සුරම්‍ය රාත්‍රියෙන් ඒ මාධ්‍ය සගයා රාත්‍රියක් මුළු ලෝකයම නිදිවර්ජිතව තැබුවේයැයි මට සිතේ. හෘදයාංගම වූ කටහඬින් ඔහු බලහත්කාරයෙන් තොරවම අපේ නෙතු පියන් පැය ගණන් ඇහැරවා තැබුවේයැයි මට සිතේ. තවත් පැය ගණනක් අසා ඉන්නට තිබුණා නම් යෙහෙකැයි සකිසඳ කියන්නට සිතුණු තරමට වරෙක සිහිනයකි රෑ අප වින්දනීය ඉසව් කරා රැගෙන ගියේය. මහේෂ් නිශ්ශංක හුදු නිවේදකයෙක් පමණක් නොව ජීවිත සරතැසට කලාවේ උල්පත් පාදමින් සිසිලසේ බිඳු ඉසින සොඳුරු සහෘදයෙක් වූයේ එනයින්ය. ඒ පූර්විකාව අසාධාරණ නැතැයි ඔබ එදා මෙදා තුර සිහිනයකි රෑ සමඟ රුඳුණිනම් ඔබ ඔබටම සාක්ෂියක් වනු ඇත.
එහෙත් ඒ මාධ්‍ය සගයා ඉකුත් දින කිහිපයේ රටේ මාතෘකාවක් බවට පත්වූයේ මේ කිසිදු කරුණක් නිසා නොවේ. ඒ සිදුවීම අද පාඨක ඔබට යළි මතක් කළ යුතු සිදුවීමක් නොවන තරමට ඒ සිද්ධියට අහේතුකව වැඩි ඉඩක් මෙන්ම සහේතුකව අල්පමාත්‍රික ඉඩ හසරක් නානාවිධ අරමුණු ඔස්සේ විවිධ මාධ්‍ය ලබා දුන් වගද අපි දුටුවෙමු. ඇත්තටම සිදු වූයේ කුමක්ද? ඒ කිසිවක්ම විෂයෙහි තීන්දු තීරණ දීමට අපි විනිසුරුවන් නොවෙමු. එය හෙට දවසකදී අපක්ෂපාතී ලෙස ඉටුවෙන නීතියේ වගකීමක් පමණක් බවද අපි විශ්වාස කරමු. එහෙත් විද්‍යුත් වේවා මුද්‍රිත වේවා ඔහු අපේ මාධ්‍ය සගයෙකි. ඔහු හඬට අප ඉඩක් වෙන් කළේ එබැවිනි.
මහේෂ් අපි අහපු විදිහට ඔබේ ජීවිත පතුළේ සැඟවුණු එක අත්තිවාරමක් කියන්නේ දුප්පත්කම බඩගින්න කෙනෙහිලිකම් හා කඳුළු... මම එහෙම කීවොත් මොකක්ද ඔබ මට දෙන උත්තරය?
මට දැනුම් තේරුම් තිබුණු අවුරුදු පහක හයක කාලයේ ඉඳන් අපි හරිම දුප්පත්කමින් ජීවත් වෙච්ච පවුලක්. මායි, මල්ලියි, අම්මයි, තාත්තයි. අපි හිටියේ එඬේරමුල්ලේ. තාත්තට ස්ථීර රස්සාවක් තිබුණෙ නෑ. ගල්වලේ තාත්තා ගල් කැඩුවා. තල කොටලා තල කැරලි හදාගෙන බයිසිකලෙන් අරන් ගිහින් විකිණුවා අපිට වේලක් හරි කන්න දෙන්න. අම්මාට මැහුම් ගෙතුම් පුළුවන්. අම්මාට ජීවිතේ තිබුණු ලොකුම සම්පත තමයි ඒ මැෂින් එක. අම්මට ඒ මැෂින් එකයි ජීවිතයයි දෙකම එකක් වුණා. අපි වේලක් හරි එක වෑංජනයක් එක්ක බත් ටිකක් කෑවනම් එකම එක ඇඳුම හරි හෝද හෝද ඉස්කෝලේ ඇන්දානම් ඒ කෑවේ ඒ ඇන්දේ අම්මයි තාත්තයි ඒ වගුරපු අප්‍රමාණ කඳුළු දහඩියවලට අනේක වාරයක් පින්සිද්ධ වෙන්න..... ඕනෑතරම් වෙනස්කම් ඒ දුප්පත්කම අපිට උරුම කළා.
