2018 ජුනි 23 වන සෙනසුරාදා

අපි එළිවෙනකම් නෙළුම් කවි, පාරු කවි, ගොයම් කවි කියනවා

 2018 ජුනි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 248

සුරාජ්... මතකද සූර්යාව මුණගැහුණු ඒ මුල්ම කාලේ?
ඔව්... මට මතකයි. අපේ ගෙදර තිබුණ පාටියකදී තමයි සූර්යාව මට මුලින්ම හමුවුණේ. මගේ යාළුවෙක් තමයි අකලංක ඉන්ද්‍රජිත් කියන්නේ. ඉතින් පාටිය දවසේ උදේ අකලංක මගෙන් කෝල් කරලා සුරාජ් මගේ යාළුවෙක් ඉන්නවා සූර්යා කියලා. මම එයාවත් එක්කගෙන එන්නද කියලා ඇහුවා. ඒ වෙනකොට සූර්යා එයාගේ පළමු රංගනය වුණු සමනළ සංධ්වනිය චිත්‍රපටයේ රඟපාලා තිබුණේ. ඒ චිත්‍රපටය මම බලලත් තිබුණා. ඒ වෙද්දී සූර්යාගේ රඟපෑම පිළිබඳව මම අකලංකත් එක්ක කතාවෙලත් තිබුණේ. ඉතින් ඒ පාටියට ඇවිත් සූර්යා මාත් එක්ක හරිම සුහදව කතා කළා. එදා මගේ පාටියේදී සූර්යා හරි ලස්සනට සින්දු කිව්වා. පාටියට ඇවිත් හිටපු හැමෝම සූර්යාගේ ගීත අගේ කළා. ඉතින් සූර්යාගේ ගීත වගේම සූර්යා රඟපාපු චිත්‍රපටය පවා එදා මම අගේ කළා. ඊට පස්සේ ඒ හිතවත්කම වැඩිවෙලා අපි දෙන්නා හොඳ යාළුවෝ වුණා.

සූර්යා මොන වගේ යාළුවෙක්ද?
සූර්යා කියන්නේ යාළුවෙක් හැටියට යුතුකම් දන්න යාළුවෙක්. හදිස්සියේ අසනීපයක් වුණොත් එයාට ඒ වෙලාවෙම එන්න බැරිවුණත් සූර්යා ඉඩ ලැබුණු ගමන් ඇවිත් ලෙඩ දුක් හොයලා බලනවා. සූර්යාගේ ගෙදර ගියාම වුණත් සූර්යා හරි අවංකයි. සූර්යා වගේම සූර්යාගේ ගෙදර අයත් හරිම හොඳයි. සූර්යාගේ තාත්තා අම්මා අපිට හරි ආදරෙයි.

ඒ කියන්නේ සුරාජ් නිතරම වගේ පොළොන්නරුවේ සූර්යාගේ ගෙදර යනවද?
නිතරමනම් යන්න ලැබෙන්නේ නැහැ. සූර්යාගේ අම්මා තාත්තා පොළොන්නරුවේ හිටියට සූර්යා ඉන්නේ කොළඹනේ. ඉතින්... ඉඩ ලැබෙන වෙලාවට අපි යාළුවෝ කට්ටිය එකතු වෙනවා. මගේ අම්මාට සූර්යා හරි ආදරෙයි. මගේ අම්මා වුණත් පොළොන්නරුවේ සූර්යාගේ ගෙදර යන්න හරි කැමතියි. ඉතින් ඒ ගිහින් ආයේ කොළඹ එද්දී සූර්යාගේ තාත්තා හාල්, අලුත් එළවළු එහෙම පුරෝපු ලොකු මල්ලකුත් අපේ වාහනයට පටවනවා.  ඒ ගමේ මිනිස්සු වුණත් අපි ගියාම අපිට හරි ආදරෙයි. අපි ගියාම ඉතින් ගෙදර රුඳෙන්නේ හරිම අඩුවෙන්. කුඹුරුවලට ගිහින් ඒ ට්‍රැක්ටර්වල නැගලා අපි කුඹුරු පවා හානවා. ගම පුරාම අපි ඇවිදිනවා. ගෙදරට එන්නේ බඩගිනි වුණාම තමයි. ඉතින්.... සූර්යාගේ අම්මා උයපු රහම රහ කෑම ටික දැක්කම ආයේ ඉතින් තව මොනවද.. කට්ටියම කෑම මේසේ වාඩිවෙලා බඩ පිරෙන්න කනවා.

