ඉර මාරෙටම රත්වෙන්න හරියටම තව එක පැයයි..
දැන් වෙලාව 11 පහුවුණා විතරයි...
කොළඹ මාර බීසී...
අපි හිටියේ Town hall එක ඉස්සරහ.. Fun tab එක ළඟ.
ආයුබෝවන්... ආයුබෝවන්... මම එයාව හඳුනාගනිමින් කිව්වා.
සරල චාම් පෙනුමක් තියෙන තරැණ පොරක් මගේ ඉස්සරහ.
සරල පෙනුමක් තිබුණට.. ඉතා ගැඹුරු අදහස් වගේම හොඳ වින්දනයක් තියෙන කොල්ලෙක්. ඕනම දෙයක් දිහා ප්‍රායෝගිකව, වෙනස් විදියකට දකින අමුතුම හද ගැස්මක් තියෙන ඔක්සිජන්වලින් නෙවෙයි කවියෙන්ම හුස්ම ගන්න එකෙක්.
කවිය උඩු යටිකුරු කරපු නූතන කවියෙක්... නවකතාවෙන් සම්මාන ගත්ත සුපිරි චරිතයක්.. ඔච්චර ආලවට්ටම් මොකටද..
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
අව්ව ටිකක් තද නිසා අපි fun tab එක ඇතුළට ගිහින් ප්ලේන්ටියක් බොන ගමන්ම කතාවට මුල පිරුවා..
පොත්පත් එක්ක හිරවෙලා, අකුරු එක්ක ඔට්ටුවෙන ඔහුට නිදහසේ හිතන්න ඇරලා... මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ? කියලා හෙමිහිට ඇහුවා..
සාමාන්‍ය විදියට කලාවත් එකක් ජීවිතේ ගෙවෙනවා.. සාහිත්‍ය මාසය එන නිසා... ටිකක් කාර්යබහුලයි.
සරල උත්තරයක්. ඒත් ඒ ඇති.... හරි අපි දැන් ඔන්න මාතෘකාවේ.
මහින්ද අපේ වැඩේ ටිකක් වෙනස්...
හරි.. මම මෙහෙම අහුවොත්, ඔයාව ප්‍රකම්පනය කළ, රසවින්දනයෙන් වෙනම ලෝකයකට අරන් ගිය කලා නිර්මාණයක් ගැන. හැබැයි කොන්දේසි දෙකකට යටත් වෙන්න ඕනේ. ඒක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ නිර්මාණයක් වෙන්නත් බෑ. ගීතයක් වෙන්නත් බෑ.. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම නිර්මාණයක් ගැන කතා කරමු.
එකඟද?
හොඳයි.. හොඳයි..
මාව දැඩිව කම්පනය කරපු, මට තදින් දැනුණු නිර්මාණ ගොඩක් තියෙනවා. කවිය, නවකතාව වගේම සිනමාවත් ඒ අතර උඩින්ම තියෙනවා. ඔයා ඔය ප්‍රශ්නය ඇහුවම එකපාරට මට මතක් වුණේ ලෝකයේ වඩාත් කතාබහට ලක්වුණු ප්‍රකට ඉරාන සිනමාවේදියෙක්ගේ සිනමා කෘතියක්. ඒ තමා මජීඩ් මජිඩිගේ children of Heaven කියන ඉතා සංවේදී සිනමා නිර්මාණය. පුංචි දරුවන් තේමා කරගෙන පුංචි දරුවන්ගේ ලෝකය ඉතා සියුම් විදිහට කැමරා කාචයට කොටු කරපු අපූරු සිනමා සිත්තමක්.
පුංචි දරුවන් වෙනුවෙන් කරපු සිනමා සිත්තම් ලෝකේ ඕනතරම් අපිට හමුවෙනවා.. මේ සිනමා පටය ළඟම හිත නැවතුණේ...?
මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසුව.. මස්ඉඹුල.. මෙහෙම කිව්වා..
