ඔයාට යන්න තැනක් තියෙනවද නැද්ද කියන කාරණය මට අදාළ නැහැ දුල්යානා... ඒත් ඔයා පහුගිය කාලෙ හැසිරිච්ච විදිහට මට ඔයා තවදුරටත් මේ පල්ලියේ තියාගන්න බෑ...
මට හෙට කියලා යන්ට තැනක් හොයාගන්න බෑ සිස්ටර්.. මට සතියක් කල්දෙන්න. මම යන්ට තැනක් හොයා ගන්නම්.
මම වසර ගණනාවක් තිස්සෙ මම ජීවත් වෙච්ච කාමරයේ මොහොතකට තනි වුණේ මොකක්දෝ හැඟීම්බර බවකින්. කාමරයේ විසල් වීදුරු ජනේලයෙන් එපිට මට පෙනුණේ පල්ලියේ උද්‍යානය. තද දම්පැහැ කානේෂන් සහ කහ පැහැ රෝස මල් පිපී තිබුණ උද්‍යානය දෙස බලා සිටින්න මම හුඟාක් කැමති වුණා. මට හිතුණේ කාටවත් කියාගන්න බැරුව හිතේ ගොඩගැහුණු හුඟාක් දේවල් මම කතා කළේ ස්භාවධර්මයේ වස්තූන් එක්ක කියලා. ඒත් තව ටික දවසකින් මම මේ හැමදේම අත්හැරලා වෙනම ජීවිතයකට යන්න ඕනෑ. මම යන්නෙ කොහාටද, ලකා ළඟටද කියන අතීරණයේ මම හුඟක් වෙලා හිටියා. මම මේ ලෝකෙ තනිවුණේ අවුරැදු හතරක් තරම් පුංචි වයසෙදී. තාත්තා අපි දාලා ගියාට පස්සෙ අම්මා ජීවත් වෙන්න මොනවද නොකළේ? රස්සාවක් නොතිබුණු අම්මට කරන්න පුළුවන් එකම දේ වුණේ දන්න කියන අයගෙන් පොලියට, ණයට සල්ලි ඉල්ලගෙන යන එක විතරයි. එහෙම යන හුඟාක් තැන්වලදී එයා කොච්චර පාච්චල් වුණාද? අන්තිමට මොකද වුණේ.. අම්මත් රට අත්හැරලා ගියා.
මට මම විතරක්ම වුණා. එහෙට මෙහෙට විසික් වෙවී මම ජීවිතේ අවුරුදු කොච්චර ගණනක් ගෙවා දැම්මද? තාත්තගේ නපුරු සහෝදරියන් ළඟ ගත කළ කාලය. ඒ කාලෙ මම හැමදාම වගේ හිටියෙ වැඩිපුර බඩගින්නේ... දෙවියනේ මේ පල්ලියේ නවතින්න එනකම් මම කී තැනක නවාතැන් ගත්තද? මගේ මතකෙ හැටියට තිස් හතර පොළක්... මට මේ දැනුත් මතක් වෙන්නෙ තඩි බඩක් තියෙන කපටි මුදලාලි කෙනෙක් වෙච්ච තාත්තගේ සහෝදරියගේ සැමියා... රූට අලි පේර කද්දී ඒ මනුස්සයා හැමදාම කළේ හොඳම අලි පේර ටික ඒ අයගෙ දුවට දීලා කුණුවෙච්ච අලි පේර ටික මට කන්න දුන්න එක... මට දුන්න එකේ සමහරවිට පනුවොත් හිටියා... ඒ දුවත් මුදලාලි අංකල් වගේම නපුරුයි... කෑදරයි. දවසක්දා මාව කාමරේකට දාලා වහලා තියලා බය කළා. ඒ මගේ ළඟ තිබුණ ලස්සන රෝස පාට ඔළුවෙ දාන බෑණ්ඩ් එක ගන්න අන්තිමේදී මට තිබුණු එකම දේ එයා මාව බය කරලා ගත්තා. තව දවසක් මගේ යාළුවෙක් මට දුන්නු සුදු ගල් අල්ලපු තද දම්පාට පෑනක් එයා හොරකම් කළා. ඒ වගේ හිතට දුක කාන්දු කරපු දුක්ඛිත අත්දැකීම් සමුදායක් මගේ ළමාවියේ තිබුණා. පුංචිම කාලෙ දවසක් මම අලුත් විදිහෙ පොත් බෑග් එකක් ඉල්ලලා අඬපු දවසෙ තාත්තා මට හොඳටම ගැහුවා. තව දවසක් පැන්සල් පෙට්ටියක් ඉල්ලලා අඬපු දවසෙත් එහෙමයි.
මම හීටියේ අතීතයේ. වර්තමානය ලෙස යළි මා වෙත පැමිණෙන්නේද ඒ අතීතයමයැයි මට හැෙඟමින් තිබුණා.
මම යනවා එයා ළඟට. මම විසල් වීදුරු ජනේලය දඩස් හඬින් වසා දාලා උද්‍යානයට ගියා.