2018 ජුනි 30 වන සෙනසුරාදා

සල්ලිකාර පාතාල ගේම් අස්සෙ ආදරයක්!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ශම්ශේර් සිං කියන්නෙ මැදපෙරදිග ජීවත්වෙන මහා සල්ලිකාරයෙක්. ඒත් මෙයා ධනවතෙක් වෙලා තියෙන්නෙනම් සාධාරණ ක‍්‍රම සහ සාමාන්‍ය ක‍්‍රමවලට නෙවෙයි. කෙටියෙන්ම කියනවානම් ඔහු පාතාල නායකයෙක් නෙවෙයි, පාතාලයේ ඉන්න අධිරාජ්‍යයෙක් කියලා තමයි කියන්න වෙන්නෙ. මැදපෙරදිග ඉඳන් ඔහු අවිආයුධ ව්‍යාපාරයක් මෙහෙ‍යවන ගමන් මත්ද්‍රව්‍ය ජාවාරමත් කරනවා. සිඛන්දර් සිං කියන්නෙ ශම්ශේර් සිං හදාගන්න පුතා. සිඛන්දර්ට අමතරව නිවුන් දරුවෝ දෙන්නෙක්ම ශම්ශේර් සිංට ඉන්නවා. එයින් සංජනා කියන්නෙ දුව. පුතාගේ නම සූරජ්. යාශ් කියන්නෙ ශම්ශේර්ගෙ හෙංචයියා වගේම සිඛන්දර් සිංගේ විශ්වාසවන්තයා. මැදපෙරදිගවල ඔවුන් ජීවත් වෙන්නෙ එකම පවුලක් විදියටයි. එක දවසක් එයාලගේ පවුලේ නීතීඥවරයා ඇවිල්ලා ශම්ශේර් සිංව හමුවෙනවා. එදා සංජනා සහ සූරජ්ට අවුරුදු 25 ක් වෙන හින්දා ඔවුන් ගැන තමයි ඔවුන් එදා කතාබහ කරන්නෙ. 

තමන්ගේ දරුවන් තුන්දෙනාට දේපළ බෙදන්න ඕන කියලා ශම්ශේර් තමන්ගේ ෆැමිලි ලෝයර්ට කියනවා. තමන්ගෙ වත්කම්වලින් 50 ක් සිඛන්දර් සිංටත් 25 ගාණේ සංජනාට සහ සූරජ්ටත් වත්කම් බෙදන ලෙස තමයි ශම්ශේර් සිං කියන්නෙ. මෙන්න මේ හේතුව නිසා සංජනා සහ සූරජ් සිඛන්දර් නැතිකරන්න හිතාගෙන එක එක යටිකූට්ටු වැඩ කරනවා. ආ තව දෙයක් කියන්නම ඕන. ශම්ශේර්ට ඔහුගේ ව්‍යාපාරයේ ප‍්‍රතිවාදියෙකුත් ඉන්නවා. ඔහුගේ නම රණ විජය. සටන්වලින් සපිරි ආදරය ත‍්‍රාසයෙන් සපිරි මේ කතාවේ ඉතුරු ටික දැකබලාගන්නනම් ඔබට රේස් 3 හින්දී සිනමාපටය නරඹන්නම වෙනවා. මේ වෙද්දී ඔබට ඒකට අවස්ථාව උදාවෙලයි තියෙන්නෙ. විනාඩි 160ක ධාවන කාලයකින් යුතු රේස් 3 හින්දී සිනමාපටය 2018 ජූනි 15 වැනිදා සිට ලොව වටා සිනමාශාලාවල ප‍්‍රදර්ශන කටයුතු ආරම්භ කළා විතරක් නෙවෙයි, මේ වෙනකොට අලෙවි වාර්තාවලටද ඇතුළත් වෙන්න සමත්කම් දක්වලා තියෙනවා. දින කිහිපයක් තුළ මේ සිනමාපටය උපයා ඇති මුදල ඉන්දියානු රුපියල් කෝටි 41.64 ක් කියලා තමයි කියන්නෙ.