සූර්යා ගෙදර ගියාමත් සින්දු කියනවද?
ආයේ දෙකක් නැහැ. සූර්යාගේ ගෙදර ගියාම හරි අපූරු සිදුවීමක් වුණා. සූර්යාගේ ගෙදර ගියාම ගෙදර අය අපිට වෙනම කාමරයක් එහෙමත් ලෑස්ති කරලා දෙනවා. ඉතින් අපි එක කාමරේක නිදාගන්නවා. සූර්යාගේ ගෙදර අය තවත් කාමරයක නිදාගන්නවා. සූර්යාගේ ගෙදර බිත්ති ඉහළටම බැඳලා නැහැ. කාමරෙන් කාමරය වෙන් වුණාට ඉහලදී වෙන්වෙලා නැහැ. ඉතින් සූර්යාගේ අම්මට, තාත්තාට, අක්කාට හරි ලස්සනට කවි කියන්න පුළුවන්. ඉතින් අපි ගිය හැමදාම රෑට මේ අය එයාලගේ කාමරේ ඉඳන් හරි ලස්සනට කවි කියනවා. ඉතින් ඒ රැයවල් හරි සුන්දරයි. අපි මෙහා පැත්තේ ඉඳගෙන අනේ තව කවියක් කියන්නකෝ.. කිව්වහම රෑ කළුවරේ එහා පැත්තේ කාමරේ ඉඳගෙන සූර්යලා තව කවියක් කියනවා. නෙළුම් කවි, පාරු කවි, ගොයම් කවි වගේ හැම කවියක්ම ඒ රැය පුරාම ඒ අය ගායනා කරනවා. අන්තිමට අපි නිදියන්නේ සූර්යාගේ පවුලේ අයගේ කවිවලින්ම තමයි.

සූර්යාගේ ගෙදර විතරක් නෙමේ.. සුරාජ්ලා හිටපු ගමන් ට්‍රිප් යනවා කියලත් ආරංචියි?
ඔව්... ඔව්... දැන් අපිට වැඩක් නැති වුණාම අපි එක එක්කෙනාට කෝල් කරලා දිනයක් දාගෙන කොහේ හරි යනවා. සමහර දවස්වලට මම මගේ අම්මාත් එක්කගෙන කොහේහරි යන්න දිනයක් දාගෙන ඒ ගැන කිව්වම එයාලට වැඩක් නැත්නම් එයාලත් අපිත් එක්ක යන්න එනවා. ඊට අමතරව සූර්යායි, මායි, තව අපේ යාළුවෝ කට්ටියකුයි එකතු වෙලා අවුරුද්දකට සැරයක් සිරීපාදේ යනවා. අපේ ගෙදර අවුරුද්දකට සැරයක් දානයක් දෙනවා. සූර්යාත් ඒවාට සම්බන්ධ වෙනවා. කොහොමටත් මගේ වැඩ බොහොමයකට සූර්යා ඇවිත් සම්බන්ධ වෙනවා.

සූර්යාට කේන්ති යනවද?
මගෙත් එක්කනම් සූර්යාට කේන්ති යන්නේ නැහැ. හැබැයි වෙන අයත් එක්කනම් කේන්ති යන වෙලාවල් තියෙනවා. කවුරුහරි මොනවාහරි කියලා කේන්ති ගියාම සූර්යා ඉතින් බණිනවා. හැබැයි මාත් එක්කනම් කවදාවත් සූර්යාට කේන්ති යන්නේ නැහැ. මගේ ඉස්සරහා වුණත් වැඩිය සූර්යා කේන්ති ගන්නේ නැහැ. ඒ වෙලාවට අපි බණිනවනේ. සමහර වෙලාවට වෙන යාළුවෙක් එක්ක හරි කේන්ති ගියාම තරහා වෙලා සූර්යා යනවා. ඒ වෙලාවට ඒ... කොහෙද ඔය යන්නේ? කියලා මොනවාහරි දෙයක් කියලා යනවා. ඉතින් ටික දවසයි. ආයෙමත් සූර්යා ටික වෙලාවකින් අර තරහා ඔක්කොම අමතක කරලා වෙනදා වගේම අපිත් එක්ක කතා කරනවා. සූර්යාට කේන්තිය හිතේ තියාගෙන, තරහා වෙලා ඉන්න බැහැ.

