2018 ජුලි 21 වන සෙනසුරාදා

හැම එකාම තව එකෙක්ගෙ ආතල් එකක්

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

Art එකේ කැරට්ටුව..

Lakmal  

බහිමුද පතලකට...?
මචංකමට...
කාත් එක්කද බං...?
කූඹියෝ අයිතිකාරයත් එක්ක...

හරිම හැඩට කොළඹ පේන වෙලාවක.... අපි දන්න කියන එකෙක් එක්ක ලිබර්ටි වටරවුම අයින දිගේ කොල්ලුපිටිය හන්දිය පහුකරා විතරයි....
සැලුන් දොර දෙබෑකරගෙන අපි ඇතුළු වුණේ කතා කරන්න කියාපු තැනකට...  අතරින් පතර දැල්වෙන අඳුරු කහපාට ලයිට්... තනි ලීයෙන් තැනුනු මේස... වික්ටර්ගේ සිසිල් සුළං රැල්ලේ ගීතය.... එක හාදයෙක් ගිටාරයේ සංගීත රිද්මයට හරිම අපූරුවට මුමුණනවා.....

කූඹියන්ගේ මහ මොළකරු.... දැන් මා ළඟ. ඔහු ගැන නම් ටිකක් කතා නොකරම බෑ....
අපේ කාලේ බිහිවුණ සුපිරි කැරුට්ටුවක් තමා.... ඒකාකාරී රැල්ලක තිබුණු ලාංකික ටෙලිය මීට පෙර නොදැකපු පැත්තකට හරවපු හැරවුම් ලක්ෂය කිව්වත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ.  වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේනම් ඔහුව නොදන්න කෙනෙක් නැති තරම්.... වෙන මොනවා කතා කරන්නද ලක්මාල් ධර්මරත්න ගැන...  

නිර්මාණයක ගැඹුරටම කිමිදෙන්න කියාපු ඩයල් එක නේද?
ලකා... කොහොමද ඉතින් වාස දේස එහෙම...?
ඔහු හිනාවක් දාගෙනම... කතාවට මුලපිරුවා.. 
හොඳින් ඉන්නවා.... චිත්‍රපටයක් කරන්න කියලා අපි හිත හිතා ඉන්නවා... 

අපි කිව්වේ....? 
මමත් දමිතත්...  ඒකට ටිකක් මේ දවස්වල මහන්සි වෙනවා. තව ඉතින් රස්සාවත් කරගෙන ෂේප් එකේ ඉන්නවා...
ලකාගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු.... ජීවිතේම පැයක දෙකක රූප රාමු කිහිපයකට  කැටි කරපු  නිර්මාණයක් ගැන... කතාකරමුද...?  ඒක තව කෙනෙකුට විඳින්න තරම් වටින එකක් නම් මරු.
හරි අපි කතාකරමු.. 

ලකාගෙන් ලැබුණු කෙළින් උත්තරෙත් එකක් වැඩේ පටන් ගත්තා...
මම ඇඩිට් වුණ නිර්මාණ නම් ගොඩක් තියෙනවා... 
අපි ෆිල්ම් එකක් ගැන කතා කරමු.  මගේ හිත ගියේ බිලී වයිල්ඩර් 1951 නිර්මාණය කරපු.  Ace in the Hole කියන බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකට....

1951 කියන්නේ සෑහෙන කාලයක්... එදාට වඩා ෆිල්ම් ඉන්ඩර්ස්ට්‍රි එක දැන් ගොඩක් දියුණුයි.. ඇයි ලකා එච්චර පරණ චිත්‍රපටයකට මෙච්චරම ඇළුම් කරන්නේ...?
මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ටක්ටේටම් කියන මාධ්‍යවේදියා. කර්ඩ් ඩග්ලස් තමා මේ චරිතයට පණ පොවන්නේ.. ටක්ටේටම් කියන්නේ රස්සා හොයලා හොයලා හෙම්බත් වෙච්ච පුද්ගලයෙක්. අන්තිමට මේ මනුස්සයා වැඩට වැටෙන්නේ ප්‍රාදේශීය පොඩි පත්තරේක මාධ්‍යවේදී තනතුරකට. ඉතින් මිනිහා දිනපතා මොනවා හරි නිව්ස් හොය හොයා ඇවිදින ගමන් තමා නිතරම ඉන්නේ. ඔන්න ඔය වෙලාවක තමා පතලක හිරවෙලා ඉන්න පුද්ගලයෙක් මේ මාධ්‍යවේදියා දකින්නේ. මේ කාලෙ වෙනකොට 1951 එකේ නිව් මෙක්සිකෝව හැදෙමින් තිබෙන වකවානුවක්.....

පතල ඇතුළේ හිරවෙලා ඉන්නේ කසාද බැඳපු සාමාන්‍ය පුද්ගලයෙක්. මේ මාධ්‍යවේදියාට පුළුවන් ඉතා ලේසියෙන් මේ පුද්ගලයාව එළියට ගන්න.... හැබැයි චිත්‍රපටය දිග ඇරෙන්නේ ඒක එහෙම නොකර මේ පතල ඇතුළේ හිරවෙච්ච පුද්ගලයා එතනම හිරකරගෙන මාධ්‍යවේදියා ඔහුගේ ලෝකය ගොඩනගා ගන්නා හැටි... ඕක තමා චිත්‍රපට වටා දුවන්නේ....