ශිරාස් අහ්මඩ් ලියලා තියෙන රේස් 3 හින්දී සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ රිමෝ ඩි සූසා. මේ සිනමාපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ රමේශ් එස් තවුරානි සහ සල්මාන් ඛාන්. සලීම් සුලෙයිමාන් තමයි රේස් 3 හින්දී සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නෙ. රේස් 3 හින්දී සිනමාපටය මුස්ලිම් භක්තිකයන්ගෙ උත්සවයක් වන ඊද් උත්සවය පැවැත්වෙන දවසෙ තිරගත කිරීමත් විශේෂ සිද්ධියක් වෙනවා. දැන් ඔබට කියන්න හදන්නෙ මේ සිනමාපටයේ විවිධ චරිතයන්ට පණපොවන නළු නිළියන් ගැනයි.

මුලින්ම සිඛන්දර් සිං ගැන කියන්න ඕන කියලා හිතුවා. සිඛන්දර් සිංගේ චරිතයට පණපොවන්නෙ කවුද? 1965 දෙසැම්බර් 27 වැනිදා ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ්හි ඉන්ඩොරේවලදී තමයි මේ කියන කඩවසම් නළුවා ඉපදිලා තියෙන්නෙ. ඒත් ඔහු දැනටනම් ජීවත් වෙන්නෙ ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍රා ප‍්‍රාන්තයේ මුම්බායි නගරයෙ. ඔහු සිනමා නළුවෙක්, නිෂ්පාදකයෙක්, ගායකයෙක් විතරක් නෙවෙයි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද වෙනවා. 1988 ඉඳන් හින්දී සිනමාවට සම්බන්ධවෙලා ඉන්න ඔහු මෙන්න මේ සිනමාපටවල විවිධ චරිතවලට අතිදක්ෂ විදියට පණපෙව්වා. 

Biwi Ho to Aisi (1988), Maine Pyar Kiya (1989), 1990 Hum Aapke Hain Koun..!, Karan Arjun (1995), Biwi No.1 (1999), Hum Saath-Saath Hain (1999), Kuch Kuch Hota Hai (1998), Dabangg (2010), Ready (2011) Bodyguard (2011), Ek Tha Tiger (2012), Dabangg 2 (2012), Kick (2014), Prem Ratan Dhan Payo (2015), Bajrangi Bhaijaan (2015), Sultan (2016) and Tiger Zinda Hai (2017), Tere Naam, (2003) Mujhse Shaadi Karogi
ඔව් ඔබ හරි. සලීම් ඛාන් සහ සිශිලා චරක්ට දාව අබ්දුල් රෂීද් සලීම් සල්මාන් ඛාන් ලෙසින් ඉපදුණු ඔහු ඔබ අපි දන්නා සල්මාන් ඛාන් තමයි මේ රේස් 3 කියන හින්දී සිනමාපටයේ සිඛන්දර සිංගේ චරිතයට පණ පොවන්නෙ. ඊළඟට මම ඔබට කියන්න හදන්නෙ ශම්ශේර් සිංගේ චරිතයට පණදෙන කෙනා ගැනයි.

1956 දෙසැම්බර් 24 වැනිදා ඉන්දියාවේ බොම්බේ ප‍්‍රාන්තයේ බොම්බේ නගරයේ තමයි ඔහු ඉපදිලා තියෙන්නෙ. ඔහු නළුවෙක් වගේම නිෂ්පාදකයෙක්. 1977 දී හින්දී සිනමාවට සම්බන්ධ වුණු ඔහු 2014 අයිෆා සම්මානයෙන් සහ නැෂනල් අවෝර්ඩ් සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන රාශියක් තමන් සතුකරගත්ත නළුවෙක්. මෙන්න මේ සිනමාපට කීව ගමන් ඔබට ඔහුව මතක් නොවුණොතින් තමයි පුදුමය.

