මෙහෙමත් බත් කෑමක්... කුඩම්මා පරිප්පු ඇබින්දක් බත් පිඟානට බෙදන ගමන් මගේ දිහා බැලුවේ මහා අප්‍රසන්න බැල්මක්.
අම්මා මට බත් කන්න වෑංජන ගොඩක් බෙදනවා...
ඒ අම්මනේ මම කුඩම්මනේ...
මම බත් පිඟාන බත් කටෙන් කට නෙවෙයි මුළු බත් පිඟානම එකට අනලා ගුලි කරලා කන්න ගත්තා. තාත්තාගේ ලෝකයෙන් මාව ටිකින් ටික ඈතට යන්න පටන් ගත්තේ කුඩම්මාගේ බඩ ගෙඩිය ටිකින් ටික ලොකු වෙන්න පටන් ගනිද්දී. හැමදාම වගේ හැන්දෑවට කුඩම්මාට දවල් තිස්සේ හප හපා ඉන්න කියලා තාත්තා බූන්දි, අච්චාරු, රට කජු, අඹ, රසකැවිල්ලක්, පලතුරු ටිකක් හැමදාම උස්සගෙන ආවා. තාත්තා කුඩම්මා අතට දෙන ඒ කැවිලි, පලතුරැ මල්ල දිහා මම බලාගෙන හිටියේ මහා පෙරේතකමකින්. ඒත් තාත්තා කවදාවත් කන වෙලාවට මෙන්න මේ කොල්ලාටත් ටිකක් දීලා කන්න කියන වචනය කීවේ නෑ. මම තාත්තා එන වෙලාවට ගෙදර පිල උඩ වාඩිවෙලා බලාගෙන හිටියේ තාත්තා ඒ මල්ල දෙන ගමන් ඉඳහිට දවසක හරි එහෙම දෙයක් කුඩම්මාට කියයි කියලා. ඒත් කවදාවත් කුඩම්මාට තාත්තා එහෙම දෙයක් කීවේ නෑ. කුඩම්මා මට කන ගමන් කිසි දෙයක් දීලා කෑවෙත් නෑ. මම ගොඩක් වෙලාවට කළේ කුඩම්මා හංගගෙන කන කෑම දිහා මමත් කොහේ හරි හැංගිලා බලාගෙන හිටපු එක. මට ඒ හැම වෙලාවකම මගේ අම්මාව මතක් වුණා.. අම්මා බත් පිඟාන අනාගෙන බත් කෑවේ හුඟක් හිමින්... පිඟන්වලට බත් වෑංජන බෙදලා දුන්නට පස්සේ ඇතිලිවල ආය මොකුත්ම ඉතුරු වුණේ නෑ. අම්මා කන ගමන් මගේ පිඟාන බල බලා ඉතුරු අඩුවැඩිය අම්මාගේ පිඟානෙන් මගේ පිඟානට දැම්මා... අම්මේ මට තව බත් මදි පරිප්පු මදි කියලා මම කියද්දී අම්මා ඒ අඩුව පිරෙව්වේ අම්මාගේ පිඟානෙන්... අම්මාට වෙලාවකට බත් පිඟානේ බත් ටික මදි වෙන්න ඇති කියලත් මට හිතුණා... ඒත් අම්මා අම්මාගේ පිඟානෙන් මගේ පිඟානට බත් වෑංජන දැම්මේ මට මේ බෙදා ගත්තා වැඩි පුතේ අහක දාන්න වෙයි කියලා තිබුණු ඔක්කොම බෙදා ගත්තේ කියලා... අම්මාගේ ආදරය මට වැඩිපුරම දැනෙන්නේ අම්මා ළඟ නැති වුණු දවසේ ඉඳන් කියලා මට හිතෙන්න ගත්තා.
බූන්දි ටිකක් දෙන්නම්. හැබැයි වැඩක් තියෙනවා කරලා ඉවර වුණාට පස්සේ.
මොකක්ද
තව රෙදි බේසමක් තියෙනවා එකතුවෙලා.. හොඳ කොල්ලා වගේ ගඟට ගිහින් හෝදගෙන ආවනම්
මට බූන්දි එපා
බූන්දි එපානම් නොකා ඉන්න.. හැබැයි රෙදි බේසම හෝදගෙන එන්න
මම කුණු යන්න රෙදි හෝදන්න දන්නේ නෑ.. මතකනේ එදත් රෙදි වාටිවල කුණු ඉතුරු වුණා
ගලේ ගහලා රෙදි ටික හෝදගන්න බැරි මොකද පොඩි ළමයෙක්ද දැන්?
පිරිමි ගෑනු වැඩ කරන්න ඕන නෑ කියලා තාත්තා අම්මාට කීවේ
ඒ ඉස්සර වෙන්න ඇති. දැන් තාත්තාම තමයි කියන්නේ කොල්ලාට කියලා ගෙදර දොරේ වැඩ ටිකත් කරගන්න කියලා.
මට ඇහිලා නෑ
පණ්ඩිතකමනම් හරි වැඩියි.. හ්ම් කියන දේ අහලා රෙදි බේසම හෝදගෙන එනවා.. අන්න කුස්සියේ මේසේ උඩ බූන්දි වගයකුත් ඇති.
මම කුස්සියට ඇදුණේ කුඩම්මාගෙන් ගැලවිල්ලක් නැති විත්තිය හොඳටම තෙරැණාට පස්සේ.. තෙල් කුඹි රොත්තක්ම මැරිලා හිටිය බූන්දි වගයක් මේසෙ උඩ තිබ්බා.
කුඩම්මම කන්න ඒ බූන්දි
ඒ මොකද ඒ?
තෙල් කුඹි රොත්තක්ම මැරිලා ඒකේ
ඉතින් විසික් කරන්ටද තාත්තා සල්ලි දීලා ගෙනාපුවා... කුඹි ටික අයින් කරලා කනවා.. කාලා ගිහින් රෙදි බේසම හෝදගෙන එනවා.
මම රෙදි බේසම හෝදගෙන එන්නම්.. හැබැයි මට ඒ බූන්දි එපා
තියෙන මහන්තත්වකමනම් බොහොම වැඩියි.... මම හිතන්නේ අම්මාගේ උද්දච්චකම තමයි එහෙමම ඔළුවට ගහලා තියෙන්නේ.
ඔයා මගේ අම්මාට මොකුත් කියන්න එපා.. මගේ අම්මා රත්තරන් අම්මා කෙනෙක්.
හරි අවාසනාවන්ත ළමයෙක්.. නැත්නම් අම්මා මැරෙයිද... කට විතරයි
ඇයි මිනිස්සු මැරෙන්නේ නැද්ද?
මැරෙනවා.. ඒත් අකාලෙ මැරෙන්නේ තියෙන පව්කාරකමට.
මගේ අම්මා ඔයා වගේ නපුරු නැහැ.
උඹ මොකක්ද කීවේ?
මගේ අම්මා ඔයා වගේ නපුරු නෑ
කුඩම්මා මාගේ කන අල්ලලා කැරකුවේ මට තදටම රිදෙන්න..
දණ ගහපන් මෙතන
මට බෑ
දණ ගහන්නයි කීවේ මෙන්න මෙතන දණ ගහපන්.. කුඩම්මා මිදුලේ කෙළවර තෙල් කුඹි ගුලක් පෙන්වන ගමන් මගේ උරහිසට අත තියලා එතෙන්ට තල්ලු කරලා දැම්මා.
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු