දිනෙත්ට මේ දවස්වල කට්ටිය දේවදත්ත කියනවා කියලයි ආරංචිය...?
ඔව්නෙ... යශෝදරා සිනමාපටය නිසා මම දේවදත්ත වුණා.
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ...?
මාව මුලින්ම යශෝදරා චිත්‍රපටයට යෝජනා කරලා තියෙන්නෙ නන්දා මාලිනී මහත්මියයි. ආලෝෙකා් උදපාදි චිත්‍රපටය බලන්න ඇවිත් මාව දැකලා තමයි ඇය සුනිල් ආරියරත්න සර්ට මම ගැන කියලා තියෙන්නෙ. ඊටපස්සෙ මේ ෆිල්ම් එකේ වේෂනිරූපණ ශිල්පී ප්‍රියන්ත දිසානායක අයියත් සුනිල් සර්ට මම ගැන කියලා තිබුණා. ඒ අනුව මම සුනිල් සර්ව මුණගැහිලා අපි කතාබහ කළා. ඊටපස්සෙ තමයි දේවදත්තගේ චරිතය මට ලැබෙන්නෙ. ඒ චරිතය තරුණ කාලේ සිට හාමුදුරුවන්ගේ චරිතය දක්වාම ගලාගෙන යනවා. ඒ හැමදෙයක්ම සුනිල් සර් එක්ක කතාබහ කරලා තමයි චරිතයට අවතීර්ණ වුණේ.
චිත්‍රපටය සඳහා දවස් හතළිස් පහක රූපගත කිරීම් කරන්න තිබුණා නේද...?
ඔව්... මුලින්ම ඔය චිත්‍රපටය රූපගත කිරීම් කරන්න තිබුණේ නේපාලයේ. ඊටපස්සෙ සුනිල් සර් ඒ විදිහටම ලංකාවේ රූපගත කිරීම් කරන්න සියල්ල සූදානම් කළා. ඒ වෙනුවෙන් ලොකු මහන්සියක් සුනිල් සර් ඇතුළු කණ්ඩායම ගත්තා. ෆිල්ම් එක බලද්දී මේ ලංකාව කියන්න බැරි තරමට ඒ වටපිටාව, මේකප්, ඇඳුම් පැළඳුම් ගලපලා තිබුණා. චිත්‍රපටය පුරාවට ඒ ඉන්දියාවේ වටපිටාව ඒ විදිහටම මවලා තිබුණා.
යශෝදරා චිත්‍රපටය රෑපගත කරද්දී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති...?
ඔව්... ඇත්තෙන්ම. ගිය අවුරුද්දේ මැයි මාසයේදී තමයි රූපගත කිරීම් පටන් ගත්තේ. ඒ කාලෙදී ලොකු ගංවතුරක් ආවා. ඔය ගංවතුරේදී රන්මිණිතැන්නේ තිබුණු විල පිරිලා අපේ මාලිගාව සේරම හේදිලා ගියා. කොළඹින් ගිය වාහන එහේ ඉඳන් රන්මිණිතැන්නට එන්න ගොඩක් වෙලා ගතවුණා. සමහරු එන්න බැරිව කොළඹ හිරවුණා. ඒ වගේම යශෝදරා චිත්‍රපටයේ කඩුහරඹ දුනුහරඹ කරන්න තිබුණා. ඒවා පුරුදු පුහුණු වෙද්දී තුවාල වුණා. සීරීම් අනන්තවත් වුණා. හැබැයි අපිට ඒ කිසිවක් වේදනාවක් වුණේ නෑ.
එතකොට සිද්ධාර්ථ අශ්වයාගේ පිටින් ඇදගෙන වැටිලත් ලොකු ප්‍රශ්නයක් වුණා නේද...?