Tezaab (1988), Beta (1992), Meri Jung (1985), Karma (1986), Janbaaz (1986), Aap Ke Saath (1986), Mr. India (1987), Ghar Ho To Aisa (1990), Awaargi (1990), Benaam Badsha (1991), Virasat (1997), Taal (1999), Pukar (2000), No Entry (2005), Dil Dhadakne Do (2015), Ram Lakhan (1989), No Entry (2005), Chocolate (2007), Salaam-e-Ishq (2008), Race 

ජනප‍්‍රිය නිළියක් වන සෝනම් කපූර් සහ රියා සහ හර්ෂ්ගේ පියා සහ සුනීතා කපූර්ගේ සැමියා වන අනිල් කපූර් ගැන තමයි අපි ඔබට කිව්වේ. ඔහු තමයි රේස් 3 හින්දී සිනමාපටයේ ශම්ශේර්ගේ චරිතයට පණ පොවන්නෙ. රේස් පළමු සිනමාපටයේ ඉඳන්ම කවුරු නැතිවුණත් අනිල් කපූර්නම් හිටියා. ඔන්න ඔහු රේස් 3 හින්දී සිනමාපටයෙත් චරිතයකට පණ පොවනවා. 

අනිල් කපූර් ශම්ශේර්ගේ චරිතයට පණපොවද්දී බොබී ඩියෝල් තමයි යාශ් සිංගේ චරිතයට පණ පොවන්නෙ. සංජනා සිංගේ චරිතයට දේසී ශාහ සහ සූරජ් සිංගේ චරිතයට සකීබ් සලීම් තමන්ගේ දායකත්වය ලබාදෙන අතර ජැක්ලින් ෆර්නෑන්ඩස්ද මේ රේස් 3 සිනමාපටයේ රංගනයේ යෙදෙද්දී රණ විජයගේ චරිතයට පණ පොවන්නෙ ෆ්‍රෙඞී දරැවාලා.

 
රේස් 3 සිනමාපටයෙහි ගී පද මාලාවන් කුමාර්, සල්මාන් ඛාන්, හර්දික් ආචාර්යා, ශැන්කි, ශිවායි ව්යෑස්ශිවායි විසින් රචනා කරලා තියෙන අතර ඒ ගී පදවලට පණදෙන්න, ඒවාට හඬ දීලා තියෙන්නෙ අතීෆ් අස්ලාම්, ලූලියා වෙන්චර්, මිකා සිං, සල්මාන් ඛාන්, වීරා සක්සේනා, පායල් දේව් කියන කිහිපදෙනා තමයි. 

රේස් 3 සිනමාපටය 2017 නොවැම්බර් 09 වැනිදා මුම්බායිවල මැහැබූබ් ස්ටුඩියෝ එකේදී තමයි ෂූටිං පටන් අරගෙන තියෙන්නෙ. ඊටපස්සෙ බැංකොක් සහ තායිලන්තයේදී සටන් ජවනිකා සහ ගීතයන්හි රූප රූගතකර තියෙනවා. ෆ්ලොටිං මාර්කට්, රෝස් ගාර්ඩ්න්, කන්චන්බුරි ප‍්‍රාන්තයේ වනාන්තරයක් එහෙම තායිලන්තයේ රූගත කළ කොටස්වලට ඇතුළත් වෙනවා. ඊටපස්සෙ රේස් 3 සිනමාපටයේ රූගතකිරීම් සිදුකරලා තියෙන්නෙ අබුඩාබිවලයි. අබුඩාබිවල එමිරේට්ස් පැලස්, යාස් විසාරී, අබුඩාබි එක්සිබිශන් සෙන්ටර් එක සහ තවත් කිහිප ස්ථානයක රූගතකිරීම් සිදුකරලා තියෙනවා. ඉන්දියාවේ සිනමාපට විචාරකයන්ගේ වර්ණනා සහ විවේචන මැද්දේ ආදායම් වාර්තා තබමින් මේ සිනමාපටය ඉන්දියාවේ මෙන්ම ලොව සෙසු රටවල්වලද මේ දිනවල තිරගතවෙනවා.

Translation — Chandana Waravitage

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00