2018 ජුලි 07 වන සෙනසුරාදා

චිත්‍රපටය අවුල්: මැනේජර්ගෙ බෙල්ල මිරිකලා

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 93

දැන් දැන් පෙන්වන සමහර සිංහල චිත්‍රපට ගැන කතා කරනවට වඩා නිශ්ශබ්දව ඉන්න එක හොඳයි කියලා තමයි ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ කියන්නෙ. ඒත් ඒ චිත්‍රපට පෙන්වන චිත්‍රපටශාලා හිමිකරුවො, කළමනාකරුවො, සේවකයො මොනවා කරන්නද?

කොළඹින් ඈත පළාතක සිංහල චිත්‍රපටයක් පෙන්නපු හෝල් එකක අපූරු සිද්ධියක් වෙලා තියෙනවා. චිත්‍රපටය බලලා යන ගමන් මැනේජර්ගෙ බෙල්ල මිරිකලා කියලා තියෙනවා, මීටපස්සෙ මේ වගේ නිදිමත පික්චර් මේකෙ පෙන්නලා අහුවුණොත් දනී කරන දේ, කියලා.

ඒ වගේම තමයි තවත් ශාලාවක චිත්‍රපටයක් බලන්න 50 ක් විතර ප්‍රේක්ෂකයො ඇවිල්ලා. ඉන්ටවල් එකේදී අර කැන්ටිමේ වැඩ කරන සේවකයා අයිස් චොක්, මුරුක්කු, පොරි පැකට් එහෙම අරගෙන ශාලාව ඇතුළට ගිහින්. අම්මේ, මිනිහට ඇස් අදහගන්න බැරිවෙලා. හතරදෙනයිලු හිටියෙ. අනිත් කට්ටිය ඉන්ටවල් එකට කලින්ම නැඟිටලා ගිහින්ලු.

 

අබා තාම පෙන්නනවද?

එක්තරා ටෙලිනාට්‍ය කණ්ඩායමක් අනුරාධපුර පැත්තට ළඟදි ගියාලු ඒ පැත්තෙ වැඩසටහනකට. අනුරාධපුරට කිලෝමීටර් ගාණක් තියෙද්දී වාහනේ හිටපු කෙනෙක් ඇහුවලු, අබා තාම පෙන්නවද බං කියලා.

මොකා? අමු කැවිලද අබා පෙන්නලා දැන් අවුරුදු 10 ක් විතර ඇතිනෙ... තව කෙනෙක් කියලා.
නෑ බං මේ පැත්තෙ ආයෙත් පෙන්නනවා ඇති, මම දැක්කා පෝස්ටර් ගහලා තිබුණා. බලමුකො ඉස්සරහත් ගහලා ඇති පෝස්ටර්.

ඔන්න ඔහොම යනකොට හන්දියක ගහලා තියෙනවා පොල්ගෙඩි අකුරෙන් අබා කියලා. මේගොල්ලො වාහනේ නතර කරලා පෝස්ටරේ කියවලා.

බැලින්නම් චූටි අකුරෙන් තියෙනවලු බාලසූරිය කියලා. අබා බාලසූරිය කියන්නෙ ඒ පැත්තෙ ජනප්‍රිය ටියුෂන් මාස්ටර් කෙනෙක්ලු.

 

කනේ පුළුන් ගහගෙන ගිය ගමන

අපේ එක්තරා කලා ශිල්පියෙකුට කාලෙක ඉඳලා තියෙනවා ඔළුවෙ කැක්කුමක්. හැම තැනින්ම බෙහෙත් ගත්තත් නිට්ටාවට හොඳවෙන්නෙ නැහැ, ආයිත් මතුවෙනවා. අව්වෙ කාරිය ගියාම වැඩිවෙනවා.

අපේ ප්‍රවීණ කලා ශිල්පියෙක් මෙයාට පිටිසර ගමක වෙද මහත්තයෙක් ගාවට යන්න කියලා, එතැන බෙහෙත් හොඳ නිසා.
ගමන යන්න තියෙන්නෙ කෝච්චියෙන්ලු. 

හොඳ නස්නයක් එහෙම කරලා, ඔළුවට බෙහෙත් තෙල් ගාලා පැයකට වඩා ප්‍රතිකාර කරලා ගෙදර යන්න කිව්වලු. දවස් දෙකක්වත් හුළං වදින්නෙ නැතුව ඉන්න කිව්වලු.

ඔන්න දැන් මෙයා ආපහු කෝච්චියෙන් කොළඹ එනවා. සනීපෙට ටිකක් නින්දත් ගිහින්. ටික දුරක් යනකොට මෙයාට තේරුණාලු, එයා ළඟ මිනිස්සු කීපදෙනෙක් කැරකෙනවා. ඇස් ඇරලා බැලුවම දැක්කලු එක මනුස්සයෙක් නහය ළඟ අතගානවා.

ඇයි ඇයි මොකද? මිනිහා බයටම අහලා.
නැහැ අයිසෙ, තමුසෙ හුස්ම ගන්නවද කියලා බැලුවෙ. කන් දෙකේ තඩි පුළුන් කෑලි දෙකකුත් දාගෙන ඉන්නකොට අපි හිතුවෙ නහයටත් පුළුන් දාලද කියලා.

අපේ ශිල්පියා කන අතගාද්දී තමයි ලොකු පුළුන් කෑලි දෙක අහුවෙලා තියෙන්නෙ.

 

හොඳම එකේ හිටියා හොඳටම ඇති

කලා ලොවේ ප්‍රවීණයන් නිහතමානීව තම වැඩ කටයුතු සද්ද බද්ද නැතුව කරගෙන ගියත්, ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ගේ ආකල්පනම් බොහෝ දෙනෙකුට දිරවන්න බැහැයි කියලයි ආරංචිය.

ඒවා අපේ ඇස් පනාපිටම පෙනෙනකොට දැනෙන්නෙ පුදුමාකාර දුකක් වගේම ලජ්ජාවක්. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ අනාගතය ගැන දැනෙන්නෙ විශාල බයක්.

එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක යන ටෙලිනාට්‍යයක මුල්ම වරට රඟපාන නවක නළුවෙක්ගෙන් එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවලු.
ඔයා රඟපාපු මුල්ම ටෙලිනාට්‍ය දැන් ජනප්‍රියයි. ඉදිරියේ මොනවගේ නිර්මාණවලටද සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නෙ?

මට එහෙම හිතන්න අවශ්‍ය නැහැ. මොකද, මම දැන් රඟපාන්නෙ හොඳම ටෙලිනාට්‍යයේ හොඳම චරිතය. එතැනින් එහාට මම වෙන නාට්‍යවල රඟපාලා මොනවා කරන්නද? ඔන්න ඔය නවක නළුවා දීපු උත්තරේ.

 

► Text - Mithra

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00