2018 ජුනි 30 වන සෙනසුරාදා

සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 691

මලක් නැති ගසක් වී
හුදෙකලා වූ නුඹට
එකම එක මලක් වී
සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල්
අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට...

ඝන අඳුරු රැයක් වී
හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි
පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ
වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිතින් දුක දරාගමි
එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක
පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී
යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

පදරචනය - දයා ද අල්විස්
සංගීතය - සෝමපාල රත්නායක
ගායනය - නිරංජලා සරෝජිනී

සංසාරය නම් මහපාර දිගේ ඇවිදගෙන ඇවිදගෙන යන මේ දිගු යාත්‍රාවේදී හමුවෙන අත්හැරෙන බැඳීම් කොතෙක්දැයි සිතන්න. ඉල්ලන දෙයම නොදී නොඉල්ලන දේත් දෙන ජීවිතය ඒ හමුවීම් හා අත්හැරීම් ළඟ වරෙක ආත්මයම වේදනාවන්ගෙන් හිරිවට්ටවයි. රිදුම් දෙවයි. හඬමින්, නොහඬමින්, දරාගනිමින්, විඳවමින් එහෙත් දොස් නොකියමින් විරහී වේදනාවන් හිත පතුලටම ගුලි ගැසී දරාගන්නා සිත් මම මේ ජීවිත චාරිකාවේදී කොතෙකුත් කියවා ඇත්තෙමි. මම මෙලෙසින් විමසමි. රිදුමක් නොදුන් ප්‍රේමයක් ලොව කොහේ කොතැනක වෙත්ද? එසේ වූ රිදුමක් නොවූ ප්‍රේමයක්, සංසාරගත උත්තරීතරම ප්‍රේමය නම් මෙයැයි සිතෙන සිදුහත් යශෝධරා ප්‍රේමය ගැඹුරේවත් තිබුණේදැයි විචාරණ ලෙස ඔබට කියන්නටත් මට සිතේ. සඳළුතලයක, ළවැලි තලාවක මේ අහස පොළව අතර කොහේ කොතැනක හෝ මඟ තොටක පැළවුණත් ප්‍රේමයක පැලෑටිය ළදලු දා වැඩෙන විට විටෙක දරාගනු බැරි අව්රුසින් ඒ ළදලු මැලවෙයි. ඇවැසි තැන දිය බිඳක්වත් නොලැබ තවත් දලුලනු බැරිව වැළපෙයි. කතරක තනි වූ වැන්නේ යැයි සිතුවිල්ලෙන් ඉකිලයි. තවත් වරෙක ඒ පැලෑටියම නිසි ලෙස වතුරත් පොහොරත් ආදරයත් ලැබ දිනෙක මහා වනස්පතියක් බවට පරිවර්තනය වෙයි. මල් පල අතු කිනිති වැඩී සවිමත් මහ කඳින් අහස සිඹින්නට තතනමින් අක් මුල් මහා චණ්ඩ මාරුතයකදීවත් නොසෙල්විය හැකි ලෙස මුල් අදියි. තමන් ආදරය කරන ආදරවන්ත ජීවිතය ළවැලි තලාවකින් මහා කඳු මුදුනක ඔසවා තබන්නට, දිනෙක ඔහු මහා වනස්පතියක් බවට පත් කරන්නට ප්‍රේමයේ සියලු අධ්‍යාත්මික ගුණාංග හදවතේ දරාගනිමින් අනෙකා වෙනුවෙන් දරදිය අදින ගැහැනියක මට ගීතයකදී හමුවිය. ඒ දයා ද අල්විස්‌ රචනා කළ මලක් නැති ගසක් වී හුදෙකලා වූ නුඹට නම් ගීතයේ ගැඹුර පිරික්සද්දීය.