මේ සිනමාපටයට මූලික වෙන්නේ සපත්තු දෙකක් පිළිබඳ ප්‍රශ්නයක්. ඉරානයේ සාමාන්‍ය ජන ජීවිතය ඇතුළේ ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන පුංචි පවුලක ඉන්න අලී කියන පුංචි පිරිමි දරැවෙකුයි සහාරා කියන ඔහුගේ නංගියි මේ සිනමා පටයෙන් ප්‍රධාන වශයෙන් කතාබහට ලක්වෙන්නේ.. මේ පුංචි අයියටයි නංගිටයි තියෙන්නේ එක සපත්තු කුට්ටමයි.. උදේ වරුවේ අයියා සපත්තු දෙක දාගෙන ඉස්කෝලේ යනවා, හවසට නංගි ඉස්කෝලෙ යන්න අයියා එනකම් බලාගෙන ඉන්නවා.. ඔහු නැවත ගෙදර ආවාම තමා නංගිට ඉස්කෝලෙ යන්න පුළුවන් වෙන්නේ.. ඔවුන්ගේ එකම හීනය වෙන්නේ.. හොඳ සපත්තු ජෝඩුවක් ගන්න එක තමා... අන්න ඒ වගේ ඉතා සියුම් කාරණා මජීඩ් මජිඩි ඉතා සංවේදීව කැමරා කාචයට හසුකරගෙන තියෙනවා. සමානාත්මතාව, මිනිසුන්ගේ සිතුම් පැතුම්, ජීවත් වෙන්න දරන උත්සාහය සුවිශේෂිව සිනමාපටයේ අන්තර්ගතයි.. මජීඩ් මජිඩිගේ අනිකුත් නිර්මාණ ගත්තත් ඒ ලක්ෂණය කැපී පෙනෙනවා..
මේ වගේ අතිශය සියුම් කරණා සහ මජීඩ් මජිඩිගේ සිනමාකරණය තමා මාව මේ නිර්මාණය තුළ ඇද බැඳ තබාගත්තේ...
ඔහු ගොඩක් උනන්දුවකින් තමා ඒ කාරණා අපිට කිව්වේ..
ඔබටත් මේ වගේ ජීවන අත්දැකීමක් ඇති කියලා මට හිතෙනවා..
ඒ ප්‍රශ්නය එක එල්ලේම ඔහුව අතීතයට තල්ලු කළා.
ඔව් එහෙම තියෙනවා..
ඔහු උත්තරය කෙළින් දුන්නා..
මේ කතාවේ කියවෙන්නේ සාමාන්‍ය පවුල පුංචි ළමයින්ගේ ළමා ලෝකය සහ අධ්‍යාපනයට මුදල් හදල්වලින් එල්ල කරන බාධක. මට හිතෙන්නේ ඒක බෝහෝ දුරට අපිට සමානයි. සංස්කෘතින් දෙකක් වුණාට ළමා ලෝකය කියන එක ලෝකෙ කොහෙත් එකයි. තවත් සරල කරලා කීවොත් මොන ජාතියකට, සංස්කෘතියකට, රටකට, ආගමකට අයිති වුණත් පුංචි පැටවුන් මේ ලෝකයෙන් ඉල්ලන ආදරය, අයිතිය, රැකවරණය එකයි. ළමයින්ට තියෙන කුතුහලය, පුංචි බලාපොරොත්තු මේවා ඔක්කොම පොදු ලක්ෂණ. ඒකාලෙ අපිටත් ඒවා ඒ විදිහට තිබුණා.. මගේ සමාකාලීන වයස සසඳන විට.. මට හම්බවෙච්ච අත්දැකීමත් ඊට ගොඩක් සමානයි. පුංචි කාලේ අගහිඟකම් අපේ ජීවිතවලත් ඕන තරම් තිබුණා.. අපිත් ඒ චිත්‍රපටයේ පුංචි දරුවෝ වගේම ජීවත්වීම වෙනුවෙන් අරගල කරපු, සටන් කරපු අවස්ථා තිබුණා.. ඒවා නිශ්චල දේවල් වුණාට.. ඒ වයසට අනුව ජීවිත අභියෝගවලට අපි මුහුණ දුන්නා..
චිත්‍රපටයේ හදවතට වැදුණ චරිතයක් එහෙම ඇති නේද?
ඔව්. මම කැමති චරිතය අලී කියන පිරිමි දරුවගේ චරිතයට. හරිම නිර්භීත, ධෛර්යවන්ත දරුවෙක්. ඒ ධෛර්යවන්තකම සහ ඒ දරුවාගේ රඟපෑම මාව වශී කළා...