1951 මේ චිත්‍රපටය හැදුවට... දැන් තියෙන්නේ ඩිජිටල් යුගයනේ.... ජංගම දුරකතනයකින් වීඩියෝ කරපු ඇක්සිඩන්ට් එකක් බලන්න මිනිස්සුන්ගෙ තියෙන ආසාව... ඇත්තම කතන්දරය, මිනිස්සු ඒකෙන් ගන්නෙ මාර ආතල් එකක්.... 1951 මේ ඩිජිටල් යුගය නොදැක හදපු මේ චිත්‍රපටය අදට සහ තව අවුරුදු සීයකට වුණත් වලංගුයි. මොකද අර පතලෙ ඇතුළේ හිරවෙච්ච මනුස්සයා ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දි ඒක වටේට කාර්නිවල් එකක් හැදෙනවා... දවස් කිහිපයකින් ඒ නගරය සල්ලි උල්පතක් වෙනවා... මිනිස්සු මේක බලන්න එනවා... ඒ අයට වෙළඳාම් හැදෙනවා... හොටෙල් හැදෙනවා... ගෙවල් ගෙස්ට්හවුස් කරලා කුලියට දෙනවා... හිරවෙලා ඉන්න මනුස්සයාගේ බිරිඳත් ගෙදර කාමරයක් රෙන්ට් අවුට් කරනවා.... මේක එකම සැණකෙළියක් වෙනවා... 

ඉතාම සරලව මේ මිනිස්සුන්ට පුළුවන් ඒ මනුස්සයාව නිදහස් කරන්න.... සමාජය ඉතා නරක විදියට ඒ සිද්ධිය පාවිච්චි කරනවා. ඒකෙන් ගන්න පුළුවන් ආතල් එක පැත්තට තමා සමාජය තල්ලු වෙන්නේ.....

ලකා... පතල ඇතුළේ හිරවෙලා ඉන්න මනුස්සයා වෙලා බලමුද? 
හ්ම්.... ලකා‍ගෙන් සුසුමක්....
පහුගිය කාලේ කුඹියෝ විකාශනය වන කාලය ඇතුළෙත් සමහර අවස්ථාවලදී ඇත්තටම මට හිතිලා තියෙනවා ඒ පතලෙ හිරවෙලා ඉන්න මිනිහ මමද කියලා... මොකද සමහර වෙලාවට.... මාව වටකරගෙනම ගත්ත සමහර ආතල් දැක්කම.... මම කියන්නෙ අපි හැමෝම එක්තරා විදියකට තවත් අයගේ ආතල් එකක් බවට වෙනවා.... නැත්තම් සමහර අයගෙන් ආතල් ගන්නවා... මේක දෙපැත්තට යන වැඩක්... මිනිස්සුන්ට ඕන එහෙම දෙයක්.. මොකක් හරි එකක එල්ලෙන්න. ඒක නාට්‍යයක්, චිත්‍රපටයක්, නැත්නම් වලියක් වගේ දෙයක්. පහුගිය දවස්වල ජීවිතේට ෆුට්බෝල් බලපු නැති අය වර්ල්ඩ් කප් එක බැලුවා.... මිනිස්සුන්ට ඕනෙ මොකක් හරි ආතල් එකක්.... Ace in the Hole කියන චිත්‍රපටයේ පතල ඇතුළෙ ඉන්නවා කියන එක මට දැනුණෙ, ඇත්තටම එහෙම නොවුණට වෙන වෙන විදියට මම හිරවෙලා ඉන්න කොට වෙන අය ඒකෙන් ආතල් ගන්නව මම අත්දැකලා තියනවා. මට එක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා....

Ace in the Hole එක ඇතුළේ කැමතිම චරිතෙකුක් ඇති?
මම කැමතියි ටක්ටේටම් කියන මාධ්‍යවේදියාගේ චරිතයට.. ඒක තමා ප්‍රධාන චරිතයත්. මොකද හේතුව අපි සාමාන්‍යයෙන් ගත්තොත් මාධ්‍යවේදියා, පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ගත්තොත් එයාලා හරි හොඳයි. සුදු චරිත, සමාජය උනන්තිය වෙනුවෙන් කටයුතු කරන, අසාධාරණයට එරෙහිව හඬ නගන චරිත විය යුතුයි කියලා අපේ මතයක් තිබෙනවා. ඒත් මම හිතන්නේ මම හරි නම් වැඩිපුර ඉන්නෙත් එහෙම නොවෙන අය. මම එහෙම කියන්නේ මේ සමාජයෙන් හම්බෙවන සාක්ෂි මත. මේ චිත්‍රපටයේ ටක්​ටේටම් කියන මාධ්‍යවේදියාගේ චරිතය හරි කළු චරිතයක්. එයා අවස්ථාවාදීව මිනිහෙක් හිරකරගෙන තමන්ගේ පෞද්ගලික ගේම් එක ගහන පොරක්. අපි චිත්‍රපටවලින්, නවකතාවලින්, ටෙලිනාට්‍යවලින් හදන බොරු ප්‍රතිරෑපය නැතිව. මිනිසාගේ සැබෑ ස්වරූපය එළියට දාන... වෙන මිනිහෙක්ගේ ජීවිතය හෝ වේවා තමන්ගේ වාසියට හරවගන්නේ කොහොමද කියන එක ඉතා අපූරුවට පෙන්නනවා.. අනිත් එක කර්ඩ් ඩග්ලස්ගේ විශිෂ්ඨ රංගනයට මම ඉතා කැමතියි.

