මුල්ලේරියාව පැත්තේ ඉන්න මැදි වියේ කලා ශිල්පියෙක් විවේකය ලැබෙන අවස්ථාවල ප්‍රදේශයේ බයිසිකල් පදින්නේ එයා ශරීර සුවතාවය සඳහා බව කවුරුත් දන්නවා. තේ බොන්නෙත් සීනි නැතුව. හරිම පරිස්සමෙන් කෑම බීම තෝරා ගන්නේ.
ඔන්න දවසක් එයාගේ බයිසිකලේ රෝදේ අවුලක් වෙලා ස්පෝක් ඇද වෙලා.
එයාගේ යාළුවකුට ඒ ගැන කිව්වම, එයා මේ කලා ශිල්පියාවත් එක්කරගෙන ගියාලු කොටිකාවත්ත පැත්තේ සයිකල් කඩේකට.
කඩේ ළඟට ගිය කලා ශිල්පියා ආපහු හැරිලා ආවලු.
මොකද ලොක්කා එක පාරටම වුණේ? යාළුවා කලා ශිල්පියාගෙන් ඇහුවලු.
අයිසේ මම ජීවිතේට කිසිම මසක් කාපු මනුස්සයෙක් නෙවෙයි.
හරි ඉතින් දැන් මොකද වුණේ?
බලනවකෝ කඩේ බෝඩ් එක දිහා...
කඩේ ඉස්සර තඩි පොල් ගෙඩි අකුරෙන් ගහලා තිබුණේ පෝක් ඇද ඇරීම කියලා.
අපේ මිනිස්සුන්ගේ තියෙනවා පුදුම පුරුද්දක්. නාන ළිඳ ගාව බාල්දියක් අරන් එන කෙනෙක් හම්බ වුණොත් අහනවා, ආ නාන්න ආවා වගේ කියලා.
චිත්‍රපට ශාලාවක් ඇතුළේ විවේක කාලයේදී යාළුවෙක් හම්බවුණාම අහනවා මචං ෆිල්ම් එක බලන්න ආවද කියලා.
මේ මෑතකදී අපේ ප්‍රවීණ කලා ශිල්පිනියක් ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් ගන්න. දොස්තර හම්බවෙලා කාමරෙන් එළියට එනකොටම තරුණ නිළියක් හම්බවෙලා.
හානේ අක්කේ. කොහෙද මේ? බෙහෙත් ගන්න ආවාද?
අනේ නංගි.. මම මේ ඉස්පිරිතාලේ සින්නක්කර ගන්න ආවා. ඇය උත්තර දුන්නලු.
අපේ ප්‍රවීණ කලා ශිල්පියකුගේ නෝනා මහත්තයට පසුගිය දවස් ටිකේ උණ හැදිලා.
උණ බහින්නෙ නැත්නම් තුන්වෙනි දවසේ ලේ පරීක්ෂණයක් කරන්න කියලා දොස්තර මහත්තයා කියලලු. දැන් ඉතින් ඩෙංගු උණත් තැන් තැන්වල පැතිරෙන නිසා තුන්වෙනි දවසේ පෞද්ගලික රෝහලට ගිහින් ලේ පරීක්ෂාවක් කළාලු.
නෝනාට දැන් ඩෙංගුද නැද්ද කියලා දැනගන්නකම් ඉවසිල්ලක් නැහැල්ලු. ලේ ගන්න මිසීගෙනුත් අහනවලු ඩෙංගු ලුක් එකක් තියෙනවද කියලා. එයා කිව්වලු රිපෝට් එක ආවම බලාගන්න කියලා.
ඔන්න දැන් ඉස්පිරිතාලෙන් එළියට එන්න කළින් ලැබ් එකේ නෝනාට ගිහින් කියනවලු ඩෙංගුනම් එයාගේ ජංගම දුරකථනයට කෝල් එකක් දෙන්න කියලා.
මහත්තයාට ඉවසීමේ රතු කට්ට පැන්න පාර නෝනා ළඟට ගිහින් මෙහෙම කිව්වලු.
මේ යමු යන්ඩ. ඔයාට ඩෙංගුනම් රිපෝට් එක එන්න කලින් ඔයාට විද්ද මදුරුවා ඇවිත් ඔයාට පණිවිඩේ දෙයි මමයි විද්දේ කියලා.
අපේ දේශීය චිත්‍රපටවල පසු නිෂ්පාදන කටයුතු බොහොමයක් කෙරුණේ ඉන්දියාවේ. විශේෂයෙන් චෙන්නායි නගරයේ රසායනාගාරවල. දැන්නම් බොහෝ චිත්‍රපටවල රසායනාගාර කටයුතු කෙරෙන්නේ මෙහෙ.
ඔන්න ඒ කාලේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙක් ඉන්දියාවට ගියාලු ඔහුගේ චිත්‍රපටයේ රසායනාගාර හා පසු නිෂ්පාදන කටයුතු කරන්න.
සාමාන්‍යයෙන් වෙන්නේ ඉන්දියානු තාක්ෂණ ශිල්පියෙක් සමඟ වාඩි වෙලා අපේ අධ්‍යක්ෂකට අවශ්‍ය විදිහට තාක්ෂණික දේවල් චිත්‍රපටයට යොදා ගන්න එකයි.
දැන් මේ චිත්‍රපටයේ මුල්ම වරට වීරයා වාහනෙන් බැහැලා එනවා.
අධ්‍යක්ෂකවරයා අර තාක්ෂණ ශිල්පියාට කියනවලු ඔල්වරසන් හඬ දාන්න කියලා.
ඇයි සෑර්.. වීරයා එනකොට ඕගොල්ලන්ගේ රටේ ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් දෙන්නේ නැද්ද? ඉන්දියාවේ නම් එහෙමයි. ඉන්දියානු තාක්ෂණ ශිල්පියා කිව්වලු.
ඒකට කමක් නැහැ. ප්‍රේක්ෂකයෝ ඔල්වරසන් හඬ දුන්නත් නැතත් චිත්‍රපටයේ සවුන්ඩ් එකට ඒ හඬ ඉෆෙක්ට් එක දාන්නකෝ. අධ්‍යක්ෂක කිව්වලු.
► Text - Mithra