2017 ජනවාරි 28 වන සෙනසුරාදා

අාශාවරී නිසා අැවිස්සිලා ඉන්නෙ

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්. පසුගිය දවස්වල  සිල්බිඳ ගත්තෙමි  ගීතයෙන් බොහෝ අය බොහෝ කතා කිව්වනෙ. ඔන්න ආයෙමත් ඉරාජ් තවත් වෙඩිල්ලක් සිංගීත ලෝකයේ පත්තු කළා. ඒ ආශාවරී. ඉතින්... ආශාවරී ගැනත් ඉරාජ් ගැනත්... අපි ඉරාජ්ගෙන්ම අහලා බලමු.

01. ඉරාජ් කොහේද මේ කඩිමුඩියේ යන්න හදන්නේ?
අලුත් මියුසික් වීඩීයෝ එකක් කරන්න අමෙරිකාවට යනවා. මේ දවස්වල වැඩ වැඩිවෙලා තියෙන්නේ. අමෙරිකන් ජනප්‍රිය ගීත දහය අතර ඉන්න අමෙරිකානුවෙක් වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් මේ දවස්වල මම එහාට මෙහාට දුවනවා.

02. අමෙරිකාවට සින්දු හදන්නේ දැන් ලංකාවේ අයට සින්දු හදලා ඇති වෙලාද?
අපෝ නෑ... එහෙම එකක් නෑ. මම කොහොමටත් ජාත්‍යන්තර තලයේ ආටිස්ලා එක්ක සින්දු කරනවා. කාලයක් තිස්සේ අපේ රටේ ගොඩක් දෙනා සින්දු හදන්නේ රිගින් ටෝන් වලටනේ... වැඩිපුරම හදන්නෙත් විරහ ගීත. 

03. හැබැයි ඉතින් ඉරාජ් විෂුවල් එකක් හැදුවොත් වැඩිපුර කතා වෙනවා. මොකද මේ?
ඒකනේ... ඒකනේ... ඒකට මූලික හේතුව තමයි විවෘතව ඒ දේවල් ගැන කතා කරන එක.

04. සිල් බිඳ ගත්තෙමි එකෙන් පස්සේ ආශාවරී ආවා. ඒකත් අද කතාබහට ලක්වෙනවා.
ඔව්... සමහරු කියනවා මම සංස්කෘතිය කනවා කියලා. අපේ රට හොඳ බෞද්ධ රටක්. මම ඒක හිස්මුදුනෙන් පිළිගන්න කෙනෙක්. ඒත් මේ බෞද්ධකම ඉස්සරහට දාගෙන මේ රට විනාශ කරන කී දෙනෙක් නම් දෙනා මේ රටේ ඉන්නවද... ඒත්... ඒ අය හරි බෞද්ධ මිනිස්සු. රටට වැඩදායි මිනිස්සු. රටේ පිළිගත්තු මිනිස්සු කියලා තමයි නම යන්නේ. ඔබ කියන්නේ ඒත් ඒ අය කරන්නෙම මහ ජරා වැඩ. ඒත් අපි මේ රටේ සිදුවන දෙයක්. සාමාන්‍ය ජීවිතේ සිදුවන දෙයක් සින්දුවකින් හරි විෂුවල් එකකින් හරි කළොත් කියන්නේ අපි අපරාධකාරයෝ සංස්කෘතිය කන දේශදෝශියෝ කියලයි. 