ඔව්.. කන්ථක අශ්වයා වෙනුවෙන් සුදු අශ්වයෙක් හිටියා. ඉතින් එකපාරක් සිද්ධාර්ථ චරිතය රඟපෑ ආදිත්‍ය එකපාරටම අශ්වයාගේ පිටින් වැටුණා. ඒ අශ්වයා ටිකක් දඟලන අශ්වයෙක්. ඒ වෙලාවේ අපි හිතුවේ ලොකු අනතුරක් වුණාදෝ කියලයි. අන්තිමට චිත්‍රපටයේ සතර පෙරනිමිති වෙනුවෙන් මළමිනියක් උස්සගෙන ගිය දරමැස්සේ මළමිනියට තිබුණු ඩමිය බිමට දාලා ඒ දරමැස්සේ උඩ මමයි තව කෙනෙකුයි සිද්ධාර්ථව තියාගෙන උස්සගෙන ගිහින් වාහනයට දාගෙන ඒ රජ ඇඳුම පිටින්ම ඔහුව ඉස්පිරිතාලේ ගෙනිච්චා. හම්බන්තොට හොස්පිට්ල් එක පුරාම සිද්ධාර්ථව රජ ඇඳුමෙන් රෝදපුටුවේ තියාගෙන ගිය දවසනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.
දිනෙත් දේවදත්ත චරිතය ගැන පොතපත හැදෑරීමක් මුලදී කළාද...?
ඔව්... මම දේවදත්ත ගැන හෙව්වා. පරණ චිත්‍රපට බැලුවා. පොත්පත් කියෙව්වා. ඒවායින් අවබෝධයක් ලබාගත්තා. හැබැයි ඒ හැම දේවදත්ත කෙනෙක්ටම වඩා අවසානයේදී මම කළ යුතු වන්නේ සුනිල් සර්ගේ හිතේ ඇඳුණු දේවදත්තගේ චරිතයයි. සුනිල් සර් දකින දේවදත්තයි. දේවදත්ත චරිතය මම දැනගෙන සිටියත් සුනිල් සර්ගේ පිටපතේ ඉන්න ඔහුගේ හිතේ මැවුණු දේවදත්ත වෙන එක තමයි වැදගත් වෙන්නෙ. ඒ නිසා මම අවසානයේදී සුනිල් සර්ගේ හිතේ රැඳුණු දේවදත්තයි නිරූපණය කළේ.
ඒ දේවදත්ත ඔබ අධ්‍යයනය කළ දේවදත්තට වඩා වෙනස්ද...?
ඔව්... සුනිල් සර් දේවදත්තගේ චරිතයෙන් වෙනමම පැත්තක් පෙන්නුම් කරනවා. යශෝදරා නැගණිය වෙනුවෙන් තියෙන සහෝදර බැඳීම ගැන ඒ කතාව පුරාවටම පෙන්නුම් කරනවා. සිද්ධාර්ථ ගිහිගෙය අතහැරලා යන්න කලින් දේවදත්ත යශෝදරාගේ ඔළුව අතගාලා සිද්ධාර්ථ ඔබ අතහැරලා යනවා... ඔබ එයින් වැන්දඹුවක් වේවි කියලා බොහොම හැඟීම්බරව සහෝදර ලීලාවෙන් කියනවා. මේ සහෝදර බැඳීම දේවදත්තගේ චරිතයෙන් මීට පෙර අපි දැක්කෙ නෑ. මේ නිසා කොච්චර මම දේවදත්ත ගැන පොතපත කියවලා දැනගත්තත් අවසානයේදී රඟපෑවේ සුනිල් සර්ගේ හිතේ ඇඳුණු දේවදත්තගේ චරිතය.
මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ ඉන්දියානු නළු නිළියන් දෙපළක්. කොහොමද ඒ දෙන්න... මිත්‍රශීලී දෙන්නෙක්ද..?