මම ඔයා වෙනුවෙන් මෙච්චර කැපකිරීම් කළා... ඔයාගේ සතුට වෙනුවෙන් මොනවද මම නොකළේ... ඔයා අන්තිමට මාව අත්හැරලා දැම්මා.... ඔයාට කවදාවත් හොඳක් වෙන්නේ නෑ... සංසාරෙවත් ඔයාට හොඳක් වෙන්නත් එපා... කොතෙක් ආදරය කළත් කැපකිරීම් පරිත්‍යාගයන් දිරිදීම් කළත් ඒ ප්‍රේමයේ අයිතිය සන්තකයෙන් ගිලිහුණු දා ඔබට ද්වේශයෙන් එසේ දොස් පවරන මානසිකත්වයට දිනෙක පැමිණිය හැකිනම් ඔබ ඒ තාක් ප්‍රේමය වෙනුවෙන් දන්දුන් සියලු ශුද්ධවන්ත වටිනාකම් ඔබ විසින්ම හෑල්ලුවට ලක්කරතැයි මට සිතේ. ප්‍රේමය යනු අයිතියෙන් ගිලිහුණු දා ද්වේශයෙන් වෛරයෙන් සාප කිරීම නොවේ. බලහත්කාරයෙන් හෝ තමන් කෙරේම තබා ගැනීමට යත්න දැරීමද නොවේ. අත්හැර දැමූ හේතුව සාධාරණ වේවා අසාධාරණ වේවා එය ඔබට යහපතක් සතුටක් වෙනු පිණිස ගත් තීරණයක්නම් කිසි දිනෙක ඔබට දොසක් නොකියාම මම එය දරා ගමි. කවියකට ගීයකට නිර්මාණයකට ප්‍රස්තුතයක් කරගනු මිසක ඒ ප්‍රේමයේ අහිමිවීම් ඔබ විඩාපත් කරනු පිණිස මම කිසිදිනෙක ආයුධයක් කර නොගනිමි. ඔබට කිරි කළයට ගොම බිඳක් එක් නොකර එසේ සිතන්නට හැකිනම් ප්‍රේමය හිමි වූ දාටත් වඩා ඔබ එයට මහරුත් සපයන්නේ අහිමිවූ දා නොවේද?

මලක් නැති ගසක් වී
හුදෙකලා වූ නුඹට
එකම එක මලක් වී
සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල්
අතුපුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට....

එදා නුඹේ ජීවිතය මල් පල නොදැරූ ගහක්. ඒ ගහ ඉපල් වී යන්නට නොදී ගහට එකම එක මලක් වී සුවඳක් බලාපොරොත්තුවක් ජීවයක් සුන්දරත්වයක් ගෙනාවේ මම. ඒ එකම එක මලට ඔබ එදා ආදරය කළ තරමක්...! ඒ ඉපල් ගස මහා ගසක් කරන්න මම ඒ ගසේ මුල් මත මගේ ජීවිත සාරය දිය කළා නේද එදා... ජීවිතේ ප්‍රභාවත් කාලයක් ඇවිත් අද ඒ සාරයත් සාරෙට උකහාගෙන.... දැන් ගහේ සාරසුභාවට අතු රිකිලි... මල් පොහොට්ටු... ඒ සහසක් මල් සුවඳ විඳිද්දී එදා ඒ ගසේ පිපුණු එකම එක මල නුඹේ මතකයෙන් දුරස් වී ගිහින්... එහෙත් දොසක් නොකියමි.... එකම එක දෙයක් පමණක් ඉල්ලමි... ජීවිතය කෙම්බිමක් වූ අද දවසේ එදා ඒ  මලේ පාට සුවඳ ගසේ සොබා සොඳුරු සිරියාවට තරම් නොවේ යැයි සිතෙන නිසාවෙන් ඒ මල දෙස නොබැලුවාට කම් නැත. ඒත් එදා ඔබේ ජීවිතය නම් හුදෙකලා ගසට පාටක් සුවඳක් වටිනාකමක් එක්කළ ඒ මල් පෙත්තක හෝ සුවඳ මතකයේ ඇත්නම් එකම එක අංශුමාත්‍රයක්වත් ඔබ හැර ගියත් ඔබ හැර නොගිය ඒ සිතේ ප්‍රේමණීය බවට ඔබ මනුස්සකමින්වත් හිනාවෙන්න....

දොසක් නොකියා විරහව දරාගත් උත්තරීතර ආදරය හඳුනන ගැහැනියකගේ ආත්ම විලාපයක් ඒ ගීතයෙන් මට දැනේ. ආර්ථිකයෙන්, සැප සම්පත්වලින්, ප්‍රසිද්ධියෙන්, ජනප්‍රියත්වයෙන්, අධ්‍යාපනයෙන් හා නොයෙක් වරප්‍රසාද වලින් දුරක් ආ පසු ඒ දුර තෙක් සෙවණැල්ලක්ව උන් ඇය ඔහුට අමතකව ඇත. ජීවිත ගස සුවඳ කළ පළමු ආදරණීය කුසුමට වඩා ජීවිත ගස වත්පොහොසත්කම් වලින් බර වූ පසු ඒ අතු මත ගැවසෙන්නට පැමිණි මල් වටිනේයැයි ඔහුට හැඟෙන්නට ඇත.

