වසර ගණනාවක නිහඬතාවයකින් පසුව වික්ටර් රත්නායකයන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් මහනුවර පැවැත්වීමට කටයුතු සංවිධානය වෙනවා. මේ මංගල ප්‍රසංගය මහනුවර පවත්වන්න විශේෂ හේතුවක් තියෙනවාද...?
ඔව්... මගේ මේ ඒක පුද්ගල ගී ප්‍රසංගය පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී තමයි වේදිකා ගතවෙන්නේ. අපි ඒකට නම යොදලා තියෙන්නේ “සරස“ කියන නමිනුයි. මෙම ප්‍රසංගයේ නම “සරස“ ඒකේ උපයෙදුම ලෙසින් අපි “රත්නමය ගී අමානන්දනය ලෙසින් යොදලා තියෙනවා. මගේ දෙවැනි ඒක පුද්ගල ප්‍රසංගය මහනුවරින් ආරම්භ කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. මම උපන්නේ මහනුවර මහ රෝහලෙයි. මම ඉගෙනගත්තේ හැදුණේ වැඩුණේ කඩුගන්නාව කියන ප්‍රදේශයේයි. ඒවගේම මම ශාස්ත්‍රීය සංගීතයට අත්පොත් තිබ්බේ ජී.පී. කලායතනයේ සිරිල් පෙරේරා මැතිතුමාගෙනුයි. ඒවගේම මම මහනුවර ලේක් සමාජශාලාවේදී තමයි මුලින්ම මහජන ප්‍රසංගයකට ගීත ගායනා කළේ. ඒ ආර්.ඒ. චන්ද්‍රසේන නම් සංගීතවේදියාගේ සංගීත අධ්‍යක්ෂණය යටතේදීය. මේ කරුණු තුන මගේ හිතේ තදින්ම පැළපදියම් වුණු සිදුවීම් තුනක්. මහනුවර හා මගේ ජීවිතේ බද්ධවුණු අපූරු කරුණු තුනක් වුණා. ඒ නිසා මේ කරුණු මූලාශ්‍රකරගෙන තමයි මගේ දෙවන ඒක පුද්ගල ගී ප්‍රසංගයේ මංගල ප්‍රසංගය පවත්වන්නේ.
මෙය ඔබේ තනි තීරණයකට ගත්තු තීරණයක් නෙවෙයි නේද...?
කොහෙත්ම නැහැ. මේක වික්ටර් රත්නායක ප්‍රතිභා ප්‍රණාම පර්ෂද සාමාජිකයින් විසින් ගත්තු තීරණයක්. ඒ කණ්ඩායමේ කුලරත්න ආරියවංශ, සමන් ආතාවුදහෙට්ටි, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම්, ප්‍රේම් දිසානායක, හෂිනි රත්නායක, සරත් සේනාරත්න, සරත් තිලකරත්න, දයා විජේසේකර, ගීතනාත් කුඩලිගම ඇතුළු කණ්ඩායමක් සිටිනවා.
ප්‍රසංගයේ සංගීතය සපයන්නේ කවුද...?
සරස ප්‍රසංගයේ වාදක මණ්ඩලය මෙහෙයවීම් කටයුතු කරන්නේ සංගීතවේදී සුසිල් අමරසිංහ විසිනුයි. වාදක මණ්ඩලයේ සාමාජිකයින් පහළොස්දෙනෙක් විතර සංගීතය සපයනවා. මෙම ප්‍රසංගය නිවේදන කටයුතු මෙහෙයවන්නේ නිවේදක වසන්ත රෝහණයි.
ඔබේ පළමු ඒක පුද්ගල ප්‍රසංගය වුණු “ස“ ප්‍රසංගය සාර්ථක වුණු ප්‍රසංග මාලාවක් වුණා. “ස“ ප්‍රසංගය නතර කළාට පසුව බව දීර්ඝ කාලයක් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වූවේ නැහැ...?