එක වෙලාවකට මට සැක හිතුණා මේ දරුවා රඟපෑමක් නෙමේද කරන්නෙ කියලා... ඔහු ඇත්තටම ඒ චරිතය ඇතුළේ ජීවත් වුණා. ඒ චරිතයේ හද ගැස්මයි දරුවන්ගේ හද ගැස්මයි දෙකක් නෙවෙයි එකක් කියලා හිතෙන තරමටම ඒ චරිතයට ඔහු ආත්මගත වී හිටියා. ඒ තරමට සියුම්ව ඔහුගේ හැඟීම් නිරූපණය කළා..
ඔබව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති. ඒ අතරින් වැඩියෙන්ම ඒ හැඟීම දැනුණු අවස්ථාව මොකද්ද කියලා මම ඇහුවොත්?
ඔව් වඩාත්ම මාව සංවේදී කරපු අවස්ථාව තමා මේ අලී කියන පුංචි දරුවා පාසලේ දුවන තරගයකට ඉදිරිපත්වෙන්න උත්සාහ කරන මොහොත. ඒ තරගයේදී දෙවැනි ස්ථානයට සපත්තු දෙකක් තමා ලැබෙන්නේ තියෙන්නේ.. ඔහුට හොඳට දුවන්න පුළුවන් මොකද හැමදාම ඉස්කෝලෙ ඇරිලා නංගිට සපත්තු දෙක දෙන්න දුවගෙන තමා ගෙදර එන්නේ. නැත්නම් නංගිට ඉස්කෝලෙ යන්න පරක්කු වෙන නිසා. මේ දරුවා හැමවෙලේම දුවන චරිතයක්. ඒ කටුක අත්දැකීමම ඔහුගේ ජයග්‍රහණය බවට පත්වෙනවා. මෙම තරගය ජයග්‍රහණය කරන්න සැරසෙන අවස්ථාවේ ඒ දරැවාගේ හැඟීම් සහ ඔහු හැසිරෙන ආකාරය දැඩිව මා කම්පනය කළා.
ඒ අවස්ථාව සතුටු දායක සිද්ධියක් වුණාට සිනමාවේදියා එය නිර්මාණ කරලා තිබුණේ සෑම ප්‍රේක්ෂකයෙක්ගේම ඇසඟට කඳුළක් එකතුවෙන විදියට...
කීවතාවක් බැලුවද මේ Film එක?
වුවමනාවෙන්ම තුන්පාරක් විතර බැලුවා... මෙච්චර ලස්සන සංවේදී නිර්මාණයක් ඔබගේ ඇස ගැටුණේ අහම්බෙන් වෙන්න බෑ නේද?
ඔව්.. මට මේක බලන්න කියලා කිව්වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන තිඹිරියාගම බණ්ඩාර. මීට අවුරුදු දෙක තුනකට කළින් ඉස්කෝලවල සාහිත්‍ය උත්සවවලට ස්වෙච්ඡාවෙන්ම මම සහභාගි වුණා. ඒ වැඩසටහන්වල ළමයින්ට මේ චිත්‍රපටය පෙන්නන්නත් මම වැඩකටයුතු යෙදුවා..
අපේ රටෙත් අලීලා, සහාරලා ඕනෑතරම් ඇති. එයාලගේ ජීවිත හදාගන්න දෙයක් කියමුද?
ඇත්තට ජීවිතය කියන එක මහපොළොවේ පැල කරලා එහි තිබෙන උණුසුම විඳගන්න පුංචි කාලේ සිටම පුරැදුවෙන්න ඕනෙ.. ජය පරාජය කියන එක විඳ දරාගන්න එතකොට ලේසියෙන්ම පුළුවන් වෙනවා... පොළොවෙන් උඩ ජීවත් නොවී.. මහ පොළොවේ පයගහලා ජීවත්වෙන්න.. මෙවැනි නිර්මාණ තුළින් ඒකට ලොකු පිටිවලක් ලැබෙනවා.. ලෝකේ සිටින සෑම කෙනෙක්ම නැරඹිය යුතුම නිර්මාණයක් තමා මේක.
ඔහු කතාවට නැවතුම තිබ්බා...
මගේ හිතත් ටිකක් සැලුණා.. ආශ්චර්යමත් ලෝකයේ දියවෙලා යන සංවේදී හැඟීම්, මනුස්සකම් කොච්චර තියෙනවද කියලා හිතමින් මම ආපහු එන්න පියවර එසෙව්වා.
සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය... එන ගමන් හිත එහෙම කියනවත් ඇහුණා..
► Danushka