ඝන අඳුරු රැයක් විය
හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි
පුංචි තරුවක් විලස
සිනාසෙන පුරාහඳ
වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට...

එදා කාත් කවුරුවත් නැති නුඹේ ජීවිතය පුරා විසුල මහා අන්ධකාරය නුඹට මතකද? ඒ අන්ධකාරය තුළ ජීවිතය පතුලටම ගිලී නුඹ ආත්ම වේදනාවන්ගෙන් ඉකිගසද්දී මම නුඹේ ජීවිතේ කළුවරට පුංචි තරුවක් විලස පායා හිනැහී එළිය දුන්නෙමි. අද ඔබ එන පෙරමඟ විකසිත පුරසඳය. ඉඳින් මලානිකයැයි අද ඔබට හැඟෙන ඒ තරු එළිය අද නුඹට කුමකටද? සඳට ඉඩදී මම මට අහිමි අහසෙන් බැස යන්නෙමි. මා දුටු නොදුටු ලෙසින් සිටියත් ඒ රිදුණු සිතත් මම දරාගන්නෙමි. ඒත් ඒ අතීතය බිඳුවක් හෝ මතකනම් මා එක්කලා අමනාපව සිටියත් කම් නැත. අපේ අතීත ප්‍රේමයේ සුන්දර මතක අදටත් මතකනම් මගේ සිත මොහොතකට සුවපත් කරන්න. අර පුර සඳට නොපෙනෙන්න හෝ මේ අතීත තරුව එක්ක ඔබ මොහොතක් හිනාවෙන්න.

සිතින් දුක දරාගමි
එය කියන්නේ කෙලෙස
රුවන් මාලිගාවක
පහන් දල්වනු කුමට
ඉඳහිටක සොයද්දී
යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

ප්‍රේමය ප්‍රේමයම මිස අන්කවරක්ද? වරද නුඹ අත වුවත් නුඹට අවමන් නොකරමි කිසිදිනෙක. ලෝකයටම රහසින් මම මගේ දුක දරාගමි. අද ඔබේ ජීවිතය සියලු යස ඉසුරු පිරුණු රුවන් මාලිගාවකි. එදා නුඹේ ජීවිතය පැල්පතක් වූ කලෙක ඒ පුංචි පැල ඒකාලෝක කළ පහන මමය. ඒත් අද මහා මන්දිරයක දල්වන්නට පහනක් කුමකට. කොහේ හෝ කොණක හෝ දැල්වුණත් රහසේම ඒ පහන් සිලෙහි හුදෙකලා එළිය අද කවුරුන් විඳින්නද? කවුරු දකින්නද? ඝනැති ආලෝක ධාරාවන් අබිමුවේ ඒ දුප්පත් පහන් සිල කාටනම් කවරනම් අගයක් දෙන්නද? එහෙත් යටගියාවක මතක නුඹ නුඹේ හෘද සාක්ෂිය ඉදිරියේම වග වෙන එක මොහොතක හෝ ඔබේ මතකය අසලට පැමිණියහොත්...
එදා නුඹේ ජීවිතය සුවඳ කළ එකම එක මල

පුංචි තාරකාව
දුප්පත් පහන....

එකම එක නිමේෂයකට හෝ මතකය අද්දරට පැමිණියහොත්... මා දෙස අතීත ස්නේහයෙන් නොබැලුවාට කම් නැත. සියලු රිදවුම් අහිමිවීම් දරා ගන්නෙමි. එහෙත් ඒ මල දුන් සුවඳ, තාරකාව දුන් පුංචි එළිය.... පහන දුන් ආලෝක ඇබින්ද සිහිපත් වෙන මොහොතක මා සමඟ නොව ප්‍රේමයේ නොහිම් වටිනාකම් දැන හඳුනාගත් මගේ සිතේ අතීත ප්‍රේමයත් සමඟ ඔබ මොහොතක් හිනාවෙන්න.

 

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00