2018 ජුනි 30 වන සෙනසුරාදා

එයා ටිපිටිප් පෙරේතයෙක්

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

අනුරාධා... මුලින්ම කියමුකො.. කොහොමද ඔයාට මුලින්ම පැතුම්ව මුණගැහුණේ..?
පැතුම් අයියා මට මුලින්ම මුණගැහෙන්නෙ එක්තරා රෑපවාහිනී වැඩසටහනකදී. එදා ඒ වැඩසටහනේ හතර දෙනෙක් පැති දෙකක ඉඳගෙන තමයි එක එක තරග කරන්න තිබුණේ. මමයි පැතුම් අයියයි තමයි එක පැත්තක හිටියේ. ඉතින්... ඒ තමයි අපි දෙන්නා මුලින්ම හම්බවෙලා කතාබහ කරපු දවස. එදා පැතුම් අයියා මාත් එක්ක හොඳට කතා කළා. සමහර තරග මට කරන්න බැහැ කියලා මම කියද්දී නෑ... නංගී ඔයාට පුළුවන් අපි මේක කොහොමහරි කරමු... බයවෙන්න එපා කියලා පැතුම් අයියා මට කිව්වා. ඉතින්... එහෙම තමයි අපේ යාළුකම පටන් ගැනීම සිද්ධවුණේ.

පැතුම් මොන වගේ යාළුවෙක්ද...?
ඇත්තටම පැතුම් අයියා යාළුවෙකුටත් වඩා මට හොඳ සහෝදරයෙක් වගෙයි. එදා හම්බවුණු මුල්ම දවසෙදී වුණත් පැතුම් අයියා හමුවුණු මුල්ම දවස කියලා නැතිව හොඳට මාත් එක්ක කතාබහ කළා. විහිළු කළා. දැනටත් අපි දෙන්නා තවත් තරගයකට සම්බන්ධවෙලා ඉන්නවා. ඇත්තටම මට වඩා වැඩිමල් වගේම මට කලින් මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක් හැටියට පැතුම් අයියා හැමවෙලේම මට ලොකු සපෝට් එකක් ලබා දෙනවා. එයා හැමවෙලේම නංගි කෙනෙක් බලාගන්න අයියා කෙනෙක් වගේ මාව බලාගන්නවා. එයා හැමවෙලේම ධනාත්මකව හිතන කෙනෙක්. අදටත් සමහර නැටුම් බැහැ කියලා මම කියද්දී නැහැ ඔයාට පුළුවන් කියලා තමයි එයා හැමවෙලේම කියන්නෙ. 

දෙන්නා රණ්ඩු එහෙම වෙන්නෙ නැද්ද...?
මොකද නැත්තෙ... සමහර වෙලාවලදී අපි දෙන්නා රණ්ඩුත් වෙනවා. තරහ වෙනවා. හැබැයි අපේ යාළුකම නිසා ඒ තරහ වැඩිවෙලාවක් තියාගන්නනම් බැහැ. එක්කො මම හරි, එහෙම නැත්නම් පැතුම් අයියා හරි ළඟට ඇවිත් කතා කරනවා. එහෙම නැත්නම් මැසේජ් එකක් හරි දාලා අපි ආයෙත් කතා කරන්න පාර හදාගන්නවා. එහෙම නැතිව දවස් ගණන් තරහවෙලා ඉන්නනම් බැහැ. මම හිතන විදිහට හොඳ යාළුවෝ අතරේ තියෙන ඒ තරහවීම් එක අතකින් හරි සුන්දරයි.

පැතුම්ට කේන්ති යනවද...?
මාත් එක්කනම් එහෙම ලොකුවට කේන්ති ගන්නෙ නෑ. හැබැයි ඉතින් සමහර වෙලාවට දෙයක් කියද්දී සැර කරලා කියන වෙලාවලුත් තියෙනවා. අයියලාට ඉතින් නංගිලා නිසා කේන්ති යන නිසා මට ඒක එච්චර ගාණකුත් නෑ. පැතුම් අයියට කේන්ති ගිය වෙලාවට මම සද්ද නැතිව මගේ පාඩුවේ ඉන්නවා. ටික වෙලාවකින් කේන්තිය ඉවරයි. 

