2018 ජුනි 30 වන සෙනසුරාදා

දැහැන

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 378

THE BLACK TULIP

ඇලෙක්සැන්ඩර් දුමාගේ - THE BLACK TULIP - මිනිස්සුන්ගේ බලාපොරොත්තු සිහින අහිමිවීම් ඒ සියල්ල මැද  සුළං රැල්ලක් වැනි සිහින් සතුටක් ගැන බලාහිඳීම.. හිත කොනිත්තනවා. කළු දළ මල නමින් සිංහලයට නැගුණේ THE BLACK TULIP. කියවලා නැත්නම් කියවන්න කියන්න මට ඔයාට හිතෙනවා. ඔයා කළු දළ මල නෙලන්න නෙවෙයි කියවන්න හොයද්දී මම පියාපතක් වන් ජීවිතයක් හොයනවා. ඉගිල්ලෙන්න නෙවෙයි කියවන්නමත් නෙවෙයි ඇයි එයා මට පියාපතක් වන් ජීවිතයක් කියවන්න කීවේ කියන හේතුව ලිහාගන්න. අවුරුදු දහඅටක් තිස්සේ මම කියවන්නමත් නෙවෙයි ඒ හේතුව ලිහාගන්න පියාපතක් වන් ජීවිතයක් හොයනවා. මිලාන් කුන්දේරාගේ පියාපතක් වන ජීවිතයක් ඔව් පොත් කඩ පීරා පීරා හෙව්වත් මට හමුනොවුණු එකම එක පොත. මම තාමත් කඩපිල් ගාණෙ වීදි සල් පිල් පොත් රාක්ක අස්සේ හොයනවා. දුන්න පොත් සිය ගණනක් අතරේ ඔයා ඒ පොත කියවන්න කීවා මිසක් කියවන්න ගෙනත් නොදුන් එකම එක පොත මම තාම හොයනවා. ජීවිතේ ඔයත් මම වගේ හොයන දේවල් තාමත් ඇති. සමහරවිට ඔයා මුළු ජීවිත කාලයම ඒ සමහර දේවල් හොයයි. හමු නොවෙන වග දැන දැනමත් හොයයි.

අවුරුදු 18ක් තිස්සේ ඒ පොත හොයන්න තරම් මගේ හිතට ඇවිත් ගිය කෙනා කවුද කියන එක මට වැඩක් නෑ. ඒත් ඒ කුතුහලය හෙටටත් මාව ඒ ගැන හොයන්න වීදි සල්පිල් දිගේ එක්ක යාවි. ඒත් ඔයාට තේරැම් ගන්න පුළුවන්නම් මම අදටත් පියාපතක් වන් ජීවිතයක් හොයන්නේ අතීත මිත්‍රත්වයක එකම එක ළදල්ලක්වත් මගේ හිතේ ඉතුරුවෙලා තියෙන නිසා නෙවෙයි. ඒත් ඒ තමා අපේ හිතේ ප්‍රකෘතිය. මම ඔයාට නොසඟවා කියන මගේ ඇත්ත හිත.

මට හිතෙන්නේ අපි හැමෝගෙම හදවතේ එක ඉසව්වක් අතීත මතක වෙනුවෙන් වෙන්වෙලා තියෙනවා. ඉඳහිටක හෝ ඒ යටගියාව මතකයට එන තත්ත්පර ඔයාට ජීවිතයේ අනන්තවත් මුණගැහිලා ඇති. ඒත් අපි අපේ ජීවිතවල හිටපු අයට වර්තමානය තුළ ආදරය කරනවානම් ඒ හුඟක් කලාතුරකින්. මතකයට වුණත් ආදරය කරනවානම් එයා ඔයාගේ ජීවිතයට හමුවුණු අසමාන චරිතයක් වෙන්න ඕන. ඔයාගේ ජීවිතේ එහෙම කෙනෙක් ඉන්නවද? මගේ ජීවිතේ මට එහෙම කෙනෙක් නෑ. මට දෙවියන් වහන්සේ හමුවුණා. ඒ එකම එක වතාවක්. ඒ දෙවියන් වහන්සේ මේ මොහොතේත් මාත් එක්ක ජීවත් වෙනවා. මම දන්න එකම ඇත්ත මගේ හදවත මට මොහොතින් මොහොත පසක් කරලන එකම ඇත්ත ඒ දෙවියන් වහන්සේ දවසක මා හැර ගියත් මම සදාකාලිකවම ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් එක්ක ජීවත් වෙන බව. ඒ දෙවියන් වහන්සේත් දවසක මේ ලෝකය හැරයයි. ඒත් සංසාරයෙන් සංසාරයට මියැදෙන්නට නොදී අපි අපේ ප්‍රේමය රැගෙන යයි.