ඔබ ඔය කියන ඕනෑතරම් වෙනස්කම් අස්සේ අදටත් මතක් වෙද්දී හිත පාරන වෙනස්කමක් ගැන මට මතකයි මහේෂ් ඔබ ජීවිතේ හුඟක් තැන්වලදී හරිම සංවේදීව කතා කරනවා.
ඔව්.... දවසක් මමයි මල්ලියි රූපවාහිනියක් බලන්න තිබුණු ආසාවට ගමේ යමක් කමක් තිබුණු ගෙදරකට ගියා. එදා අපි දෙන්නව ඒ ගෙදරින් එළියට ඇදලා දාලා දොර වැහුවා. ඒත් ටීවී බලන්න තිබුණු ආසාවට අපි වහපු දොර ළඟ තිබුණු පුංචි වා කවුළුවකින් ටීවී බැලුවා. ඒ පාර ඒ මිනිස්සු වා කවුළුවල දූවිලිවලට පිම්බා අපේ ඇස්වලට යන්න. එදා මායි මල්ලියි දෙන්නා හොඳටම ඇඬුවා කේන්තියටයි දුකටයි. සාමාන්‍ය පෙළ පන්තියේ හිටපු මුළු අවුරුද්දටම මට අඳින්න තිබුණේ එකම එක කොට කලිසමයි. මගේ අම්මා හරි දිරියවන්ත ගැහැනියක්. අම්මා මාව කොහොමහරි කැලණියේ ගුරුකුලයට දාලා තිබුණා. මට අවුරුදු දහය විතර කාලේ තාත්තාට පුංචි පොල් අතු තේ කඩයක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා මම එන්නේ තේ කඩේ වැඩට. පෑන් කේක්, තෝසේ, රෝල්ස්, පැටිස් ඔක්කොම හදන්න තාත්තා පිටි ටික හදලා දීලා නාන්න ගියාම මම හදලා බැදලා කරලා තියෙනවා. තේකක් බොන්න මනුස්සයෙක් ආවොත් තේ එක හදලා දීලා සල්ලි ගන්නවා. කඩේ වැඩේට ලොකු වතුර ටැංකියක් තිබුණා ඒක පුරවා ගන්න ඕන වතුරින්. මට උස්සන්න බැරි තරම් ලොකු බාල්දියකින් මම වතුර පුරවලා තියෙනවා ඒ ටැංකියට. මම ජීවිතේ ඇදගෙන ආවේ අන්න එහෙම පාරක් දිගේ.
වරිච්චි බිත්ති ගහපු ගෙදර- වැහිදාට බිම තෙමපු දිරච්ච පොල් අතු වහලය ඔබට දුප්පත්කම ඇරුණම අම්මගේ තාත්තගේ ආදරයත් මහමෙරක් වගේ කියන එක කියලා දුන්නා නේද කියලා මම කීවොත් එකඟද ඔබ මාත් එක්ක?
පොල් අතු මැද්දෙන් වැහිදාට වැටෙන වතුර හැමදාම ගේ තෙමන එක අපිට අරුමයක් වුණේ නෑ. වැහිදාට තාත්තගේ වැඩේ ගහල යායක් තිබුණා ඒ ගහල යායේ ගහල වැල් කප කපා අර පොල් අතු අස්සට ඔබපු එක. පොල් අතු ටික අලුතින් හෙවිල්ලා ගන්න තාත්තට හයියක් තිබුණෙ නෑ.. අපි නිදාගත්තේ එක ගුලියේ පුංචි ඉඩක. වැහිදාට මමයි මල්ලියි නිදි කරලා අම්මායි තාත්තයි අර වරිච්චි බිත්තියට අත තියාගෙන ඉන්නවා. අත් දෙකින් බිත්තිය කඩා වැටුණොත් නතර කරන්න බැරි බව අම්මත් තාත්තාත් දැනගෙන ඉන්න ඇති. ඒත් ඒ තමයි අම්මාගෙයි තාත්තාගෙයි ආදරය.. ඒ ආදරයේ අසරණකම සහ බලවත්කම දෙකම..
