2018 ජුනි 30 වන සෙනසුරාදා

කුසලානය තෙත් කළ සාමයේ කඳුළ!

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

දේශපාලනයෙන් අපි එකිනෙකාගෙන් වෙන් කළ ද එසේ වෙන්වූවන් නැවත එක්කාසු කිරීමට ක්‍රීඩාවට ඇත්තේ පුදුමාකාර ශක්තියකි. ඒ ශක්තිය ලෝකයට හොඳින්ම දැකගැනීමට හැකි අවස්ථාවක් වූයේ 1998 ලෝක පාපන්දු කුසලාන තරගාවලියයි. ලෝක පාපන්දු කුසලානයක් පැවැත්වෙන මේ මොහොතේදී පාපන්දු ක්‍රීඩාව තුළින් අන් සියලු දෑ පරයමින් නැඟුණු ක්‍රීඩාවේ ජීව ගුණය ගැන කතා කිරීම අතිශය කාලෝචිත වනු ඇත. 

ඒ 1998 වසරයි. ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සඳහා  ප්‍රංශය තෝරාගෙන තිබුණි. ජූනි මාසයේ ආරම්භ වීමට නියමිතව තිබුණු ලෝක කුසලානයට මාස හයකට පෙරදී මූලික වටයේදී එකිනෙකා සමඟ තරගවදින කණ්ඩායම් මොනවාදැයි කුසපත් ඇදීමක් මගින් තීරණය කෙරුණි. පාපන්දු ක්‍රීඩා ලෝලීන් පමණක් නොව සමස්ත ලෝකවාසීන් හටම බියකරු සිහිනයක් ළඟාකරමින් දරුණු දේශපාලන ප්‍රතිමල්ලවයන් දෙපොළක් වන අමෙරිකා එක්සත් ජනපදයත් ඉරානයත් එකම කාණ්ඩයකට වැටී තිබුණි. එනම් එවර ලෝක කුසලානයේදී අමෙරිකාවත් ඉරානයත් අතර අනිවාර් යෙන්ම තරගයක් පැවැත්වීමට නියමිත විය. 

බොහෝ දෙනෙක් සිතූයේ මෙය අතිශය ගැටුම්කාරී තරගයක් වනු ඇති බවය. දේශපාලන ලෝකය තුළ තිබෙන එදිරිවාදිකම් ක්‍රීඩකයන්ගෙනුත් ප්‍රේක්ෂකයන්ගෙනුත් දක්නට ලැබෙනු ඇති බව හැමදෙනාගේම මතය විය. ප්‍රංශ ආරක්ෂක අංශ පවා වෙනත් කිසිදු තරගයකට නුදුන් තරමේ ආරක්ෂාවක් මෙම තරගය වෙනුවෙන් සපයා තිබුණි. මුළු ලෝකයම තරගය ගැන සැකයෙන් බලද්දී ඉරානයේත් අමෙරිකාවේත් පාපන්දු කණ්ඩායම් දෙක තරගය දෙස බැලුවේ වෙනස් අයුරකිනි. 
මිනිත්තුවෙන් මිනිත්තුව කහ කාඩ්පත්, රතු කාඩ්පත් එසවෙනු ඇතැයි සිතූ තරගය ඇරඹුණේ අතිශය දයාර්ද ළෙන්ගතු අයුරිනි. සාමාන්‍යයෙන් ප්‍රතිවාදී පිල් දෙක දෙපසට වී තනි තනිව තම තමන්ගේ ජාතික ගී ගයනු ලැබීම සිරිත වුවද මෙම තරගයේදී එම සම්ප්‍රදාය මායිම් නොකෙරිණි. අමෙරිකානු ක්‍රීඩකයෝත් ඉරාන ක්‍රීඩකයෝත් එකිනෙකාගේ කරට අත් දමාගනිමින් එකට එක්ව දෙරටේම ජාතික ගීය ගායනා කළහ. 

කල් තබා සුහද තරගයකට සූදානම්ව පැමිණි ඉරාන ක්‍රීඩකයන් සියලුදෙනා අතම මල් පොකුර බැගින් විය. ඔවුහු ඒවා තම ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පිළිගන්වද්දී සාමය අගයන සියලු ක්‍රීඩාලෝලීන්ගේ දෑසට කඳුළු උනා තිබුණි. කණ්ඩායම් දෙකේ කළමනාකරුවන් දෙදෙනා ද එකිනෙකාට අතට අත දෙමින් එකට වාඩි වී තරගය නැරඹූහ. 

තරගයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඉරානය 2-1ක් ලෙස අමෙරිකාව පරදවා ජය ගැනීමෙනි. එය ඉරාන ක්‍රීඩකයන්ට අතිශය ප්‍රීතිමත් අවස්ථාවක් වුවද ඔවුහු කිසිදු අයුරකින් තම ප්‍රතිවාදීන්ට අපහාස කිරීමට හෝ කොළොප්පම් කිරීමට උත්සාහ නොගත්හ. දෙපිලම මහත්වරුන් ලෙස ක්‍රීඩා පිටියට පිවිස මහත්වරුන් ලෙස ක්‍රීඩාවේ යෙදී මහත්වරු ලෙසම ක්‍රීඩා පිටියෙන් නික්ම ගියහ. දේශපාලනය පරදා ක්‍රීඩාව ජයගත්තේ එලෙසිණි.

අදටත් ලෝක පාපන්දු කුසලාන ඉතිහාසය දෙස හැරී බලන විට අමෙරිකාවත් ඉරානයත් එදා තැබූ සහෝදරත්වයේ පියවර පාපන්දු ලෝකය තුළ අනිවාර්යෙන්ම කතාබහට ලක්වන අන් සියලු රටවලටත් ක්‍රීඩකයන්ටත් ආදර්ශයක් ගෙන දෙන්නකි. 

 

► Text — Rajitha