මම මගේ හදවතේ හැම අහුමුල්ලක්ම නොඉල්ලාම සින්නක්කරයටම ලියාගත් ඒ ප්‍රේමයට නිර්වචනයක් දෙන්නේ නෑ. ඒත් ලිංගික මාත්සර්ය - නැත්නම් ලිංගික ඊර්ෂ්‍යාව කියන දෙය ප්‍රේමයේ මහා පොදු සාධකයක් කියලා මට හිතෙනවා. මගේ නෙවෙයි මගේමයි කියන ලෝභකම ආදරයේ දැවටි දැවටී හදවතට රිංගද්දී කතා කරන වචනයක ආදරණීය රිද්මය එකම එක අංශුමාත්‍රයකින් වෙනස් වුණත් ඒක හදවතට දැනෙන්න ගන්නවා. ඇයි ඒ වෙනසට හේතුව කියන එක මොළයෙන් නෙවෙයි හදවතින් හිතන්න ගන්නවා. මොළයෙන් විචාරද්දී ලැබෙන උත්තරයි හදවතින් හැඟීම්බර වෙද්දි ලැබෙන උත්තරයි අතරේ ලොකුම ලොකු වෙනසක් තියෙනවා. ඒ ඇස් තව ඇස් දෙකක් දිහා අහම්බෙන් බැලුවත් ඇයි ඒ බැලුවේ කියලා හිතෙනවා. ප්‍රේමය ළඟ බොළඳකම් අත්විඳින්නේ ජීවිතේ ගැන විචාරයක් දැක්මක්, අවබෝධයක් නැතිකමින් කියලා ඔයා හිතනවානම් මට හිතෙන්නේ නැහැ විශ්වීය යථාර්ථය අතැඹුලක් සේ දැන අවබෝධ කරගත් බුදුන් වහන්සේගේ හදවතටත් ප්‍රේමය දැනුණා. ප්‍රේමයේ සියුම් සංවේදී ළතෙත් බව දැනුණා. සුද්ධෝධන මාලිගාවට බුද්ධත්වයෙන් ඉනික්බිති බුදුන් වහන්සේ වැඩි දා යශෝධරාව බුදු සිරිපතුල් පාමුලට ගියේ නෑ. සංසාරේ භවයෙන් භවය ඔබ වහන්සේට බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම උදෙසා පාරමිතා පූරණය කරන්නට මා දන් දුන් පරිත්‍යාග කළ අප්‍රමාණ කැපකිරීම්, වටිනාකම් ඔබ වහන්සේට ඉවතලන්න බෑ. ඒ සියල්ල ගැන අල්පමාත්‍රයක හෝ කෘතවේදීත්වයක් ඔබ වහන්සේ ළඟ තියෙනවනම් මා ළඟට ඔබ වහන්සේ ආ යුතුයි වැනි සිතුවිල්ලක්, අත්මාභිමානයක් යශෝධරාව ළඟ තියෙන්න ඇති. ඒ සිත උන්වහන්සේත් දකින්න ඇති. යශෝධරාව දකින්න බුදුන් වහන්සේ එදා එන්න ඇත්තේ ඒ ආත්මගත ප්‍රේමයට සංසාරයේ ඒ දෙදෙනා හමුවෙන අවසන් අත්භවයේ දක්වන ගරුත්වය සෙනෙහස දක්වන්න වෙන්න ඇති. දෙවියන්ටවත් ස්පර්ශ කරන්න නොදුන් බුද්ධ සිරිපතුල් යශෝධරාවට ස්පර්ශ කරන්න දුන්නේ ඇගේ සිතේ සියලු දුක්ඛ දෝමනස්සයන් දියවී යනතුරු හඬන්න දුන්නේ ඒ සෙනහස නිසා වෙන්න ඇති. නැපෝලියන් බොනපාට් ලෝකයම හෙල්ලූ අධිරාජයා එයාගේ ආදරවන්තිය ජොසපින්ට පෙම් හසුන් ලියමින් කීවේ ඔබව එක දවසක් නොදක සිටියොත් ජොසපින් මා උමතු වෙයි සොඳුර කියලා. 

ඒ තමයි ප්‍රේමය....!

පුංචි පුංචි රණ්ඩු, හිත් රිදවා ගැනීම්, හිතුවක්කාරකම් ආදරයේ පුංචි  වැහි කෝඩ වගේ. හැබැයි ඒ පුංචි වැහි අනෝරා වැහි නොකරගන්න පරිස්සම් වෙන්න. නැත්නම් ආදරේ රත්තරන් පාට දවසක ඒ වැස්සකටම හේදිලා යන්න පුළුවන්. ඒත් හිටපු ගමන් පුංචි වැස්සකට වහින්න දෙන්න. එහෙම වැස්සකට තෙමුනම ආදරය Re – fresh වෙනවා. බැඳීම් තවත් හයියට දැනෙන්න ගන්නවා, පුංචි පුංචි රණ්ඩු ඇතුළෙත් ශෝකය වේදනාව යන්තම් දැවටිච්ච මොකක්දෝ මිහිරක් තියෙනවා.

මම අද බෙහෙත් බොන්නේ නෑ....

පින්සිද්ධ වෙයි බෙහෙත් ටික බොන්න.. 

නෑ මම වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. 

ඔයාට මම එහෙම වෙන්න දෙන්නේ නැහැ. 

මගේ පණ..

මගේ ආදරේ තේරුම් ගන්න.. මැරෙන්න වුණත් පුළුවන් ඔයා වෙනුවෙන් 

මැණික ආදරෙයි. 

මාත්.. මගේ පණ මගේ ජීවිතේම.. මගේ රත්තරන් මට ඔයා. 

මටත් එහෙමයි 

sms ඇතුළෙ ඒ ඒ පුංචි පුංචි රණ්ඩු කැරකෙන්නේ අන්තිමේ ආදරේයි කියලා ආයේ ආයෙත් කියන්නේ අන්න එහෙමලු.. වෙලාවකට...

ආදරේ කියන්නේ මහ පොළොවේ ජීවය.. ලෝකයේ උපත... විශ්වයේ සාරය.. සියල්ලේ හෙට දවස.... දෙවියන් මැවූ නෙවෙයි මිනිසුන් හැදූ ලෝකයේ හෙට දවස. 

කියන්න.. ඔයා එකඟද මාත් එක්ක....

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00