සූර්යා රංගන ශිල්පියෙක් වගේම ගායකයෙක්. සුරාජ් මේ ක්ෂේත්‍ර දෙකෙන් සූර්යා වැඩියෙන්ම දක්ෂ මොන ක්ෂේත්‍රයට කියලද හිතන්නේ?
ඇත්ත... සූර්යා දක්ෂ නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. හැබැයි මේ ක්ෂේත්‍ර දෙකෙන්ම සූර්යාගේ ගායනයට තමයි මම වැඩිපුරම කැමති. සූර්යා කියන්නේ ගායනයට ගොඩක් දක්ෂතා තියෙන තරුණ කලාකරැවෙක්. ඔපෙරා සංගීතය සූර්යා හදාරනවා. ඒ වගේම හරි දක්ෂ විදිහට ගායනා කරනවා. සංගීතය හදාරන්න සූර්යා තුළ තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්. බොහෝ දේවල් ඉගෙනගන්න අලුත් අලුත් සංගීත රටා ඉගෙනගන්න සූර්යා හරි ආසයි. කවුරුහරි ලංකාවට ආවොත් එයාගෙන් ගිහින් සංගීතය පිළිබඳව ඉගෙනගන්න අලුත් දෙයක් අත්හදා බලන්න පවා සූර්යා හරි කැමතියි. අපෙන් වුණත් දෙයක් ඉගෙනගන්න සූර්යාට තියෙන්නේ පුදුමාකාර කැමැත්තක්. නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට තියෙන්නේ පුදුමාකාර ඕනෑකමක්. මම ඒ ගතිගුණයට හරි කැමතියි. මටනම් හිතෙන විදිහට සූර්යාගේ තියෙන ඒ ගායනා හැකියාවෙන් තවමත් සූර්යා හරි ප්‍රයෝජනයක් අරගෙන නැහැ. තව ඉදිරියේදී සූර්යාගේ ඒ හැකියාවන් අපිට බලාගන්න පුළුවන් වේවි.

සූර්යා විලාසිතාවලට එදාට වඩා අද කැමතියි වගෙයි පේන්නේ?
ඔව්... ඔව්... දැන් ටික ටික සූර්යාගේ විලාසිතා හොඳ වෙනවා. දැන් සමහරදාට මම කැත ටී ෂර්ට් එකක් ඇන්දොත් සූර්යා ඕක කැතැයිනේ සුරාජ් අයියා.. කියලා කියනවා. අද වෙද්දී එයාගේ විලාසිතා හරි ලස්සනට ගලපගෙන එයා කරනවා. සූර්යාගේ බොහෝ ඇඳුම් පැලඳුම් තෝරා ගන්නෙත් එයාමයි. මගේ සමහර යාළුවෝ ඇඳුම් හුවමාරු කරගන්නවනේ. හැබැයි සූර්යා එහෙම ඇඳුම් ඉල්ලන්නේ නැහැ. එයා සල්ලි එකතු කරලා එයාගේ ඇඳුම් ගන්නවා.

නළුවෙක් විදිහට ක්ෂේත්‍රයට ආපු සූර්යා පසුකාලයේදී නිවේදනයටත් එකතු වුණා නේද?
ඔව්... ඔව්... ඒ හැමදෙයක් පිටුපසම කැපවීම තිබුණා. නිවේදනයේදී වුණත් ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. පිටපත මුලින්ම හොඳට කියවලා අවශ්‍ය කරන තොරතුරු එකතු කරගන්නවා. රංගනයේදී වුණත් පුදුමාකාර කැපවීමෙන්, උපරිමයෙන් ඒ වැඩේට සූර්යා මුල්තැන දීලා කටයුතු කරනවා. සූර්යා හරිම විනෝදකාමී කෙනෙක්. සූර්යාගේ මම දකින තවත් සුවිශේෂීකම තමයි සූර්යා හරි නිහතමානියි. තැනකට ගියාට පස්සේ සූර්යා සින්දුවක් කියන්න. කියලා අපි කියන්න ඕන නැහැ. විනෝද වෙන අවස්ථාවකදී සූර්යාටම හිතිලා එයාම සින්දු කියන්න පටන්ගන්නවා. සමහරු එහෙම නැහැනේ. සමහරු සින්දු කියන්න පුළුවන් වුණාට හරි ආඩම්බරයි. තැනකට ගිහින් සින්දුවක් කියන්න කිව්වත් අද බැහැ... අද අමාරුයි.. උගුර රිදෙනවා..වගේ ලෙඩ ගොඩයිනේ. හැබැයි සූර්යා එහෙම නැහැ. ඔහු හරි නිහතමානී චරිතයක්.