අද සැප ඇඳන්වල නිදියද්දී එදා අබලන් බූරු ඇඳ ඔබට අදටත් ජීවිතය ගැන කියා දෙන යථාව මොකක්ද මහේෂ්?
එදා අපේ මුළු ගෙදරටම තිබුණු එකම එක බූරු ඇඳ පස්සේ මට නිදාගන්න හම්බුණා. ඒත් කැඩුණු බූරු ඇඳට අලුත් ගෝනි පඩන්ගුවක් ගහගන්න තාත්තාට වත්කමක් තිබුණේ නෑ. ලණු පොටවල් හරහට ඇදලා රෙද්දක් දාලා තිබුණු බූරු ඇඳේ නිදාගෙන නැගිට්ටම මගේ පිට පුරා ලණු පාරවල්. මගේ තාත්තා මාව රිදවපු ඒ පිටේ ලණු පාරවල් අත ගගා අඬලා තියෙනවා. ලණු පාරවල්වල වේදනාව ඉවසන්න මගේ දුප්පත්කම මට කියලා දීලා තිබුණා. ඒත් එදා තාත්තාගේ වේදනාව එදා වගේම අදටත් මාව කොහේදී හරි තැනකදී රිද්දනවා. හැබැයි ජීවිතය අත්නොහරින්න පන්නරයක් දුන්නෙත් ඒ දුප්පත්කම නැතිබැරිකමම තමයි.
ජාතික රෑපවාහිනියේ සිහිනයකි රෑ සංගීත වැඩසටහන ඔස්සේ ඔබ රටක් නොවෙයි විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවක්ම ආකර්ෂණයට ගත්තා...
මම නිවී සැනසිල්ලේ වචන අතරේ ඉඩ තියලා කතා කරන්න කැමති කෙනෙක්. මගේ කටහඬ හෘදයාංගමයි කියලා කෙනෙක් කියනවනම් ඒ ළෙන්ගතුකම මගේ හදවතින්ම එන දෙයක්. සිහිනයකි රෑ මාව නොසිතූ තැනකට අරන් ආවා. වැඩසටහනට විශ්වාසවන්ත හිතවත් අධ්‍යක්ෂකවරයෙක් ඉන්න ඕනෑ. ඒ අඩුව පිරෙව්වේ මාත් එක්ක එකම දවසේ සේවයට බැඳුණු ජයමිණි ඉලේපෙරුම මහත්මිය. අදටත් ඇය කල්‍යාණ හිතවත්කමකින් මට ඊට උපරිම සහය ලබා දෙනවා. සිහිනයකි රෑ සමඟ අපි රටවල් රැසකට ගියා. සැප්තැම්බර් මාසයේ අපි සිහිනයකි රෑ සමඟ ඕස්ට්‍රේලියාවට යනවා. මාව දැනුමින් පෝෂණය කළ, මට ආදරය කරන, මාව රැකගත්ත, දුක සැප දෙකේදීම මාව හැර නොගිය හිතෛශී හැම කෙනෙකුටම, හැම ප්‍රේක්ෂයෙකුටම මගේ හදවත මත දකුණු අත තියලා ඔළුව පාත් කරලා මම මගේ භක්ත්‍යාදරය දක්වනවා.
මහේෂ් මාධ්‍යවේදියෙක් වීම සිහිනයක් හැබෑවීමක්ද? ජීවිතේ එක අහම්බයක්ද?
