2018 ජුනි 23 වන සෙනසුරාදා

සත පනස් පහේ ’’චිත්‍රපට පිස්සා’’

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

- ඩොනල්ඩ් ජයන්ත

ඩොනල්ඩ්... පසුගිය දිනෙක ඔබ සමස්ත ලංකා සංස්කෘතික සහයෝගිතා පදනමින් කලාකීර්ති දේශාභිමානී දේශ ගෞරවයෙන් පිදුම් ලැබුවා..?
ඔව්... 2015 දී තමයි මෙහෙම ගෞරව නාමයක් මට මුලින්ම ලැබුණේ. 2015 දී කලාකීර්ති දේශමාන්‍ය ශ්‍රී ලංකා පුත්‍ර ගෞරව නාමයත්, 2016 දී අවුරුද්දෙදී කලාශූරී දේශමාන්‍ය ශ්‍රී ලංකා පුත්‍ර නාමයත්, 2018 වසරේදී කලාකීර්ති දේශාභිමානී දේශ ගෞරව නාමයත් ලැබුණා. ඒක ඇත්තටම මට හරි සතුටක්.

වරෙක අධ්‍යක්ෂකවරයකු වූ තවත් වරෙක සහාය අධ්‍යක්ෂකවරයෙකු වූ ඩොනල්ඩ්ගේ ළමා කාලයේදීත් කැමැත්ත වුණේ කලාවට සම්බන්ධ වෙන්නද...?
ඉස්කෝලේ යන කාලෙදී මම පුදුම විදිහට චිත්‍රපට පිස්සෙක්. චිත්‍රපට බලන්න පුදුම ආසාවක් තිබුණා. මම ඉගෙන ගත්තෙ මාතර කොටපල ජාතික පාසලේ. ඒ කාලේ ගාමිණී ෆොන්සේකා තමයි මගේ වීරයා වුණේ. ඒ නිසා කවදාහරි දවසක මේ සිනමා ක්ෂේත්‍රයට ඒම තමයි මගේ එකම ආසාව වුණේ. ඉතින් අපේ ගමෙන් සිනමාවට ඒම ඒ තරම් ලේසි කාරණාවක් නෙමේ. හැබැයි ඉස්කෝලේ යන කාලෙදී මගේ යාළුවන්ගෙන් හරි සත පනස් පහක් හොයාගෙන මම එන හැම චිත්‍රපටයක්ම හෝල්වලට ගිහින් බැලුවා. ඉගෙන ගන්නවට වඩා ඔය පිස්සුව තමයි ඒ කාලේ මට තිබුණේ. මගේ ටාගට් එක වුණේ කොහොමහරි සිනමාවට ඒමයි.

ගෙදරින් ඒකට විරුද්ධ වුණේ නැද්ද...?
අම්මෝ... අනන්තවත් මට ගෙදරින් බැණලා තියෙනවා. ඒත්... මම ඒ කිසිම දෙයක් ඇහුවේ නෑ. චිත්‍රපට බලලා ඇවිත් ඉස්කෝලෙදී ඒ විදිහට රඟපාන්න ගිහින් අනන්තවත් පාසල් විදුහල්පතිතුමාගෙන් දඬුවම් ලබලා තියෙනවා. හැබැයි ඒවා මට ගාණක්වත් නෑ. මම ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා විදිහට යාළුවෝ ඉස්සරහ නටලා තියෙනවා. ඉතින් ඉස්කෝලෙදී මට ඩොනල්ඩ් ජයන්ත කියන නමට වඩා පිච්චර් පිස්සා කියන නමින් තමයි කවුරුත් කතා කළේ.

එහෙම චිත්‍රපටවලට ආසවුණු ඔබ ඒවාට සම්බන්ධ වෙන්න උත්සාහ ගත්තෙ නැද්ද...?
අනන්තවත් උත්සාහ ගත්තා. මට තාම මතකයි ඒ කාලේ මම ගමේ ඉඳන් චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ ගෙවල්වල ලිපිනය කොහොමහරි හොයාගෙන ඒ හැමෝටම ලියුම් යැව්වා. ඒත් ඒ එකම ලියුමකටවත් මට උත්තරනම් ලැබුණේ නෑ. ඔය කාලෙදී මගේ හීනය වුණේ ගමෙන් කොළඹට ඇවිත් කොහොමහරි ගාමිණී ෆොන්සේකාව මුණගැහෙනවා කියලයි. ඊටපස්සෙ මම ගාමිණී රඟපාන චිත්‍රපට බලන්න පවා ගියා. ඒත්... මට ඔහු මුණගැහුණේ නෑ. කොළඹ ෂූටිං කරන තැන්වලට ගිහින් බලාගෙන ඉඳිද්දී බොහෝ අධ්‍යක්ෂකවරු මාව එලවාගෙන පවා තියෙනවා. ඒත්... මම ඒ කිසිම දෙයකින් සැලුණේනම් නෑ.