සුරාජ්.. සූර්යා වගේ යාළුවෙක් ජීවිතේට මුණගැසීම ගැන මොකද හිතෙන්නේ?
මගේ ජීවිතේ ඒ කාලේ ඉඳන් යාළුවෝ බොහෝ පිරිසක් හිටියා. ගායකයෝ හිටියා. නළුවෝ හිටියා. ඒ අයව මම ළඟින් ආශ්‍රය කළා. ඒ අතරින් සමහරු ඒ යාළුකම දාලා ගියා. ජනප්‍රිය වෙද්දී සමහරු වෙනස් වුණා. සමහරුන්ට මේ අපි එකට කාපු අය, එකට විහිළු කරපු අය කියලවත් මතක නැහැ. සල්ලි එහෙම ලැබුණම සමහරුන්ට අපිව අමතකයි. සූර්යා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. එදාට වඩා සූර්යා අද ගොඩාක් ජනප්‍රියයි. හැබැයි ඒ හිතවත්කම තවමත් ඒ වගේමයි. ඒ යාළුකම තවමත් ඒ වගේමයි.
ඉතින්.... ඔන්න ඔහොම සුරාජ් සූර්යා ගැන කියද්දී අපි ටිකක් සූර්යාගෙනුත් මේ යාළුකම ගැන ටිකක් අහලා බැලුවා.

සූර්යා... ඔයා සුරාජ්ගේ ගෙදර තිබුණු පාටියකට ගියේ කාගේ ආරාධනාවකටද?  
අනේ මෙහෙමයි... මට සුරාජ් අයියානම් ඒ පාටියට ආරාධනා කළේ නැහැ. සුරාජ් අයියාගේ හොඳම යාළුවෙක් වුණ අකලංක ඉන්ද්‍රජිත් තමයි දවසක් මට කිව්වේ සුරාජ්ගේ බැද්දගානේ ගෙදර පාටියක් තියෙනවා. එයාලත් එක්ක යන්න එන්න කියලා. ඒ වෙනකොට මම මේ ක්ෂේත්‍රයට අලුත් වුණාට සුරාජ් අයියා හරිම ජනප්‍රිය කෙනෙක්. ඉතින් සුරාජ් අයියා වගේ ජනප්‍රිය කෙනකුගේ පාටියකට යන්න ලැබීමත් වාසනාවක්නේ. ඉතින් මමත් ඒ පාටියට ගියා. ඒ ගිහින් ඒ පාටියේදී මම සින්දු කිව්වා. එදා තමයි සුරාජ් අයියාව මට මුලින්ම මුණගැහු‍ණේ. ඒ මුණගැසීම තමයි මේ අපූරු යාළුකමක් දක්වා දුරදිග ඇවිත් තියෙන්නේ.

සුරාජ් මොනවගේ යාළුවෙක්ද?
සුරාජ් අයියාව මම මුලින්ම හඳුනාගන්නේ යාළුවෙක් විදිහටනේ. හැබැයි පසු කාලයක සුරාජ් අයියා මට හොඳ සහෝදරයෙක් වෙනවා. සුරාජ් අයියා කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක්. ජීවිතේ සතුටකදී විතරක් නෙවේ දුකකදී වුණත් හොයලා බලලා උදව් කරන අපූරැ සහෝදරයෙක්. දුකේදී අත් නොහරින හරිම හොඳ යාළුවෙක් තමයි සුරාජ් අයියා කියන්නේ.

සූර්යා හිතන විදිහට සුරාජ් වැඩිපුරම දක්ෂ මොනවාටද?
මම හිතන විදිහට සුරාජ් අයියා නර්තන ශිල්පියෙක් විදිහට හරිම දක්ෂයි. එයා නර්තන ගුරුවරයෙක්. වෙස් බැඳපු නැට්ටුවෙක්. බොහෝ නර්තන ශෛලීන් සුරාජ් අයියා ප්‍රගුණ කරපු කෙනෙක්. සමහර නර්තනවල නියැලෙද්දී මේ ඉන්නේ රූපවාහිනියේ අපි දකින සුරාජ් මාපාමද කියලා පුදුම හිතෙන තැන් තියෙනවා. ඇත්තටම ඔහු රංගනයටත් දක්ෂයි. සුරාජ් අයියාගේ නර්තන හැකියාව ඊටත් වඩා බොහෝ ඉහළින්ම තියෙනවා. හැබැයි තවමත් ඒ හැකියාවන් නිසි විදිහට කලඑළි බැස්සේ නැති ගතියකුත් මට වෙලාවකට හිතෙනවා. නර්තනය වෙනුවෙන් සුරාජ් අයියා පුදුම විදිහට මහන්සි වෙනවා.