දෙන්නා ළඟපාතක ඉන්න නිසා හමුවෙන්නත් ලේසියි නේද...?
ඔව්... ඔව්.. අපි දෙන්නම ඉන්නෙ අතුරුගිරියෙ. ටිකක් ළඟයි. ඔය නර්තන තරගයට වුණත් මම යන්නෙ පැතුම් අයියා එක්කයි. හැබැයි ඉතින් වාහනයට නැග්ග වෙලාවේ ඉඳන් පැතුම් අයියගේ වැඩේම සින්දු දාගෙන ඒවා කියන එකයි. ගෙදරදීත් එයාගෙ වැඩේම සින්දු අහන එකයි. පැතුම් අයියා විනෝදයට හරි කැමති කෙනෙක්. හැමවෙලේම හිනාවෙලා ජොලියේ ඉන්න තමයි එයාට ඕනෙ. සමහරදාට අපි යාළුවෝ කට්ටිය එකතුවුණු වෙලාවල එයා සින්දු කියනවා. හිනාවෙනවා. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විඳින කෙනෙක් විදියට තමයි මම පැතුම් අයියව දකින්නෙ.

අනුරාධා හිතන විදිහට පැතුම් වැඩිපුරම දක්ෂ මොන දෙයටද..?
නර්තනයට හරි කැමතියි. හරි ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. ඉතින් අයියගේ ගායනයට සහ නර්තනයට මම හරි කැමතියි. මම හිතන විදිහට එයා ඒ දෙකටම එක වගේ දක්ෂයි. ඒ වගේම එයාට රංගනයට හොඳ හැකියාවක් තියෙනවා. ඒ හැමදේටම වඩා පැතුම් අයියගේ තියෙන හොඳ මනුස්සකමට මම ගොඩක් කැමතියි. ඇත්තටම සමහරු දකිනවාට වඩා හොඳ මනුස්සකමක් පැතුම් අයියට තියෙනවා. ඒ වගේම අනිත් අයට උදව් කරන්න හරි දක්ෂයි. එයා හරිම සංවේදී කෙනෙක්.

පැතුම් හරි අපූරුවට අඳින පළඳින කෙනෙක් නේද...?
ඔව්.. එයා විලාසිතාවලට ඇබ්බැහිවෙලා වගෙයි. ඇත්තටම පැතුම් අයියා විලාසිතා පිස්සෙක්. හරි ලස්සනට, පිළිවෙළට අඳින්න පළඳින්න එයා හරි ආසයි. සමහර වෙලාවට එයා මටත් බණිනවා. නංගී... ගැලපෙන විදිහට ඇඳුම් අඳින්නකො... මොකක්ද ඔය අඳින පිළිවෙළ කියලා ඇඳුම් විලාසිතා ගැන මට කියලත් දෙනවා. ඇත්තටම පැතුම් අයියගේ හිත වගේම එයා ලස්සනට අඳින්නත් හරි ආසයි.

පැතුම් මොනවටද වැඩිපුරම කැමති...?
අම්මෝ... වෙන කිසිම දේකට පැතුම් අයියගේ වැඩි කැමැත්තක් නෑ. හැබැයි එයා ටිපිටිප් කන්නනම් මාර පෙරේතයි. එයාට ටිපිටිප් තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. කොහේ ගියත් නංගි ටිපිටිප් කමුද... කියලා ඒවාම ගන්නවා. වාහනය ඇතුළේ ටිපිටිප් එකක්නම් වරදින්නෙ නෑ. එයා ටිපිටිප් පෙරේතයෙක්.

පැතුම් වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මොකද හිතෙන්නෙ...?
ගොඩක් හොඳයි. රණ්ඩු වෙන්න, යාළුවෙන්න, මේ හැමදේටම ඉන්නෙ පැතුම් අයියා තමයි. ගෙදර අය එක්ක රණ්ඩු කරද්දීත් ඒ අය අපිව කවදාවත් අයින් කරන්නෙ නැහැනෙ. ඒ වගේ තමයි හොඳ යාළුවෝ. කොච්චර රණ්ඩු වුණත්, තරහ වුණත් ජීවිතෙන් අයින් කරන්න බැහැ. 