ඔව්... ඒක ඇත්ත “ස“ ප්‍රසංගය නතර කරලා අවුරුදු හයකට පසුව තමයි “සරස“ මගේ දෙවන ඒක පුද්ගල ප්‍රසංගය පවත්වන්න තීරණය කළේ. 2012 වසරේදී තමයි අපි “ස“ ප්‍රසංගය නතර කළේ. මේ වසර හය පුරාවටම මගෙන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කළා නැවත “ස“ ප්‍රසංගය හෝ මගේ වෙනත් ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වන්න කියලා. මගේ “ස“ ප්‍රසංගයට විරාමය තැබූදා සිටම නැවත නැවත කුමන අන්දමින් හෝ ප්‍රසංගයකින් මගේ ගීත අහන්නට බොහෝ දෙනාගේ ඉල්ලීම් තිබුණා. ඔය අතරේ වෙනත් කලාකරුවන් කලාකාරියන් සමඟ සාමූහික ගායන ප්‍රසංගවලට මෙරට සහ විදෙස් රටවල සහභාගි වුණා. නමුත් එයින් බොහෝ රසික රසිකාවියන් සෑහීමකට පත්වුණේ නැහැ. “ස“ ප්‍රසංගය නැවැත්තුවාට මට දෝෂාරෝපණය කරලා කතා කරපු බොහෝ දෙනෙක් හිටියා. ඒ සියලු දේ හිතලා තමයි අවුරුදු හයකට පසුව මේ ඒක පුද්ගල ප්‍රසංගයක් පටන්ගත්තේ. “ස“ ප්‍රසංග එක්දාස් හාරසීය පනහක් ප්‍රසංග විදිහට කරලා තමයි අපි නැවැත්වූවේ.
“ස“ ප්‍රසංගය වගේම “සරස“ත් රට පුරා, ලොව පුරා අරගෙන යන්න බලාපොරොත්තු තියෙනවාද...?
ඔව්... අපි “සරස“ ප්‍රසංගය මහනුවරින් ආරම්භ කරලා වෙනත් සංවිධායකවරු, සංවිධාන ආයතනවලින් ලැබෙන ඉල්ලුම අනුව බොහෝ විට දිවයින පුරාත් රටවල් පුරාත් යන්න බලාපොරොත්තු වෙනවා. දැනට විදෙස් රටවල්වලින් මේ සඳහා ඉල්ලීම් ලැබිලා තියෙන්නේ. ඉතින් බොහෝ දුරට “ස“ ප්‍රසංගය මෙන්ම “සරස“ත් සාර්ථක වේවි කියලා අපි විශ්වාස කරනවා.
ඔබට අමතරව මෙහි යුග ගායනාවෙන් එකතුවෙන්නේ කවුද...?
මෙහෙමයි... මේ ප්‍රසංගයේදී යුග ගායනාවලින් එකතුවෙන අය ඉන්නවා. නමුත් මෙවර යුගගායනාවෙන් එකතුවෙන්නේ සුප්‍රසිද්ධ ගායිකාවක් එක්කනම් නෙමේ. මෙම ප්‍රසංගය බොදු ගී, මව්ගුණ ගී, ප්‍රේමණීය ගී හැමදෙයක්ම වගේ එකතුවකින් හැදුණු ප්‍රසංගයක්. මෙම ප්‍රසංගයේ ගීත විස්සක් පමණ ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දැනට ඒ ගීත සම්බන්ධව විස්තරයක් කියන්න නම් බැහැ. ඉතින් අගෝස්තු 11වෙනිදා සවස හයයි තිහට මෙම “සරස“ ඒක පුද්ගල ප්‍රසංගය ආරම්භ වෙනවා. “ස“ ප්‍රසංගය නැරඹූ සැමටත් මෙම ප්‍රසංගය නැරඹීමට අපි ආරාධනා කරනවා.
► Text – Dishani / Pic - Sumudu