2018 ජුනි 23 වන සෙනසුරාදා

දන්න කියන කට්ටියගේ අමුතු හුරතල්ලු

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 190

අපේ දන්න කියන ගොඩක් දෙනෙකු සුරතලයට ඇතිකරන්නේ බල්ලෙක්, පූසෙක්, පරවියෙක්, මාළුවෙක් වගේ සතුන් වර්ග කිහිපයක් පමණයි. ඒත් යහමින් මුදල් වගේම ඉඩකඩත් තියෙන බටහිර ලෝකයේ ජනප්‍රිය චරිතවලට සුරතලයට සතුන් ඇතිකිරීමේදී තමන් කැමති සතෙක් ඇතිකරන්න බොහෝදුරට ඉඩ තියෙනවා. ඉතින් ඒ විදිහට වෙනස් තාලයේ සුරතලුන් ඇතිදැඩි කරපු ජනප්‍රිය චරිත කිහිපයක් ගැනයි මේ තොරතුරු... 

 

ක්‍රිස්ටීන් ස්ටුවර්ට්

ට්වයිලයිට් චිත්‍රපට මාලාව ඔස්සේ ජනප්‍රියත්වයට පත්වූ ක්‍රිස්ටීන්ගේ එම චිත්‍රපටය තුළදී වැම්පයර්වරු සම වෘක මිනිසුන් සමඟ පවත්වන සම්බන්ධකම් ගැන කියවෙනවා. කොහොමවුණත් ක්‍රිස්ටීන් තමන්ගේ සැබෑ ජීවිතයේදීත් වෘකයන්ට ගොඩක් ඇලුම් කරන බවයි දැනගන්න ලැබෙන්නෙ. ඒත් වෘකයන් සුරතලුන් විදිහට ඇතිකරන්න බැරි නිසා වෘක සුනඛ මුහුවකින් ඉපැදුණු වෘක සුනඛයන් හතරදෙනෙකු ඈ ඇතිදැඩි කරනවා. එයාලා සුරතලුන්ට වඩා තමන්ගේ සගයෝ බවයි ඈ කියන්නෙ. 

 

ලියනාඩෝ ඩිකැප්‍රියෝ 

හොලිවුඩයේ ඉන්න සුපිරිම නළුවෙකු වන ලියනාඩෝගේ සුරතලාත් සුපිරි සුරතලෙක්. 2010 දී ඔහු තම සුරතලා වන උතුරු අප්‍රිකානු ඉදිබුවා මිලට ගෙන තිබුණේ ප්‍රදර්ශනයකදීයි. ඒ ලංකාවේ මුදලින් රුපියල් හැටදාහක් වගේ මුදලකටයි.  

 

මයිලි සයිරස්

සයිරස් කියන්නේ බටහිර ලෝකයේ ජනප්‍රිය පොප් තාරකාවක් වගේම නිළියක්. එයාගේ සුරතලා වෙන්නේ ඌරුපැටියෙක්. උගේ නම පිග් (pig). 

 

ජෝර්ජ් ක්ලූනි

හොලිවුඩයේ කඩවසම් තරුණයා වූ ජෝර්ජ් ක්ලූනි අවුරැදු 18 ක් තිස්සේ සුරතලයට ඇතිකරන්නේ වල් ඌරෙක්. ඔහු එම සුරතලා මිලට ගෙන තිබුණේ තම පෙම්වතිය වෙනුවෙනුයි. කොහොම නමුත් වල් ඌරු සුරතලායි ක්ලූනියි කොච්චර සමීප වුණාද කිව්වොත් කාලයක් දෙන්නා එකම ඇඳේ නිදාගෙනත් තියෙනවා. “ඌරො කියන්නේ හරිම ස්මාට් සත්තු ජාතියක්. එයාලට පුළුවන් අපිව හිනස්සන්න, විනෝදයෙන් තියන්න. හැබැයි පොඩි හරි බුරුලක් දුන්නොත් එයාලා හැමදේම කාබාසිනියා කරලා දානවා” ඔහු වරක් සඟරාවකට කියා තිබුණි. 

 

මයික් ටයිසන්

බොක්සිං ලෝකයේ ඉහළින්ම වැජඹුණු ටයිසන් අසීමාන්තික විදිහට මුදල් නාස්ති කරපු කෙනෙක් විදිහටත් ප්‍රසිද්ධයි. ඔහුගේ ප්‍රියතම සුරතලුන් බවට පත්වෙලා හිටියේත් බෙංගාල සුදු ව්‍යාඝ්‍රයෙක්. ඒ ව්‍යාඝ්‍රයාව නඩත්තු කරන්න අනූ ගණන්වලදී ටයිසන්ට එක මාසයකට ඩොලර් 4000 ක් විතර වියදම්වෙලා තියෙනවා. අද මුදලින් ගත්තොත් මාසෙකට රුපියල් ලක්ෂ හයහමාරක් විතර. ටයිසන් 2003 දී බංකොලොත් වෙලා අන්තෙටම පිරිහෙන්නත් මේ අධික වියදම් හේතුවුණා කියලයි කියවෙන්නෙ. 

 

මයිකල් ජැක්සන්

පොප් ලෝකේ රජ්ජුරුවන්ගේ හොඳම සුරතලා බවට පත්වෙලා හිටියේ චිම්පන්සියෙක්. බබ්ල් නමින් හැඳින්වුණු මේ චිම්පන්සියා 80 දශකයේදී ජැක්සන් සමඟ ලෝකේ වටේ සංචාරවලට සම්බන්ධ වුණා. එක් වරක් ජපානයේ ඔසාකා නුවර නගරාධිපතියි ජැක්සනුයි අතර තිබුණු තේ පැන් සාදයකටත් බබ්ල් එකතුවෙලා හිටියා.  

 

► Text — Rajitha

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00