අනුරාධා එක්ක කතාබහ කරපු අපි ඊළඟට පැතුම් එක්කත් අනුරාධා ගැන කතා කළා. බලන්න අනුරාධා ගැන පැතුම් මොනවද කිව්වේ කියලා...
පැතුම්... අනුරාධාව රූපවාහිනී වැඩසටහනකදීනෙ ඔයාට මුලින්ම මුණගැහුණෙ... එහෙම නේද..?

ඔව්... එක්තරා රූපවාහිනී වැඩසටහනකදී නම් තමයි. හැබැයි ඊට කලින් මම අනුරාධා ගැන අහලයි තිබු‍ණේ. අනුරාධා ගැන හොඳ තමයි මම වැඩිපුරම අහලා තිබුණේ. ඉතින් එහෙම ඉඳිද්දී අපි අර වැඩසටහනට සහභාගි වුණා. අපි කතාබහ කළා. ඊටපස්සෙ අපි අපේ ක්ෂේත්‍රයේ කිහිපදෙනෙකුගේ පාටිවලදී, වෙඩින්වලදී මුණගැහුණා. අපි දෙන්නා ඒවායෙදීත් ඩාන්ස් කළා. කතාබහ කළා. ඔය අතරේදී තමයි එක්තරා රියැලිටි වැඩසටහනකට අපි දෙන්නට එකට සහභාගිවෙන්න අවස්ථාව ලැබුණේ. එතැනින් පස්සෙ අනුරාධා මගේ හොඳ යාළුවෙක් වුණා.

අනුරාධා මොන වගේ යාළුවෙක්ද...?
අනුරාධා කියන්නෙ හරිම අවංක කෙනෙක්. සමහර යාළුවන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ වාසියටනෙ. හැබැයි අනුරාධා කියන්නෙ එහෙම කෙනෙක් නෙමෙයි. එයා අවස්ථාවාදී යාළුවෙක් නෙමෙයි. එයා හරිම සංවේදී අනිත් අයට අනුකම්පා කරන යාළුවෙක්. මම හිතන පතන විදිහට බොහොම සමීපයි. ඒකයි අපි හොඳම යාළුවෝ වෙන්නට ගොඩක් හේතුවුණේ. සමහර අය එක්ක මොන වැඩසටහන, මොන තරගය කෙරැවත් ඒක ඉවරවුණාට පස්සෙ ඒ සම්බන්ධය ඉවරයිනෙ. ඒ අයට හොඳ යාළුවෙක් වෙන්න හරි අමාරුයිනෙ. හැබැයි අනුරාධා එහෙම නෑ. එයා අවස්ථාවාදී නෑ. කියන දේ කෙළින් කියන කෙනෙක්. එයාගෙ දේවල් වුණත් මාත් එක්ක කතාබහ කරන හරි හොඳ යාළුවෙක්. මට කතා කරන්නෙම අයියා කියලා. ඇත්තටම එයා මට හොඳ සහෝදරියක්. ඒ වගේම එයාගෙ අම්මා ඇතුළු එයාගේ මුළු පවුලේම අය හරි හොඳයි. මට හරි ආදරෙයි.

පැතුම් කන්න කැමති ටිපිටිප්නෙ. අනුරාධා කන්න කැමති මොනවද...?
ආ.. අනුරාධාත් ටිපිටිප්වලට හරි ආසයි. ඒ වගේම එයා එක්තරා කිරි පානයකටත් හරි කැමතියි. කොහේ ගියත් ඒ කිරි පැකට් එකක් දුන්නොත් ඉතින් ඕන වැඩක් කරගන්න පුළුවන්.