දුප්පත්කමින් අසීමිත විදිහට රිදුම් කාපු ජීවිතේ තුවාල සුව කරගන්න රට සල්ලි හොයන්න මැදපෙරදිග රටකට හරි යන්න වෙර වීරිය දරපු කාලයේ, අනූව දශකයේ දවසක මගේ අම්මා මට දිනමිණ පත්තර කෑල්ලක් ගෙනත් දුන්නා දාපන් පුතේ කියලා. ඒකෙ තිබුණේ රූපවාහිනී සංස්ථාවට පුහුණුවෙන නිෂ්පාදකවරු ගන්නවා කියලා. අම්මාගේ පෙරුත්තය උඩ ඊට ඉල්ලුම් කළත් පළවෙනි පරීක්ෂණයට කැඳවීම් ලැබිලා ගේට්ටුව ළඟට ගිහින් මම ආපහු හැරිලා ආවා ටික දුරක්. මීටර් සීයක් විතර එද්දී මට මතක් වුණා මගේ දුප්පත් අම්මා මට කියපු දේ. අම්මා කීවා පුතේ මම වෙනුවෙන් උඹ ඔය පරීක්ෂණයට ලියපන් කියලා. මම ආයෙත් විභාග ශාලවට ගිහින් විභාගය ලීවා. ඒ වෙද්දී තාත්තා රට. අපි යන්තම් ඔළුව උස්සන්න හදපු කාලය ඒ. එදා පුහුණු වෙන නිෂ්පාදකවරයෙක් විදිහට පටන් ගත්තු ගමන අද මම දුරක් ඇවිත්. ඒ ගමනේ දී හේම නලින් කරුණාරත්න, ජැක්සන් ඇන්තනි වැනි තවත් බොහෝ කුහකත්වයෙන් තොර ආදරණීය මාධ්‍ය ඇඳුරු ප්‍රවීණයන් දුන් දිරිය අප්‍රමාණයි. මම ජැක්සන් ඇන්තනීව අධ්‍යක්ෂණය කරපු වැඩසටහනක් දිගටම කරගෙන යද්දී දවසක් එතුමා මට කැන්ටිමේදී කීවා අයිසේ තමුසේ කරනවකෝ මේක කියලා. එදා ඔහු මගේ හදවතට කාන්දු කළේ උඹට තනියම ඔය වැඩේ කරන්න පුළුවන්. උඹ දක්ෂයෙක්. තනියම නැගිටපං මහේෂ් කියන හැඟීම, ශක්තිය. ඔහු මට එදා දුන්නේ විවරණයක්. අවසානයේ මට ලැබුණු අභියෝගය තනියම වැඩසටහනක් නිෂ්පාදනය කරලා අනුමත කිරීමේ කමිටුවට බාර දීම. එතන හිටියේ මෑතකදී අපෙන් සමුගත් සුන්දර මාධ්‍ය ප්‍රවීණයෙක්. ඒ හේම නලින් කරුණාරත්න. හේම නලින් අයියා මගේ කැසට් එක අරන් ඇතුළට ගිහින් එනකම් මම හිටියේ තමන්ගේ බිරිඳව පළමු දරු ප්‍රසූතිය සඳහා ප්‍රසුතිකාගරයට අරන් ගියාම ඉන් පිටත හිඳින සැමියකුගේ මානසිකත්වයෙන් කීවොත් හරියටම හරි. මොහොතකින් දෙකකින් හේම නලින් කරුණාරත්න මහත්මයා එළියට එනකම් මගේ හදවත තත්ත්පරයට සියදහස් වාරයක් ගැහෙන්න ඇති. එතුමා ආවා. මට අර නිවුණු ප්‍රියමනාප ආදරණීය හඬින් මෙහෙම කතා කළා. ඉලන්දාරියා තමුසෙට වැඩේ කරගෙන යන්න පුළුවන් හැබැයි තමුන්ට කිසිම විදිහකින් අයිතියක් දීලා නෑ ප්‍රේක්ෂකයන්ට ඇඟිල්ල දික් කරන්න. අදටත් මම ඒ අවවාදය පිළිගන්නවා. කවදාවත් තොරතුරක් සම්ප්‍රේෂණය කරද්දී මම ප්‍රේක්ෂකයන්ට මගේ දබර ඇඟිල්ල දිගු කරලා නෑ. රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නිවේදකයෙක් විදිහට මා ලැබූ අත්දැකීම් අප්‍රමාණයි.
