2017 ජනවාරි 28 වන සෙනසුරාදා

නිරෝෂාගේ මනාෙප

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 184

හැඩකාරියක් මෙන්ම කටකාරියක්ද වන නිරෝෂා පෙරේරා කියන්නේ අපිට ඉන්න දක්ෂ  නිවේදිකාවක් වගේම දක්ෂ රංගන ශිල්පිනිියක්.  නිරෝෂා කියන්නේ භාෂා කිහිපයක් දක්ෂ ලෙස හසුරුවන්ට හැකි කෙනෙක් නිසා 5 Choice විශේෂාංගයේදී අපි ඇහුවේ ඇය කැමතිම භාෂා 5 ගැන. 
මේක නම් හරිම ආමාරු දෙයක්. මම භාෂා 7ක් ලියන්න කියන්න ඉගෙන ගෙන තියෙනවා. ඊට අමතරව තව භාෂා කිහිපයක් කතා කරන්න සහ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හ්ම්... ඉතින් මේ භාෂා 7ම මම ඉගෙන ගත්තේ ඒවාට තියෙන කැමැත්ත නිසා. ඒ නිසා බොහොම සීරු මාරුවට මම මෙහෙම පෙළ ගස්වන්නම්. 

01. සිංහල භාෂාව 
මේ මගේ මව් භාෂාව. මම මුලින්ම ඉපදුණාම කතා කළේ සිංහලෙන්. ඒ නිසා කොයි තරම් භාෂාවන් ඉගෙන ගත්තත් අංක එක වෙන්නේ සිංහල භාෂාව. මම සිංහල භාෂාවේ අකුරුවලටත් කැමතියි. මගේ  සිංහල අකුරැ පවා හරි ලස්සනයි. මොකක් හරි දෙයක් කියන්න ඕනේ වුණාම මට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන් සිංහල භාෂාවෙන්. තවමත් මම  සිංහල භාෂාවේ අලුත් වචන ඉගෙන ගන්න කැමති කෙනෙක්.

02. ඉංග්‍රීසි 
මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි බසින්. ඒ වගේම අද වනවිට ලෝකේ බොහෝ රටවල් භාවිත කරන්නේ ඉංග්‍රීසි බස. ඒ වගේම තමා ඉංග්‍රීසි බස අමෙරිකන් සහ බ්‍රිතාන්‍ය කියලා දෙකක් තියෙනවානේ. මම කැමති බ්‍රිතාන්‍ය විදියට. තමන්ට කියන්න ඕනේ දේ හරි අදහස ඇතුව කෙටියෙන් හෝ ඉතාමත් දිගු ලෙස කියන්න පුළුවන් භාෂාවක් ඉංග්‍රීසි කියන්නේ. සිංහල වගේම මට මේ බස සමානයි. මගේ දෙවැනි බස වෙන්නේ ඉංග්‍රීසි. 

03. හින්දි බස 
සිංහල, ඉංග්‍රීසිවලින් හැර මොකක් හරි දෙයක් ඉතා පැහැදිලිව මට කියන්න පුළුවන් වැඩිපුරම පහසුවෙන් හසුරුවන්න පුළුවන් හින්දි බසින්. ඒ වගේම හරිම සුන්දර ලස්සන භාෂාවක්. මම හිතන්නේ ඒ නිසාම තමා හින්දි බස සංගීතමය භාෂාවක් කියලත් බොහෝ දෙනෙක් කියන්නේ. ඒ වගේම දෙයක් ලස්සන කරලා කියන්න පුළුවන් හින්දි බසින්. ඒ සියලු මෙවලම් ඔක්කොම තියෙනවා හින්දි භාෂාවේ. ඒ අකුරුවලින් නෙවෙයි ශබ්ද වලින්. 

04. ප්‍රංශ සහ ස්පාඤ්ඤ
හතරවැනි තැනට මම කියන්නේ ප්‍රෙන්ච් සහ ස්පැනිස් කියන භාෂා දෙකම. මොකද  මේ භාෂා දෙකම එක ළඟ යන භාෂා දෙකක්. ඒ කියන්නේ උච්චාරණයෙන් නෙවෙයි, උච්චාරණයෙන් නම් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය සමානතා තියෙනවා. ප්‍රෙන්ච් සහ ස්පැනිස් කියන්නේ හරිම ලස්සන භාෂාවන්. ස්පැනිස් මම ඉගෙන ගන්න ආසාවක් ආවෙත් ඒ ලස්සන නිසා.

05. දෙමළ සහ ජපන් 
දමිළ බස ගත්තොත් ගොඩක්ම අකුරු තියෙන භාෂාවක් තමා. මම ඒ අකුරුවලටත් කැමතියි. ඒ වගේම ඒ භාෂාවට ආවේණික හඬක් තියෙනවා. ඉතින් මම දමිළ භාෂාවට කැමති. ඒ වගේම තමා පස් වැනි තැනටම මම ජපන් භාෂාවටත් කැමති. මම ඉගෙන ගත්ත භාෂාවලින් අමාරුම භාෂාව. ඒ කියන්නේ ජපන් බස බොහොම සංයමයෙන් ඉගෙන ගන්න ඕනේ භාෂාවක්. ජපානයේ තියෙන සංකෘතික ලක්ෂණ ඒ භාෂාව තුළත් තියෙනවා. ඒ නිසා තමා මම කැමතිම රටවල් අතරත් ජපානය ප්‍රමුඛ වෙන්නේ.

Text – Anusha Ranasingha / Pic - FB