05. මියුසික් වීඩීයෝ එක අද බොහෝ දෙනා නරඹලා තියෙනවා. හිතන විදිහට ඒකට හේතුව මේකේ ජනප්‍රියත්වයද? සාර්ථකත්වයද? නැත්නම් මිනිසුන්ගේ කුතුහලයද?
ඇත්ත... අද වෙනකොට ආශාවරි වීඩීයෝව යූටියුබ් හරහා ලක්ෂ පහළොව ඉක්මවලා බලලා තියෙනවා. ඒකට හේතුව අර කිව්ව කාරණා තුනම වෙන්නත් අති. ඒ මොනවා වුණත් පහළ මානසිකත්වයකින් මේ ගීතය බලන්න එපා. මේක අමෙරිකාවේ එංගලන්තයෙ සිදුවන දෙයක් නෙවේ. බහුතරයක් බොරැවට මේක බෞද්ධ රටක් කියලා හිතන අපේ රටේ වෙන ඇත්ත සිදුවීමක්. ඒක අපි රූප රාමුවට ගෙනාවා විතරයි. 

06. බොහෝ දෙනා කියන්නේ ඉරාජ්ලා සීමා මායිම් බිඳිනවා කියලා... මේකට මොකද කියන්නේ?
බොහෝ දුෂ්කර ගමක ජීවත්වන අම්මා කෙනෙක් මේක බැලුවොත් අපිට ඇතිතරම් බණියි මුන් මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා. ඒත් අද කොළඹ සමාජයේ තත්ත්වය ඕකනේ. අද බොහෝ තරුණ අය මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලා. මත්පැනට වහල් වෙලා. මේක රාත්‍රි සමාජ ශාලාවල සිදුවන සාමාන්‍ය සිදුවීමක්. හැබැයි බරපතළ සිදුවීමක්. අපි විෂුවල් එකකින් හැදුවම ඒක සීමා මායිම් බිඳ දැමීමක් වෙනවා.

07. ආශාවරි වීඩියෝ එක නිර්මාණ අදහස ඉරාජ්ගෙද?
මේක මුලින්ම මියුසික් කළේ පසන් ලියනගේ. ඊළඟට ඒක කැළුම් ශ්‍රීමාල් තනුව නිර්මාණය කළා. එහෙම හදලා ටික කාලයක් ගතවුණා. ආයෙත් මම මේකේ මියුසික් එක ටිකක් වෙනස් විදිහට හැදුවා. ඊළඟට මේක ගායනා කරන්නේ කල්ප. කැමරාකරණය ප්‍රියංග රණසිංහ. මේක මගේ අදහසක් තමයි.

08. කෝ... අර ඒ දවස්වල හිටපු ගායකයා?
තාමත් ඒ ගායකයා ඉන්නවා එහෙමයි කියලා මම ලොකුවට සින්දු ගොඩක් කියන්නේ නැහැනේ. පේෂල එක්ක එකතුවෙලා කොන්සට් කරනවා. මම දැන් වැඩිපුරම ආසයි ලංකාවෙන් එළියේ ඉඳන් ජාත්‍යන්තර තලයේ ආටිස්ලා එක්ක වැඩ කරන්න. ඉතින්.. ඒ දේවලුත් එක්ක සුපුරුදු ගායකයාත් ඉන්නවා.

09. සංගීතයට අමතරව ඉරාජ් ව්‍යාපාරයටත් අතගහලනේ... මොනවද කරන්නේ?
මම ගොඩක් වෙලාවට කරන්නේ රටට විදේශ විනිමය එන තාක්ෂණික උපකරණ මෙරටට ගෙන්වීමයි. බංගලාදේශය, ඉන්දුනීසියාව වගේ රටවල් එක්ක මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. 

10. සිල්බිඳගත්තා, ආශාවරි දැක්කා... ඊළඟට මොකද කරන්නේ?
බලමු.. නිර්මාණ කීපයක්ම කරන්න වැඩ සැලසුම් කරගෙන ඉන්නවා. ආයෙත් තවත් අලුත් නිර්මාණයක් කරමු නේද? කතාකරන්නත් දෙයක් ඕනනේ. නරක වැඩ කරන මිනිසුන්ව හොඳ බෞද්ධයෝ කරද්දී රටේ පවතින දෙයක් ගැන කතා කරලා ද්‍රෝහියෙක් වුණාට කමක් නැහැනේ.

Text — Dishani Jayamali Karunarathna - Pic    - FB

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00