මහේෂ් නිශ්ශංක කියන මෙතුවක් කතා කළ මාධ්‍යවේදියාට පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව මත මෑත දවසක දෑතට විලංගු වැටුණා. ඔබ අධිකරණය හමුවේ ඔබේ පාර්ශවයෙන් කළ හෙළිදරව්ව ඔබේ ආදරණීයන් වෙනුවෙන් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කියන්න ඔබට දැන් ඉඩක් තියෙනවා.
මම හිටියේ මගේ බිරිඳ, දරු දෙදෙනකු සහ මගේ මිත්‍රයෙක් සමඟ.කෙනෙක් මා දිහා බලාගෙන ඉද්දි මම ඇහුවා ඔබට මාව අඳුනගන්න බැරුව බලාගෙන ඉන්නවද එහෙම නැත්නම් ඇත්තටම ප්‍රශ්නයක්ද කියලා. ඔහු මට ද්වේශ සහගත් විදිහට කීවා මම උඹව අඳුරනවා. උඹ චීත්තයක් කියලා. මගේ බිරිඳ, දරුවෝ එහෙම කියද්දි වික්ෂිප්ත වුණා. එහෙම කියලා තත්ත්පර පහකින් විතර ඔහු කීවා මම උඹට චීත්තෙකුයි හැට්ටයකුයි අන්දලා එඬේරමුල්ල හන්දියේ හිටවලා තියෙනවා කියලා. මට ඒ වෙද්දිවත් ඔහු නගන චෝදනාවන්ට හේතුව හිතා ගන්න බෑ. මම කීවා මම චීත්ත අඳින්නේ නෑ හැබැයි අන්දනවානම් ඒකට හේතුවක් තියෙන්න ඕන. හේතුව කියන්න මට කියලා. තමුසෙට මම ඒක කිය කිය ඉන්නේ නෑ කරලා පෙන්වන්නම් කියලා ඔහු කීවා. කියලා බැන්නා. මගේ දරුවන්ට ඔහු නගන චෝදනා ප්‍රශ්නයක් වුණා. ඇයි තාත්තේ එහෙම කීවේ ඇහුවා. අවසානයේ මගේ දරුවෝ මගේ ගැන වැරදි ආකල්පයකට එන නිසා දරුවෝ ඉදිරියේ මගේ ආත්ම ගෞරවය රැකගන්න මම ඔහුගෙන් පසුව ඇහුවා මට නගන චෝදනාවේ පදනම මට කරුණාකරලා පැහැදිලි කරන්න මම වැරැද්දක් කරලා නෑ කියලා. වැරදි වැටහීමක් මත ඔහු ගැන මම කේලමක් කීවා කියන ආකල්පයකින් තමා ඔහු හැසිරුණේ. ඊළඟට ඔහුගේ වාහනයේ සිටි දෙන්නෙක් බැස්සා. එක්කෙනෙක් බහින ගමන් කලිසමේ බෙල්ට් එක ගැලෙව්වා. අනිත් කෙනාගේ අතේ හෙල්මට් එකක් තිබ්බා. අවසානේ මම වෙනුවෙන් තාත්තාට ගහන්න එපා කියාගෙන ඉදිරියට පැන්න මගේ ලොකු පුතාව ඔහු බිම පෙරලගෙන පුතාගේ ඇඟ උඩ නැගලා පුතාගේ බෙල්ල මිරිකගෙන දකුණු කකුලේ දනිස්සෙන් පුතාගේ වම් පපුවට ගැහුවා. මගේ පුතා ඇස් ඇරගෙන දිව එළියට දාගෙන දඟලනවා. මම උදවු ඉල්ලලා කෑගැහුවා මගේ පුතා වෙනුවෙන්. මට ඒ අයට අතින් පයින් ගහන්න හයියක් නෑ. ඉන් පසු සිදු වූ සියලු දේ මම උසාවියට කියලා තියෙනවා. අධිකරණය හා නීතිය ගැන මම දැඩි විශ්වාසයකින් බලාගෙන ඉන්නවා.
► Text -Sanju / Pic- Internet