2018 ජුලි 21 වන සෙනසුරාදා

රණ්ඩුවෙවී රඟපාන්න අපි සටන් නළුවොද?

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

ඉස්සර ටෙලිනාට්‍යවල රඟපෑ බොහෝ දෙනෙකු අද නිර්මාණවල දකින්නවත් නැහැ. මෙතරම් නාලිකා තිබියදී, මෙතරම් ටෙලිනාට්‍ය හැදෙද්දී ඇයි මේ අය පේන්නවත් නැත්තෙ.

සමාජෙ හැමතැනකම දැන් තරගකාරීත්වය වැඩි නිසා මේ රංගන ක්ෂේත්‍රයටත් එය දැඩි ලෙස බෝවෙලාලු.
දැන් ඉඳහිටවත් දකින්න නැති රංගන ශිල්පියෙක් පහුගිය දවසක කිව්වෙ තරගකාරීත්වය කොයිතරම් උග්‍රද කියනවනම්, ප්‍රවීණ අයත් නවකයින් කපන්න පටන් අරන්ලු.

අපිට ටෙලිනාට්‍යවල ඉන්න කට්ටිය එක්ක රණ්ඩුවෙවී වැඩ කරන්න බැරි නිසා අපි අයින්වෙලා ඉන්නවා අපේ පාඩුවේ. අනික කලා නිර්මාණවල රණ්ඩුවෙවී රඟපාන්න අපි සටන් නළුවො නෙමෙයිනෙ?

 

අනේ මෙහෙමත් බාල වැඩ!

මේ දවස්වල අපේ සිනමා ක්ෂේත්‍රයේ යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් උදාවෙලා තියෙනවනෙ ජාතික චිත්‍රපට සංස්ථාව සියලුම චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය තමන් අතට පත් කරන්නට ගත්තු තීරණය නිසා. ඒත් නීතිමය ගැටලු නිසා ඒක තවමත් තියෙන්නෙ වැට උඩ.

පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල හිමියන් කියන්නෙ රජයේ මෙම තීරණයට බොහෝ සිනමා ශාලා හිමියෝ විරුද්ධ බවයි. ඒ විරුද්ධත්වය පළකරලා සිනමා ශාලා හිමියන් 100 ක් පමණ දිවුරුම් පෙත්සම් ලබාදීලා තියෙනවා කියලයි ආරංචිය.
ඔන්න ඒ ආරංචියෙන් පස්සෙ චිත්‍රපට සංස්ථාවෙ කට්ටිය රට වටා යනවලු ඒ අයගෙ පැත්තට සිනමා ශාලා හිමියන් නම්මාගන්නට.

ඇතැම් සිනමා ශාලා හිමියන් ඊට එකඟ නොවුණොත් ඔවුන්ගේ ශාලාවලට ලබාදී තිබෙන මත්පැන් ලයිසන් එක අහෝසි කරන බවට මේ අය තර්ජනය කරනවලු. හැබැයි සිනමා ශාලා හිමියො පළ කරන්නෙ මේ වගේ අදහසක්.
චිත්‍රපට සංස්ථාවට කරන්න තියෙන්නෙ මේවා නෙවෙයි. ලංකාවෙ හොඳ සිංහල චිත්‍රපට හදන්න පුළුවන් තරම් කට්ටියට අතහිත දීලා ඔවුන් නිසි මාර්ගෝපදේශනය දෙන එකයි. මේ වගේ බාල වැඩ කරලා සිනමාව නඟාසිටුවන්න බැහැ.

 

කේක් කෑල්ලක් ගන්න බබා

කලා ක්ෂේත්‍රයේ 70, 80 දශකයට අයිති එක්තරා කලා ශිල්පිනියක් කලාවෙන් ඈත්වෙලා දැන් දශක කිහිපයක් වෙනවා. සහෝදර ශිල්පීන් හමුවෙන්නෙත් ඉතාම කලාතුරකින්.
ඔන්න ළඟදී දවසක පැරැණි මිතුරියක් කොහොමහරි මෙයාගෙ දුරකතන අංකය හොයාගෙන එයාගෙ උපන් දින උත්සවයට ආරාධනා කරලා. 

මේ පැරැණි ශිල්පිනියත් ඇගේ මහත්තයත් එක්ක පාටියට ගියාලු. උපන් දිනය සමරන මිතුරියට තමන්ගෙ පැරැණි යෙහෙළිය සහභාගිවුණු එකට මාර සතුටුයිනෙ.
අනේ කේක් කෑල්ලක් ගන්නකො බබා කියමින් ඇය ශිල්පිනියගේ සැමියාට ට්‍රේ එක අල්ලනවලු. ආයෙත් තව බන්දේසියක් අරගෙන ඇවිත්, ගන්නකො බබා කියනවලු.
ශිල්පිනිය අන්දුන් කුන්දුන් වෙලාලු. ඔයා මගේ යාළුවා දන්නවද? මොකද මේ ඔයාට බබා බබා කියන්නෙ, ඇය සැමියාගෙන් අහනවලු.

පස්සෙ තමයි වැඩේ තේරිලා තියෙන්නෙ. ඇගේ සැමියා තරුණ පාටයිලු. වයස පේන්නෙත් නැහැ. යාළුවා හිතලා තියෙන්නෙ මේ එයාගෙ පුතා කියලලු.

 

අවුරුදු 10 ක් කටු කෑවලු

වෙනත් රටවල්වල වගේ නෙවෙයි, අපේ රටේ කලා නිර්මාණවේදීන් තමයි ඒ නිර්මාණ හදන්න නිෂ්පාදකවරු හොයාගෙන යන්නෙ.
අනෙක් රටවල්වලනම් නිෂ්පාදකවරයා තමයි නිර්මාණවේදීන් තෝරාගන්නෙ.

මේ හේතුව නිසා සල්ලි යටකරන්න කැමති කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් නිර්මාණවේදීන් ගොඩ යනවා. 
හැබැයි ඉතින් ඒ නිර්මාණ මිනිස්සු වැළඳගන්නවාද, නැද්ද, පාඩුවෙයිද, ලාබ ලබයිද, වගේ දේවල් එවැනි නිර්මාණවේදීන්ට අදාළ වෙන්නෙ නැහැ. මොකද, සල්ලි යටකරන්නෙ එයා නෙවෙයිනෙ.
ඔන්න පහුගිය දවසක ඒ වගේ නිර්මාණවේදියෙක් ඔහු ලියූ පිටපතක් චිත්‍රපටයකට නගන්න මුදල් යටකරන්න පුළුවන් ව්‍යාපාරිකයෙක් හම්බවෙන්න ගියාලු.
මේකට මම අවුරුදු 10 ක් විතර මහන්සි වුණා... පිටපත් රචකයා මුදලාලිට කිව්වලු.

මොනවා? ඒ තරම් කාලයක් ගියාද මේක ලියන්න..
නෑ නෑ.. මේක ලියලා, නිෂ්පාදකවරයෙක් හොයාගන්න මම අවුරුදු 10 ක් විතර මහන්සි වුණා..

 

► Text - Mithra

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00