අනුරාධාට කේන්ති යනවද...?
අනුරාධාට කේන්ති යනවා හරිම අඩුයි. මගෙන් අනුරාධා මාරවිදිහට බැණුම් අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මට තරහ යනවා. හැබැයි ඒ තරහ මම ටක්ගාලා අඩුකරගන්න උත්සාහ කරනවා. මම අනුරාධාට බැණලා සද්දෙ දාලා කෑගහද්දී ඒ වෙලාවට අනුරාධා කිසිම වචනයක් කියන්නෙ නැතිව සද්ද නැතිව ඉන්නවා. හැබැයි හිත ඇතුළේ එයා ලොකු අප්සෙට් එකක ඉන්නෙ කියලත් මට තේරිලා තියෙනවා. හැබැයි කවදාවත් අනුරාධා මට කෑගහලා බැණලා නෑ.

අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද...?
මෙහෙමනෙ... අනුරාධා හොඳ ළමයෙක් තමයි. හැබැයි එයා හරියට ටියුබ් ලයිට් එකක් වගෙයි. වෙලාවක පොඩි අප්සෙට් එකකුත් තියෙනවා. (මේක පැතුම් කිව්වේ විහිළුවට. යාළුවෝ ඉතින් එහෙමනෙ) මොන වැඩේ කළත් සමහර වෙලාවට හෙණ ගොන් වැඩක් කරනවාම තමයි. සමහර වෙලාවට අපි හොඳ වැදගත් මාතෘකාවක් ගැන කතා කර කර ඉඳිද්දී අනුරාධා කොහේටවත් ගැලපෙන්නෙ නැති ගොන් කතාවක් කියලා ඒ මාතෘකාව අවුල් කරන වෙලාවල් තියෙනවා. ඉතින් බැණුම් තමයි. සමහර වෙලාවට අනුරාධා කියන කරන දේවල් නිසා අපි හිනාවෙන්නෙ බඩ අල්ලගෙනයි.

අනුරාධාගේ විලාසිතා ගැන පැතුම් මොකද හිතන්නෙ...?
අපේ ෆීල්ඩ් එකේ ඉන්න පොඩි ළමයෙක්නෙ අනුරාධා කියන්නෙ. එයාට පොඩි පෙනුමක්නෙ තියෙන්නෙ. ඉතින්... එයාගෙ පෙනුමට ගැලපෙන විදිහට එයා ලස්සනට අඳිනවා. හැබැයි එයාට තියෙන කොණ්ඩෙට මම හැමවෙලේම ඕක ලස්සනට කපන්නකො නංගි කියලා කිව්වා. ළඟදී එයා ලස්සන හෙයාර් කට් එකක් එහෙම දාලා ඇවිත් තිබුණා. කෙල්ල ලස්සනට අඳිනවා.

අනුරාධා ළඟ තියෙන ගතිගුණවලින් පැතුම් අකමැතිම ගතිගුණය මොකක්ද..?
එහෙම වෙනස් කරන්න කියලා ගතිගුණයක්නම් නෑ. අර ටියුබ් ලයිට් එකටත් මම ආසයි. ඒක වෙනස් කරන්නත් හොඳ නෑ. ඇත්තටම අනුරාධා හරි හොඳයි. එයාගේ වැඩ හරි පිළිවෙළයි. එයා දෙයක් කරද්දී ඒකට ගොඩක් කැපවෙනවා. එයා මහන්සි වෙනවා. එයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා. වැඩවලදී වුණත් එයා හරි අවංකයි.

අනුරාධා වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන පැතුම් මොකද හිතන්නෙ...?
ඇත්තටම සතුටුයි. මගේ දේවල් ගැන කතාබහ කරන්න මට හොඳ ගෑනු යාළුවෙක් හිටියෙ නෑ. මට එහෙම ගෑනු යාළුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි ඒ යාළුවන් අතරේ අනුරාධා ටිකක් විශේෂයි. පිරිමි යාළුවෙක්ට හොඳ ගෑනු යාළුවෙක් ඉන්න එකත් හරි ෂෝක්. ඇත්තටම අනුරාධා මගේම නංගි කෙනෙක් වගෙයි. සමහරු අනුරාධායි මායි යාළුද කියලත් අහන වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම සම්බන්ධයක් අපි අතරේ නෑ. අපි දෙන්නා හොඳම හොඳ යාළුවෝ දෙන්නෙක්. ඒ බැඳීම හරි විශේෂයි.

► Text - Dishani / Pic- Internet

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00