කට්ටිය එකතු වෙලා ට්‍රිප් යනවා කියලයි ආරංචිය?
අම්මෝ ඔව්.. ට්‍රිප්නම් වරදින්නේම නැහැ. ට්‍රිප් යද්දී සුරාජ් අයියා හරි විනෝදයි. කෑගහ ගහ සින්දු කිය කියා තමයි වාහනෙන් යන්නේ. කොච්චර විනෝදකාමී වුණාට සුරාජ් අයියා බොහෝ වෙලාවට කතා කරන්නේ වැදගත් දේවල්. ජීවිතේට ළංකරගත යුතු දේවල්, ජීවිතේ අපි හදාගත යුතු වැරදි තැන් සුරාජ් අයියා පෙන්නලා දෙනවා. අපේ අඩුපාඩු ගැන අපි කතා කරනවා. විදෙස් නිර්මාණ ගැන බොහෝ දේවල් අපි කතාබහ කරනවා. සින්දු කියද්දී වුණත් මට අලුත් නිර්මාණයකදී අදහස් පවා සුරාජ් අයියා දෙනවා. ඇත්තටම සුරාජ් අයියා මගේ ජීවිතේ මම ගරු කරන චරිතයක්. ජීවිතේ බොහෝ තීරණ ගනිද්දී පවා මම සුරාජ් අයියාගෙන් අහනවා.

සූර්යා නුවර සුරාජ්ගේ ගෙවල් පැත්තේ එහෙමත් ගිහින් තියෙනවා නේද?
ඔව්.... ඔව්... සුරාජ් අයියාගේ නුවර ගෙදර අපි යනවා. සුරාජ් අයියාගේ ගෙදර හැමෝම හරි හොඳයි. මට හරි ආදරෙයි. පොළොන්නරුවේ අපේ ගෙදර ආවම අපි ගඟේ, ඇලේ නානවා. කුඹුරේ යනවා. රෑට අපි කට්ටිය එකතු වෙලා සින්දු කියනවා. මගේ අම්මා හදන කෑම කන්න සුරාජ් අයියා හරි ආසයි.

ක්ෂේත්‍රයේ ඉන්න කඩවසම් නළුවන් අතරේ සුරාජ්ට මුල් තැනක් හිමිවෙනවා? යාළුවෙක් විදිහට සූර්යා ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්ත... සුරාජ් අයියා හරි ලස්සනට අඳින්න ආසයි. එයාගේ ඇඳුම් හරි පිළිවෙලයි. බටහිර විදිහට වගේම සුරාජ් අයියා අනිත් අය අඳින්නේ නැති ටිකක් වෙනස් විදිහට අඳින්න ආසයි. හැමෝම අඳින ඇඳුම්වලට වඩා ලස්සනට පිළිවෙලට වෙනස්ව එයාටම ආවේනික විශෙෂ විදිහට අඳින්න තමයි එයා කැමති. සමහර වෙලාවට අපි ඇඳුම් පැලඳුම් ගැන වුණත් කතාබහ කරනවා. විවේක වෙලාවට අපි ෆිල්ම් බලනවා, සින්දු අහනවා, ගේම්ස් ගහනවා. ඒ විතරක් නෙමේ. අපිට හොඳට කෑම උයන්නත් පුළුවන්. ඉතින් කට්ටිය එකතු වෙලා හොඳට හදලා රස කර කර කනවා. උයන කෑම අපිට රසයි. රෙසපි වෙනස් වුණත් අලුත් රෙසපියක නමක් දාගෙන අපි ඒ හදපු කෑම රස කර කර කනවා. ඇත්තටම අපේ යාළුවෝ ඔක්කොටම හොඳට උයන්න පුළුවන්.

සුරාජ් වගේ කෙනෙක් යාළුවෙක් විදිහට ජීවිතේට එකතු වුණු එක ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි... සුරාජ් අයියා මේ ක්ෂේත්‍රයේ ඉන්න ඉතා දක්ෂ කලාකරුවෙක්. ඒ වගේ දක්ෂ, නිහතමානී චරිතයක් මගේ ජීවිතේට යාළුවෙක් විදිහට ළංවීම ඇත්තටම මගේ වාසනාවක්. ඇත්තටම කිව්වොත් සුරාජ් අයියා මට යාළුවෙක්ට වඩා හොඳම හොඳ සහෝදරයෙක්.


► Text - Dishani / Pic-Sumudu & Internet