පපුව පැලෙන්න තරම් මම මගේ මැණිකට ආදරෙයි..... ජීවිතේ හැමදාම එහෙම කියන්න කෙනෙක් ළඟ ඉන්නවනම් කියලා ඔයාට හිතෙනවද? ඒත් මට හිතෙනවා මේ ලෝකේ කීයෙන් කී දෙනාද ඇත්තටම ආදරය විඳින්නේ කියලා... සැබෑ ආදරය උපමා කරන්න පුළුවන් අනන්තයට විතරයි.... ඇස් දෙකින් සුසුමකින් ස්පර්ශයෙන් හඬ ස්වරයෙන් වචනවලින් උණුසුමකින් මේ හැම විදිහකින්ම ඔයාට ආදරය දැනිලා තියෙනවද? එහෙම දැනෙන ආදරය මහ කළු ගලක් වගේ කියන එක ඔයාට දැනිලා තියෙනවද? ජීවිතයේ එකම එක වතාවක් එක් කෙනෙක්ගෙන් හරි එහෙම ආදරයක් ඔයාට දැනිලා තියෙනවද? අපි හුඟක් දෙනෙක්ගේ උත්තරය නැහැ... ඔව් එහෙම ආදරයක් ජීවිතයට මුණගැහුණොත් ඒ හුඟක්ම කලාතුරකින්.... සමහරවිට අයිතියටම නෙවෙයි ජීවිතේ අතරමඟකදී හරි එහෙම ආදරයක් මුණගැහුණොත් ඒ හුඟක් කලාතුරකින්....
මට ඔයාට මෙහෙම කියන්න හිතෙනවා... ඔයා ගැහැනියක් නම් ඔයා කළු ගලක් වගේ හදවතක් තියෙන පිරිමියෙක් ප්‍රාර්ථනා කරන්න.... මට ඔයාට එහෙම කියන්න හිතුණෙ ඇයි දන්නවද? මේ ළඟදි දවසකදී එක්තරා වියත් ක්ෂේත්‍රයක නිපුණයෙක් අතින්, කලාවට නෑකමක් නොකියන ක්ෂේත්‍රයක නියැලී සිටියත් කලාවත් එක්ක ආත්මීය බැඳීමක් ඇති අපූරු රසවතෙක් අතින් ලියවෙච්ච ගීතයක් මට කියවන්න ලැබුණා. ඒ ගීපද රචකයා අතින් ලියවුණු පළමු ගීය එය වුණත් ඒ ගීතයේ ප්‍රවීණ ගී රචකයකුගේ ලක්ෂණ මිසක් ආධුනික ගී රචකයකුගේ ලක්ෂණ දකින්න තිබුණෙ නෑ. වෘත්තීය දැනහැඳුනුම්කමක් මිස ඒ ගීපද රචකයා ගැන පෞද්ගලික කිසිවක් මා නොදැන සිටියත් ඒ ගීතයේ හරි අපූරු විවරණයක් තිබුණා. ඒ කළු ගලක් වගේ හදවතක ඉසියුම් ගැස්ම ගැන. කළු ගලක් වගේ හදවතක්, කියන්නේ කොයි විදිහෙ හදවතක්ද කියන එක මට ඔයාට කියන්න ඕනවුණේ ඒ ගීපද රචනාව අහම්බයෙන් වුණත් කියවද්දී. කළු ගලක් වගේ හදවතක වටිනාකම ඔයාටත් කවදාවත් දැනුණද නැද්ද මම දන්නෙ නෑ... ඒත් කළු ගලක වටිනාකම අසංඛ්‍යාත්මකයි.... ඒ වටිනාකමත් සැබෑ ආදරය වගේම අනන්ත වටිනාකමක්.... වෙඩිල්ලකින් හැර සොබාදහමේ කිසිම බලවේගයකින් මහා කළු ගලක් පුපුරවන්න බෑ.... ඒ තරම් මහා කළු ගලක් හයියයි... සොබාදහම නිර්මාණය කළ ශක්තියේ අසිරිය මහා කළු ගල කියලයි මට හිතෙන්නේ... කළු ගලක් වගේ හදවතක් මරන්න