මේ නිර්මාණය ඉතා බරපතළ අර්බුදයක්... ඒ අර්බුදය ඔබේ හිතට තදින් දැනුණු තැනක් මතකද ?
ඔව්... එක wide shot තියෙනවා මේ ප්‍රදේශයම හොඳට පේන තැනක්... අන්න එතන තමා මම කැමතිම තැන... ඒ රූප රාමුවෙන් පේනවා මේ සැණකෙළිය. මේ බරපතළ අර්බුදය කොච්චර ලොකුවට පැතිරිලා ගිහින්ද කියන එක. අපි ජීවිතයේ පත්වන ලොකු ප්‍රශ්නයක්, පහසුතාවක් සමාජයට මාරම ආතල් එකක් වෙන හැටි....

මේ චිත්‍රපටය අහම්බෙන්ද දැක්කා වෙන්න බෑ නේද? කී වතාවක් බැලුවද මේක?
ඔව් මේ චිත්‍රපටය මට බලන්න කිව්වේ දමිත.... හරියටම මතක නෑ. සෑහෙන වතාවක් මම මේක බලන්න ඇති...
මේක කතාවේ අන්තිම ටිකක් වෙන පැත්තට අරන් යන්න මට හිතෙනෙවා.       

මේ පුංචි සිද්ධිය විශාල කළේ ජනමාධ්‍යවේදියා. ලකාට මාධ්‍යවේදියා ගැන මොකද හිතෙන්නේ...?
මෙහෙමයි වාර්තාකරණය කරන ආකාර කිහිපයක් තියෙනවා... විශේෂාංග වාර්තාකරණය කරද්දි ඒ මාතෘකාව ටිකක් පුළුල්ව තමා වාර්තාකරන්නෙ... එක් සාමාන්‍ය දෙයක්..  මාධ්‍යවේදියා කියන්නෙත් මිනිහෙක් එයාට පවුලක් ඉන්නවා.... එයාත් ජීවිතයේ ගේමක් ගහනවා... එයත් කැමතියි කාර් එකක් ගන්න, ඉඩමක් ගන්න, ගෙයක් හදන්න.... අනිත් ඔක්කොම මිනිස්සු ජීවත්වෙන්න ගේමක් ගහනකොට ජනමාධ්‍යවේදියාගෙන් විතරක් දෙවියෙක් බලාපොරොත්තු වෙන්න බෑනේ...  එයා සමාජය ගොඩදාන මාර පොරක් වෙන්න බෑ... අපි හැමෝටම මේ ලයිෆ් ගේම් එකම තියෙනවා. කලාකාරයා, ජනමාධ්‍යවේදියා, රණවිරුවා, කිව්වාම දේව රූප හදාගන්නවනේ.... සෑබෑවට බැලුවම ඒ මොහොතේ අපි ඔක්කොම ගේමක් ගහන්න හදන මිනිස්සු... අපි කැමති වුණත් නැතත් අපි එහෙම තමා.. අපි මේ වගේ නරක තත්ත්වයකට ​නොවැටී ඉන්න තාක්කල් බේරිලා ඉන්න පුළුවන්.. අපි නරක තත්ත්වයකට වැටුණුදාට අපි කරන්නෙත් මාධ්‍යවේදියා කරපු දේම තමා..             

අර්බුදය එන්න එන්නම වැඩිවෙනවා... අවසාන ජවනිකාවෙදි ලකාගේ මනසට ආවේ මොන වගේ දෙයක්ද?
ඒක හරි කාලකන්නි හැඟීමක්..  අපි හැමෝම ගැන... ජීවිතේ අපිට තියෙන සම්බන්ධකම්, මිනිස් ලෝකය ගැන.. මිනිහෙක් පෙරළගෙන තව මිනිහෙක් උඩ නගින්න තියෙන උවමනාව ගැන අපිටම ලැජ්ජයි. 
ලකා කතාවට තිත තිබ්බා... 

ලකා ලේසියෙන් තිත තිබ්බට වෙන එකෙක්ව ආතල් එකකට අරගෙන ඌ විඳින වේදනාව සතුටක් විදියට විඳින්න හුරුවෙච්ච සමාජයට තිත තියන්න නම් තව හිතාගන්න බැරි කාලයක් ගතවෙයි. සමහරවිට එහෙම තිතක් ඇති දවසක් නෑවිදින්ම තියෙයි. ඒක තමා තිත්ත ඇත්ත.

► Danushka 

   Pic – Sumudu

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00