ඔබගේ වීරයා මුණගැහුණේ කොහොමද...?
මගේ අම්මා ධර්මසිරි ගමගේ මහතා හඳුනනවා. අම්මා මම ගැන ඔහුට කියලා තිබුණා. ඉතින් ඉස්කෝලෙන් අයින්වුණු ගමන් මම ධර්මසිරි ගමගේ මහතාව මුණගැහෙන්න කොළඹට ආවා. ඊටපස්සෙ එතුමා ළඟ මම ටික කාලයක් වැඩ කළා. ඒ ඉන්න අතරතුරේදීත් ගාමිණී ෆොන්සේකාව බලන්න දර්ශනතලවලට පවා ගියා. ඒ කාලේ අතේ සතේ නෑ. හැතැප්ම ගණන් පයින් ගිහින් අධ්‍යක්ෂකවරුන්ගෙන් බැණුම් අහගෙන හිස් අතින් ගෙදර ආපු දවස් අනන්තවත් තිබුණා. විශ්වාස කරන්න ඒ දවස්වල දර්ශනතලවලට ගිහින් මාව එලවපු අයගෙන් ඇතැමුන් අද මගේ යටතේ වැඩ කරනවා. ඔය කාලෙදී යස ඉසුරු චිත්‍රපටයේ මම වැඩ කළා. ඊටපස්සෙ පූජා කියලා 1985 දී ධර්මසිරි ගමගේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ වැඩ කළා.

පූජා චිත්‍රපටයේ ඔබේ වීරයා රඟපෑවා නේද..?
ඔව්... ඒ චිත්‍රපටයේ ගාමිණී, මාලිනී, විජය, රවීන්ද්‍ර හැමෝම වැඩ කළා. පාසල් යන කාලේදී මම දැකපු සිහින තරු හැමෝම පූජා චිත්‍රපටයෙන් මට මුණගැහුණා. ඒ චිත්‍රපටයේ මම දෙවැනි සහාය අධ්‍යක්ෂක විදිහට වැඩ කළා. චිත්‍රපටයේ මුහුරත් උළෙල කොල්ලුපිටියේ රන්මුතු හෝටලයේදී පැවැත්වුණා. හැමෝම ආපු ඒ මුහුරත් උළෙලේදී ගාමිණීගේ මුහුණ දැක්කට පස්සෙ මට ඇතිවුණු සතුට කියාගන්න අදටත් බැහැ. ධර්මසිරි ගමගේ මාව ඔහුට හඳුන්වලා දෙද්දී ගාමිණී මගේ කරට අත දාගෙන තමයි මාත් එක්ක කතා කළේ. ඊටපස්සෙ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දැහැන චිත්‍රපටයේ ප්‍රධාන සහාය අධ්‍යක්ෂක විදිහට මම වැඩ කළා. මේ වෙනකොට මම චිත්‍රපට පනස් හයක් සහාය අධ්‍යක්ෂණය කරලා තියෙනවා.

චිත්‍රපට පනස් හයක් සහාය අධ්‍යක්ෂණය කරලා බොහෝ අත්දැකීම් ලැබූ ඩොනල්ඩ් චිත්‍රපට අධ්‍යක්ෂණයට අතගැහුවේ බොහෝ මෑතකදී නේද..?
ඔව්.. ඒකට මට ටාගට් එකක් තිබුණා. චිත්‍රපට පනහක සහාය අධ්‍යක්ෂණය කරනතුරැ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නෙ නැහැ කියන මතයේ මම හැමවෙලේම හිටියා. මගේ මුල්ම අධ්‍යක්ෂණය වුණේ ප්‍රවේගය චිත්‍රපටයයි. ඊටපස්සෙ මම මායා චිත්‍රපටය කළා. අද වෙද්දී සහාය අධ්‍යක්ෂණය වෙනුවෙන් බොහෝ චිත්‍රපටවලට මට ආරාධනා කරනවා. ඇත්තටම මම සහාය අධ්‍යක්ෂණය කරන්න හරි කැමතියි. චිත්‍රපට සියයක් සහාය අධ්‍යක්ෂණය කිරීම මගේ ඊළඟ ටාගට් එකයි.

ඒ ප්‍රවීණ රංගන ශිල්පීන් එක්ක වගේම නව පරපුරේ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්කත් ඔබ වැඩ කරනවා. ඔවුන් අතරේ වෙනසක් තියෙනවද..?
පැහැදිලි වෙනසක් තියෙනවා. එදා ගාමිණී, ජෝ මහත්තයා, සිරිල් වික්‍රමගේ, හේමසිරි ලියනගේ, මාලිනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය වගේ බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් දර්ශනතලයට එන්නෙ සාමාන්‍ය විදිහටයි. ඔවුන් සෙරෙප්පු දෙකක් දාගෙන සාමාන්‍ය විදිහට තමයි වාහනයට නඟින්නෙ. දර්ශනතලයට ඇවිත් රංගනයට මුල්තැන දීලා අතිවිශිෂ්ට විදිහට රංගනයේ යෙදෙනවා. නමුත් අද ඉන්න බොහෝ නවක රංගන ශිල්පීන් ශිල්පිනියන් දර්ශනතලයට එන්නෙ හෑන්ඩ් ෆෝන් එක ඔබාගෙනයි. සන්ග්ලාස් දාගෙන ෆෝන් එකෙන්ම ඇවිත් දර්ශනතලයේදී රංගන ශිල්පීන්ගේ ඇඳුම ඇඳගත්තම මාර නෑමක් නානවා. එහෙම නාලා ආපහු අර ආපු ඇඳුම ඇඳගෙන රංගන ශිල්පියෙක් විදිහටම වාහනයේ නැඟලා යනවා. එදා රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ සහෝදරත්වය මනුස්සකම තිබුණා. පොතපත කියවීමේ ආසාව තිබුණා. අද එහෙම නෑ. අද නවක නළු නිළියන් බොහෝ දෙනෙක් වෙලාවට වැඩ කරන්න දන්නෙ නෑ. එදා සහ අද අතරේ වෙනස ඒකයි.

 

► Text — Jayamali  /  Pic - Internet