2018 ජුලි 14 වන සෙනසුරාදා

ජැකා දුටු දක්ෂතම නළු නිළියෝ

 2018 ජුලි 14 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

ජැක්සන් ඇන්තනී කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒත් පහුගිය දවසක ජැක්සන්ට වඩා දක්ෂ නළු නිළියන් ගැන ඔහු කතා කළේ ඒ දක්ෂතා ගැන ඔහුද පුදුම වූවායැයි සභාවක් ඉදිරියේ පවසමින්.

කතාව කෙටියෙන් කියනවානම්, ජැක්සන්ගේ උපන් දිනය යෙදිලා තිබුණේ පසුගිය ඉරිදා. හරියටම එදාට ටවර් රඟහලේ තිබුණා ජැක්සන් රංගනයෙන් දායක වන මධුර ජවනිකා නාට්‍ය දර්ශනයක්. ඔන්න ඔය නිමිත්ත උපයෝගී කරගෙන ජැක්සන්ගේ ගෝල පිරිසක් එදාට ටවර් රඟහලේ සර්ප්‍රයිස් උපන්දින පාටියක් සංවිධානය කළා. ඒ සියල්ල සිදු වුණේ ඉතාම සූක්ෂම ලෙස, රහසිගතව. ලංකාවේ සුපිරි කලා ශිල්පීන් රැසක් ද එදා ටවර් එකට ඇවිත් හිටියා ජැක්සන්ව පුදුම කරවන්නට.
ශාලාවට ඇතුළු වුණු ජැක්සන් සැබැවින්ම පුදුමයට පත්වුණා. ඔහු වැඩියෙන්ම පුදුම වුණේ ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ රංගන හැකියාව ගැන.

මේ තරම් කාලයක් මම හිතං හිටියේ අපේ ගෙදර හොඳම නළුවා මම කියලා. ඒත් මගේ බිරිඳයි දරුවෝ ටිකයි අද මේ කරපු රහසිගත වැඩෙන්, මට වඩා හොඳට රඟපාලා තියෙනවා. කියා ඔහු කිව්වේ ඒ ලැබූ අසීමිත සතුට නිසා ඔහුට තවත් කාලයක් ජීවත් වෙන්නට උත්තේජනයක් ලැබූ බව සභාවට පවසමින්.

 

උදේ ගෙදරින් ගිය දුවවත් අමතක වෙලා!

ඔහු අප රටේ සිටින ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. රටේ හැමෝම ඔහුව හඳුන්වන්නෙත් රටේ කියලා තමයි.

ඔන්න මේ හිත හොඳ මිත්‍රයා පහුගිය දවසක ඔහුගේ ෆෝන් එකේ කේස් එකක් වෙලා ඒකේ සේව් කරලා තිබුණ නොම්මර හා නම් ටික සේරම මැකිලා ගිහින්.
ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි කාගෙවත් දුරකථන අංක මතක තියාගන්නේ නැහැනේ. ඒ තරමටම අපි තාක්ෂණේ මත්තෙම යැපෙනවා.
හැබැයි ෆෝන් එකේ නොම්මර නැති වුණු දවසට තමයි අපි රත්වෙන්නේ.

ඔන්න ඔය වගේ ඇබැද්දියකට රටේ ටත් මුහුණ දෙන්න වෙලා.
ඔහු ඔෆිස් එකට ගිහිං ටික වෙලාවකින් තරුණියකගෙන් කෝල් එකක් ආවලු.
නම දන්නේ නැති නිසා ඔහු ෂේප් එකෙන් කතා කළාලු.
කියන්න මිස් ඔයා කවුද?

මිස්? මොකද්ද තාත්තේ උදේ ගෙදරින් ගිය දුවවත් අමතක වුණාද? මම අද මියුසික් ක්ලාස් යන්නේ නැහැ. ඉස්කොලේ ඇරිලා කෙළින්ම ගෙදර එනවා.
හා මිස්.. සොරි දුව. ඕකේ... ඕකේ..

 

නම වෙනස් කළාද?

මෑතකදී පැවැති කලා උත්සවයකට කලා ලොවේ දැවැන්තයෝ මෙන්ම නව පරපුරේ ශිල්පීන් රැසක් ද සහභාගී වුණා. මුල් පෙළේ වැඩි වෙලා හිටියේ ප්‍රවීණ ශිල්පීන්.
උත්සවයේ සංවිධාන කටයුතුවල මූලිකත්වය ගෙන වැඩ කරපු එක්තරා තරුණ ශිල්පියෙක් කඩිසරව වේදිකාව අසලින් ඇවිදගෙන ගියාලු.
ඔහු දුටු මුල් පෙළේ වාඩි වී සිටි ප්‍රවීණ කලා ශිල්පියෙක් ඔහුව ළඟට කළාලු.

ආයුබෝවන් අයියේ
තරුණ ශිල්පියා කිව්වාලු.

ඇයි අයිසේ ඔයා නම වෙනස් කළේ අපිටත් නොකියා?
තරුණ නළුවා තක්කු මුක්කු වී ඔහු දෙස බලං හිටියලු.
ඇයි අයියේ එහෙම කිව්වේ?

බලනවකෝ ඔයා ඇඳගෙන ටීෂර්ට් එකේ ලොකුවට දාලා තියෙන නම..?
තරුණයාට ටීෂර්ට් එක ගැන සිහි වුණේ ඒ වෙලාවේ.
පපුව හරහා ලොකු ඉංග්‍රීසි අකුරෙන් ගහලා තියෙනවලු MCKENZIE කියලා.

 

රූපවාහිනිය එපා කරවන  සිනමාකරුවා

ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. නවක මූණු රැසක් සිනමාවට හඳුන්වා දී ඇති නිර්මාණකරුවෙකි.

පහුගිය දවසක ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රංගන ශිල්පීන් ශිල්පිනියන් තෝරාගැනීම සඳහා වැඩමුළුවක් පැවැත්වූවා.
ඒ සඳහා සහභාගී වුණු හැමෝගෙන්ම ඔහු මුලින්ම ඉල්ලා හිටියේ තම තමන්ගේ ජංගම දුරකථන විසන්ධි කරන ලෙසයි.
ඉන් පස්සේ ඔහු පැය දෙකක දේශනාවක් කළා.

ඒ දේශනාවෙන් ඔහු කළේ තරුණ නවක නළු නිළියන්ට රූපවාහිනිය  එපා කරවන එකයි.
රංගනය කියන්නේ ටෙලි නාට්‍යවල රඟපාන එක නෙවෙයි. ඕගොල්ලෝ හැමෝම උත්සාහ කරන්න ඕන සිනමා නළු නිළියෝ වෙන්න. ටෙලි නාට්‍යවල රඟපාලා තියෙන කිසිම කෙනෙක් මම මගේ නිර්මාණයකට ගන්නේ නෑ. ඉදිරියේදී ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අයටත් මමි කියන්නේ, මගේ නිර්මාණවලට ගෑවෙන්නවත් එපා.

 

► Text - Mithra