පුළුවනුත් මරණයටම විතරයි... කළු ගලක් කියන්නේ ඒ ශක්තියේ අනුහස විතරද? නැහැ.... අසීමිත ළතෙත් බවේ අනුහසත් එතනමයි.... සංවේදී ස්නේහයේ නවාතැනත් එතනමයි... ඒ හද ගැස්ම අඳුනාගන්න පුළුවන් මහා කළුගලක් විනිවිදින්න පුළුවන් හදවතකටම විතරයි කියලා මට හිතෙනවා... ඒ ළතෙත් බව අඳුරගන්න හදවත පලන්න ඕන නෑ... ඔව් කළු ගල දෙබෑ කරන්න ඕනැ නෑ... ඒ හදවත මත සවන් තියන්න එක මොහොතකට... ඔයාට දැනෙයි ඒ කළු ගල පතුලෙන් ගලා යන කවදාවත් ඔව් කවදාවත් නොසිඳෙන දිය දහරාවක සිසිලස... ඒ නිකලැල් දිය දහර සුයාමයක දිය උල්පතක් තරමටම නිර්මලයි. අනන්ත ආදරයක - මනුස්සකමක නොසිඳෙන දිය දහරාව තමා ඒ කළු ගල ගැඹුරේ ගලාගෙන යන්නේ. මට හිතෙන්නේ සොබාදහම කියන්න හදන්නේ එහෙම පාඩමක්.
ජීවිතයේ අපි ආදරය කරන හුඟක් දේවල් අපිට අනන්තයක් විතරමයි කියලා මට හිතෙන්නේ... ඒත් අත්පත් කරගන්න බැරි දේවල්වලට අත්පත් කරගන්න බැරි බව දැන දැනම අපි ආදරය කරනවා. අත්පත් කරගැනීම කියන්නේ ජීවිතයේ අපි ආදරය කරන දේවල් අපේමයි කියන්න අපි ඉල්ලන සාක්ෂියද? ආදරයෙදී ඒ සාක්ෂිය නැත්නම් ආදරයක් පරිපූර්ණ වෙන්නෙ නැද්ද? සොබාදහම අපූරු දාර්ශනිකයෙක්. අපූරු විනිසුරුවරයෙක්. අපූරැ තීරකයෙක්... එයාගේ කැමැත්ත වරෙක හරි වෙනස්. එයා අපේ ජීවිත වෙනුවෙන් අපි ඉල්ලා සිටි දෙය.... අපේ ඇතුළු හිත ප්‍රාර්ථනා කළ දෙය අපිට සමහර විට මුණගස්සවන්නේ පරිපූර්ණ අයිතියක සාක්ෂිය ගිලිහී ගිය තැනකදී වෙන්න ඇති. වසන්තයේදී ඉල්ලා සිටි දෙය අපට හිමි කරදෙන්නේ හේමන්තයේදී වෙන්න ඇති.... ඇයි එහෙම කළේ කියලා සොබාදහමෙන් ඇහුවොත් ඒකට ලැබෙන උත්තරත් හුඟක් ගැඹුරු වෙයි... අපේ කුසල ශක්තිය කර්ම ශක්තිය වෙනස් කරන්න සොබදහටමත් සමහර තැනකදී ශක්තියක් නැතුව ඇති.... එසේ නොවෙන හැම තැනකදීම සොබා දහමේ කැමැත්ත විනිශ්චයන් හුඟක් සාධාරණයි කියලා මට හිතෙනවා...
ජීවිතයේ ආත්ම සිසිලස වෙනුවෙන් හිස තියාගන්න ලැබෙන්නේ කළුගලක්ද කටුපඳුරක්ද කියලා තීරණය කරන්නෙත් ඒ සොබදහමම වෙන්න ඇති. ඒත් ඒ තීරණයේදී ඒ විනිසුරුවන්ට නපුරුකමක් නොකර ස්නේහවන්ත වෙන්න පුළුවන් නම් ආදරණීය ගෑනු - පිරිමි ළඟ... හුඟක් ඇස්වලට කඳුළ කොයිතරම් ආගන්තුක හැඟීමක් වෙයිද මට හිතෙනවා.