි මේක. ඒක එතරම් ලේසි පහසු කටයුත්තකුත් නෙමේ. තව ටිකක් කාලය අරගෙන තව වැඩටිකක් කළානම් හොඳයි කියලත් මට හිතුණා. හැබැයි සුනිල් සර් ඇතුළු බොහෝ දෙනා මගේ කටයුත්ත හොඳටම අගේ කළා.

ප්‍රියන්ත වේෂ නිරූපණ ශිල්පියෙක් විදිහට කලාවට සම්බන්ධ වුණේ කොයි කාලේදීද...?
මම අ.පො.ස. උසස්පෙළට සෞන්දර්ය විෂය තමයි කළේ. ඒකට ප්‍රබලම හේතුව වුණේ මගේ අක්කා. ඒ හරහා නාට්‍ය හා රංග කලාව මම විෂය විදිහට හැසුරුවා. අපි නාට්‍යවලට සම්බන්ධ වුණා. ඔය කාලේදී ඉන්දික රුක්ෂාන් කියන අංග රචනා ශිල්පියා හරහා මට සෑම් පෙරේරා මහතාව මුණගැසුණා. ඊට පස්සේ මට කොණ්ඩ සැකසුම් ශිල්පියටත් වඩා වේෂ නිරෑපණ ශිල්පියට ආස හිතුණා. ඒ හරහා ගිහාන් රෝහණ හරහා ප්‍රියන්ත සිරිකුමාර කියන අංග රචනා ශිල්පියා යටතේ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා තමයි මට ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් “පොඩි ප්‍රියන්ත කියන නමින් හඳුන්වන්නේ. කාලයක් යද්දී මගේ ගුරුවරුන්ගේ ආශිර්වාදයත් උදව් ඇතිව මම චිත්‍රපටවලට තනියම අංග රචනා කරන්න පටන් ගත්තේ. ඒ අනුව ඉරහඳ යට, හෝ ගාන පොකුණ, නෙලා වගේ චිත්‍රපටවලට සම්බන්ධ වුණා. රාජිත දිසානායක අධ්‍යක්ෂණය කරන වේදිකා නාට්‍ය බොහෝමයකම මම අංගරචනා ශිල්පියා විදිහට කටයුතු කරනවා.

යශෝධරා සිනමා නිර්මාණයේ දී අමතක නොවන සිදුවීම් වෙලා නැද්ද...?
තිබුණු ලොකුම අමතක නොවන සිදුවීම තමයි තිබුණු සීමිත ඉඩ ප්‍රමාණයෙන් අපි සැවොම උපරිම ප්‍රයෝජන ලබා ගැනීමයි. යශෝධරා චිත්‍රපටයේ රූගත කිරීම් වැඩි හරියක් කළේ රන්මිණිතැන්නෙයි. ඒකේ වටේටම ටකරන් සෙවිලි කරලා ඒක කාඩ්බෝඩ්වලින් ආවරණය කරලයි තිබුණේ. පන්දම් බොහෝ සංඛ්‍යාවක් පත්තු කරලා තිබුණා. මහ ගිනි ගහන දවාලේ පුදුමාකාර රස්නෙදී තමයි අපි ඒ වටේම ආවරණය කරපු කොටසේ රූගත කිරීම් කළේ. පුදුමාකාර රස්නයක් තිබුණේ. දාඩිය දාන එක නැතිකරන්න ෆෑන් දාන්න බැහැ. එහෙම වුණොත් පන්දම් නිවෙනවා. ඉතින්... සමහර රූගත කිරීම්වලදී මම ළඟ ඉඳලා මුහුණේ දාඩිය පිහිදාලා එතනම බිම පාත්වෙන වෙලාවල් අනන්තවත් තිබුණා. ඒවා හොඳ මතක සටහන්.

ප්‍රියන්ත අද දියණියන් දෙදෙනෙක්ගේ ආදරණීය පියෙක්. කොහොමද ඒ ජීවිතේ...?
ඔව්... මට දුවලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්නම නුගේගොඩ සුජාතා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. මගේ බිරිඳ නලිනි දසන්ති පත්බේරිය. අපේ ලොකු දුව නදෙව්නි, පොඩි දුව නෙතුලි. ඉතින්... දරුවන් දෙදෙනාගේ සියලු කටයුතු හොයලා බලලා කරන්නේ මගේ ආදරණීය බිරිඳ. මට මගේ නිර්මාණ කටයුතුවලට හිතේ නිදහසින් දායක වෙන්න හිත නිදහසේ තියාගන්න වටපිටාව බිරිඳ මට ලබලා දීලයි තියෙන්නේ. මේ හැම දෙයක්ම ගොඩනගා ගන්නේ මන් රස්සාවෙන්. ඒ නිසා මම මගේ වෘත්තීයට ගොඩාක් ගරු කරනවා. 

 

► Text - Jayamali