සුගත්... ධර්මිස්ටලා වේදිකා නාට්‍ය ඔබේ නිෂ්පාදනයක්. වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කරන්න හිතුණේ ඇයි...?
ඒකට හේතු කිහිපයක්ම තිබුණා. ධර්මිස්ටලා වේදිකා නාට්‍ය රචනා කළේ කලාභූෂණ ජේ.ඒ.පී. පෙරේරා මහතායි. ඔහු වේදිකා නාට්‍ය විසිහයක් පමණ රචනා කරපු කෙනෙක්. මේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කළේ සම්මානලාභී අනුර වරාගොඩ මහතායි. මම පත්තරකාරයෙක් විදිහට අවුරුදු විසිපහක් තිස්සෙ වේදිකා නාට්‍ය නරඹනවා. ඊටපස්සෙ 2006 සිට 2017 දක්වා වේදිකා නාට්‍ය ශිල්පියෙක් විදිහට වේදිකා නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒ කාලසීමාව තුළදී මට දැනුණු දෙයක් තමයි බහුතර වේදිකා නාට්‍ය තුළින් හාස්‍යෝත්පාදක දේ පමණයි සිදුවන්නෙ. පැය එකහමාරක් තිස්සෙ වින්දනය ලබාගෙන කියලා ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රේක්ෂකයා එළියට යන්නෙ හිස් ඔළුවකුත් එක්කමයි. මුදලක් දී නාට්‍යයක් බලලා ලැබෙන දෙයක් නෑ. තාවකාලිකව පැය එකහමාරක් තිස්සෙ ලැබෙන පොඩි විනෝදය විතරමයි. නමුත් ජීවිතේ කියන්නෙ ඒක නෙමෙයි. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට විඳින්න පුළුවන්, ගෙදර ගිහිල්ලත් අත්දැකීමක් හුවමාරු කරගත හැකි නාට්‍ය නිර්මාණයක් කරන්න මට ඕන වුණා. ඒ අරමුණින් තමයි ධර්මිස්ටලා නිර්මාණය වෙන්නෙ.
ධර්මිස්ටලා ගැන කෙටි හැඳින්වීමක් කරමුද...?
මේ වේදිකා නාට්‍ය ලෝක තුනක් ගැන කියවෙන වේදිකා නාට්‍යයක්. දිව්‍යලෝකය, අපාය සහ මනුෂ්‍ය ලෝකය ගැන මෙයින් කියවෙනවා. අද හුස්ම ගැනීම, බොන වතුර උගුර සහ කන බත්පත පවා දේශපාලනීකරණය වෙලානෙ. දේශපාලනයේදී අපි ගන්න තීන්දු තීරණ කොයිතරම් දුරට නිවැරදිද යන්න පිළිබඳව මෙම කතාවෙන් දැනගන්නට පුළුවන් වේවි. දේශපාලනඥයන්ගෙ කතාවලින් අපි ඇන්දවෙනවනෙ. ඒ අනුව අපි අපේ වටිනා ඡන්දය නිරපරාදේ නොවැදගත් කෙනෙකුට නාස්ති කරනවා. ඡන්දදායකයාට නිවැරදි තීන්දු ගන්න තරම් දැනුමක් නෑ. මේ නාට්‍ය ඔස්සෙ 2030 හෝ 2040 දී ගත යුතු තීන්දු තීරණ ගැන යම් දෙයක් කියවෙනවා. ප්‍රේක්ෂකයාට අවුරුදු විස්සක් සිතන්නට අපි ඉඩ ලබලා දීලයි තියෙන්නෙ. ඒ වගේම වර්තමාන දේශපාලනඥයන්ට මරණයෙන් මතු සිදුවන දේ පිළිබඳවත් අපි මේ වේදිකා නාට්‍ය ඔස්සේ කතා කරනවා.
බැලූබැල්මට ඒ දේශපාලනඥයන්ව ප්‍රේක්ෂකයන්ට හඳුනාගන්න වේදිකා නාට්‍ය ඔස්සෙ හැකිවෙයිද...?
ඔව්.. අනිවාර්යයෙන්ම පුළුවන්. ඔවුන්ගේ බාහිර ඇඳුම් ස්වරූපය, ඔවුන්ගේ කතා විලාසය, ඔවුන්ගේ හැසිරීම් රටාව වේදිකාව තුළ දකිද්දී ප්‍රේක්ෂකයාට අවබෝධ කරගත හැකි වේවි. දුටු පමණින් ඔවුන්ට හඳුනාගන්නට පුළුවන්.
ධර්මිස්ටලා වේදිකා නාට්‍යයට රංගනයෙන් දායකවෙන්නෙ කවුද..?
මේ වේදිකා නාට්‍යයේ කුලසිරි මල්ලිකාරච්චි, මාක් සැම්සන්, රෝහණී වීරසිංහ, චින්තක පතිරණ, අනුර මාපිටිගම, අනූ ඩීල්, අනුර වරාගොඩ සහ මම රඟපානවා. මෙම වේදිකා නාට්‍යයෙ මංගල දර්ශනය ජුලි මස 15 වැනිදා සවස 3.30ට සහ 6.30ට මාලබේ රාහුල බාලිකා විදුහලේදී වේදිකාගත වෙනවා.
වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ එය වේදිකාගත කිරීම යම් අභියෝගයක් නේද...?