ඔව්... මගේ නැගණිය යශෝදරා විදිහට හිටියේ පල්ලවී සුභාෂ්. ඇයයි සිද්ධාර්ථට රඟපෑ ආදිත්‍යයයි හරිම මිත්‍රශීලී දෙන්නෙක්. අපි හැමදෙයක්ම කතා කරලා සුනිල් සර්ගේ අදහස අනුව තමයි රඟපෑවේ. බොහොම සහයෝගයෙන්, යහළුවෝ වගේ අපි තුන්දෙනා ඒ වැඩ කළා. ෂූටිං නැති දවස්වලට අපි තුන්දෙනා තේවතුවල ඇවිද්දා. ටවුම් ගාණේ ඇවිද්දා. සිද්ධාර්ථගෙයි දේවදත්තගෙයි සටන්වලට අපි දවස් කිහිපයක්ම පුහුණුවීම් කළා. පොලු හරඹ කරද්දී අත්වලට වැදිලා අනන්තවත් රිදුණු අවස්ථා තිබුණා.
දිනෙත් පුංචි කාලේ ආසාවෙන් හිටියෙ නළුවෙක් වෙන්නද...?
මම කලාවට ගොඩක් ආසයි. මුලින්ම මම නිරෑපණ ශිල්පියෙක්. ඒ කරගෙන එද්දී තමයි මම රංගනයට එකතු වුණේ. හැබැයි මගේ හිතේ රංගන ශිල්පියෙක් වීමේ හීනයක් නොතිබුණාම නෙමේ. අද මම නොදැනුවත්වම රංගන ශිල්පියෙක්. ඒ ගැන ඇත්තටම තියෙන්නෙ ලොකු සතුටක්.
දිනෙත්ගෙ තාත්තා පොලිස් නිලධාරියෙක්. මේ දේවල්වලට ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද..?
මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. මගේ තාත්තා පොලිස් නිලධාරියෙක් වුණාට හරිම කලාකාමී කෙනෙක්. අපි පුංචි කාලේ අම්මයි තාත්තයි අපිව ළඟින් තියාගෙන මේ ගහකොළ ගැන සතා සිවුපාවුන් ගැන කතා කියලා දුන්නා. කලාකාමී පරිසරයක් අපිට මැව්වේ මගේ අම්මයි තාත්තයි. අදටත් මම පිටපතක් ලැබුණු ගමන් ගෙනත් දෙන්නෙ මගේ තාත්තටයි. ඒ පිටපත කියවලා තාත්තාගේ අදහස්, එයා දකින දේ ගැන අපි කතාබහ කරගන්නවා. මගේ හැම ෆිල්ම් එකක්ම බලන්න මම මගේ අම්මවයි තාත්තවයි එක්ක යනවා. කලාව කියන සිතිවිලි මට ඇතිකළේ මගේ තාත්තයි අම්මයි.
දිනෙන් සිනමාවට කොටුවෙලාද...?
මම කලාකරුවෙක් විදිහට සිනමාවට, වේදිකාවට, පුංචි තිරයට ආදරෙයි. නමුත් පසුගිය කාලෙදී පුංචි තිරයට වඩා සිනමාවට අවස්ථාව උදාවුණා. හමුවෙන ආරාධනා අනුව මම තෝරාබේරාගෙන නිර්මාණයන් කරනවා.
ළඟදී දිනෙන් විවාහ වුණා... එහෙම නේද...?
ඔව්... මම විවාහය ලියාපදිංචි කළා. එයා සිතාරි අරෝෂා පතිරණ. ඇයත් මට මගේ නිර්මාණ කරද්දී ලොකු සහයෝගයක් දෙනවා. අපි යහළුවෙකුගේ උත්සවයකදී තමයි මුලදී මුණගැහුණේ. ඉතින්... ඉදිරියේදීත් හොඳ නිර්මාණවලට දායක වෙන්න ආසයි. ඒ අතරින් මම රඟපෑ හිතුමතේ ජීවිතේ චිත්‍රපටය ගැනත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
► Text – Dishani / Pic - Sumudu