ඔව්... අනිවාර්යයෙන්ම. අද මිනිස්සු දැඩි ආර්ථික ප්‍රශ්න ගොඩකනෙ ඉන්නෙ. රුපියල් දාහක් එක්දහස් පන්සීයක් වියදම් කරලා අද වේදිකා නාට්‍යයක් බැලීම අපහසුයි. මේ නිසා මගේ සංවිධායකට අඩු මුදලකට ටිකට් පතක් අලෙවි කරන්න කියලා මම කිව්වා. මම වෘත්තීය පත්තරකාරයෙක්. මම පොත් හැත්ත එකක් ලියලා තියෙනවා. මේ වෙද්දී මට යම් ආදායම් මාර්ගයක් තියෙනවා. නමුත් නළු නිළියන් ඇතුළු අනෙකුත් කණ්ඩායමට ඔවුන්ගේ රැකියාව කරගෙන යන්න ඕනෙ. ඒ නිසා මගේ මේ කණ්ඩායම නඩත්තු කරගන්න ආදායම තිබ්බොත් මට ඒ හොඳටම ඇති. ලොකු මුදලකට ටිකට් විකුණලා අහස අල්ලන මානසිකත්වයක් මට නෑ. ඒ වගේම ගෙදරක මාතෘ මූලික සමාජයකනෙ අපි ජීවත් වෙන්නෙ. අම්මා තමයි ගෙදර තීන්දු තීරණ ගන්නෙ. මේ නිසා කාන්තා සංවිධානවලට මෙම වේදිකා නාට්‍ය පහසු මිල ගණන් යටතේ ලබාදීමටත් අපි තීරණය කළා. මංගල දර්ශනයට අමතරව දඹුල්ලේ තවත් දර්ශන වාර දෙකකටත් අපිට මේ වන විටත් ආරාධනා ලැබිලා තියෙනවා.
ධර්මිස්ටලා වේදිකා නාට්‍යයට මුලින්ම තෝරාගත්තු ශිල්පීන් කිහිපදෙනෙක්ම එයින් ඉවත් කළා නේද... ඇයි ඒ...?
මම පත්තරකාරයෙක් විදිහට මේ නළු නිළියන්ව නිතරම පාඨක ප්‍රජාවට අරගෙන ආවා. මම පත්තරකාරයෙක් විදිහට මොවුන්ගේ සම්මුඛ සාකච්ඡාවෙදී ඔවුන් අපි මේ වඩේ එකක් කාලා... ප්ලේන්ටියක් බීලා තමයි මේ වැඩේ කරන්නෙ.. හරිම කටුක අත්දැකීම් තමයි වේදිකා නාට්‍ය කරද්දී විඳින්න වෙන්නෙ කියලා කියනවා. මමත් වේදිකා නාට්‍ය දහයක විතර රඟපාලා තියෙනවා. ඒ වෙනකොට මේ මිනිස්සු මොනතරම් සුන්දරද කියලා මම කල්පනා කළා. නමුත් මගේ නාට්‍යයට මම මුලින්ම අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක් තෝරාගත්තා. නමුත් ඔවුන් ළඟ අර තිබුණු සුන්දරත්වය තිබුණේ නෑ. එක දවසක් මම එන්න පරක්කු වෙද්දී එක්කෙනෙක් පළතුරු ජූස් එක නැතිව පොඩි සද්දයක් දැම්මා. තව කෙනෙක්ට දවල්ට ෆ්‍රයිඩ් රයිස් නැතිව කැකුළු හාලේ බත් එකක් ලැබුණා කියලා ඒක එයාට මදිකමක් වුණා. පුහුණුවීම්වලට යන්න එන්න ටැක්සි එකක් ඕනවුණා. මාස දෙකක් තිස්සෙ මේ අය එක්ක පුහුණුවීම් කරගෙන යද්දී ඇත්තටම මගේ හිතට ලොකු වදයක් දුන්නා. අපි පත්තරකාරයෝ විදිහට අපේ පෑනෙන් ලියපු සුන්දර මිනිසුන් ඒ හිත්වල ජීවත් වුණේ නෑ. ඒ නිසා මම ඔවුන්ව මගේ කණ්ඩායමෙන් අයින් කළා. ඊටපස්සෙ තමයි දැන් ධර්මිස්ටලා කණ්ඩායමේ ඉන්න කලා පිරිස අපි එකතු කරගත්තෙ. ඔවුන් ඉතා ප්‍රවීණ සහ වෘත්තීය නළු නිළි පිරිසක් වුණා. ඔවුන් තුළ අර ප්ලේන්ටියයි වඩේ එකයි පිළිබඳ මතකයවත් ෆ්‍රයිඩ් රයිස් එකෙයි පළතුරු ජූස් එකෙයි සිහියවත් නෙමේ. ඔවුන් සැබෑ නිර්මාණය තුළ පමණක් ජීවත් වෙනවා. මොවුන් ඇත්තටම සුන්දර මිනිස්සු පිරිසක්. ඇතැම් නළු නිළියන් හිතන දෙයක් තමයි නිෂ්පාදකවරයා සල්ලි ගහක් කියලා. ඒ නිසා ධර්මිස්ටලා මුල් කණ්ඩායම අපි අයින් කරලා අපූරු සුන්දර මිනිසුන් පිරිසක් එක්ක මෙම වේදිකා නාට්‍ය වේදිකාගත කරන්න බලාපොරොත්තු වෙනවා.
► Text — Jayamali / Pic - Internet