මේ කියන්න යන ප‍්‍රදේශය එක ළඟ ගෙවල් පිරුණු පළාතක්. හරියටම කියනවනම් ගෙවල් මණ්ඩියක්. මේ ගෙවල් මණ්ඩියේ අවුරුදු 20ක් 25 ක් අතර තරුණයෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ තුන් දෙනා හොඳම මිතුරන් කියලා කියන්න පුළුවන්. තුන්දෙනත් එක්ක එක වෙලාවකට කොහේ හරි ක්ලබ් එකකට ගිහිල්ලා කරටි කැඩෙනකම් මත්පැන් බොනවා. එහෙම නැත්නම් දකින් දකින කෙල්ල පස්සේ යනවා. තව වෙලාවකට කාට හරි මොකක් හරි අංචියක් අදිනවා. මේ තුන්දෙනා ජීවත්වන පරිසරය එච්චර ධනවත් ප‍්‍රදේශයක් නොවුණත් මේ තුන්දෙනා ජීවත් වෙන්නේ නම් රාජ කුමාරවරු තුන් දෙනෙක් වගෙයි.
ඔන්න දවසක් මේ තුන්දෙනා ජීවත් වෙන ගෙවල් මණ්ඩියට එනවා එක පාරක් දැක්කම ආපහු හැරිලා බලන්න හිතෙන තරම ලස්සන රූ සපුවක් තියෙන සුන්දර තරුණියක්. ඉතින් මම කියාගෙන ආව අපේ රාජ කුමාරවරු තුන් දෙනාටනම් ඒ කෙල්ල දැක්ක ගමන් තුන් දෙනාගෙම හිත්වලට විදුලි සැර වදිනවා. තුන් දෙනාම ඒ ලස්සන කෙල්ලගේ ආදරය ලබා ගන්න ඇය පස්සෙන් යනවා. ආදරය විනෝදය සපිරුණු මෙන්න මේ මම කියාගෙන ආව කතාව සම්පූර්ණයෙන් බලන්නනම් අපිට තව පොඩි දවසක් ඉවසගෙන ඉන්න වෙනවා. ඒත් ඒකට වැඩි කාලයක් නම් ඉන්න ඕන නැහැ. දවස හරියටම කියනවනම් 2018 ජූලි 27 තමයි ඒ දවස. අන්න එදාට තමයි ජයේෂ් ප‍්‍රධාන් අධ්‍යක්ෂණය කළ ලිසෙල්ලේ ඩි සූසා සහ මයුර් කේ බැරට් නිෂ්පාදනය කරලා තියෙන නවාබ්සාදේ කියන හින්දි සිනමාපටය තිරගත වෙන්නේ. නවාබ්සාදේ කියන්නේ රාජ කුමාරවරුන්ගේ පුතාලා කියන තේරුමයි. නවාබ්සාදේ හින්දි සිනමාපටයේ කතාව ලියොලා තියෙන්නේ ප‍්‍රදීප් සිං. රොමෑන්ටික් කොමඩි කියන ලේබලයෙන් යුතුව හින්දි සිනමාවේ තිරගතවෙන නවාබ්සාදේ හින්දි සිනමාපටය සප්ත ස්වරයෙන් හැඩකරලා තියෙන්නේ ගුරින්දර් සේගල්, ගුරු රන්ධාවා සහ බාද්ශාහ.
නවාබ්සාදේ හින්දි සිනමාපටයේ වරුන් ධවාන්, ශ‍්‍රද්ධා කපූර්, බාද්ශාහ සහ ආතියා ශෙට්ටි රංගනයේ නිරත වෙනවා කිව්වොතින් ඔබ මේ සිනමාපටය බලලා රසවිඳින්න ඔවුන්ට කැමති පේ‍්‍රක්ෂකයෙක් නම් බොහෝ කැමතිවෙයි. ඇත්තටම ඔවුන් මේ සිනමාපටයේ ඉන්නවා. ඒක නවාබ්සාදේ හින්දි සිනමාපටයේ පුරා ප‍්‍රචාරණයේදීත් අපිව දැනුම්වත් කරනවා. ඒත් ඔවුන් ඉන්නේ ආරාධිත ශිල්පීන් විදියට මේ සිනමාපටයේ තියෙන ඉතාම රමණීය ගීත කිහිපයක් සඳහා පමණයි.
නවාබ්සාදේ හින්දි සිනමාපටයේ ගීත පහක් මේ වනවිටත් යූටියුබ් හරහා සහ ඉන්දියාවේ විවිධ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. හයි රේටඩ් ගබ් රූ, තේරේ නාල් නාච්නේ, මම්මී කසම්, ලගී හවා දිල් කෝ කියන ගීත ඒ අතුරින් මේ වෙද්දි ගීත රසිකයින් ආසාවෙන් රහ කරන ගීත. මේ සිනමාපටයේ ගී පද රචනා කරලා තියෙන්නේ සහ සප්ත ස්වරය මුසු කරලා ගීත බවට පණදීලා තියෙන්නේ ගුරු රන්ධාව, බාද්ශාහ, කුනාල් වර්මා, ගුරුන්දර සීගල්, සන්දීප් නාත් කියන කට්ටිය වන අතර මේ ගීත ගායනා කරන්න ඔය කිව්ව කට්ටියගෙන් කීපදෙනක් එක්ක සුනන්ද ශර්මා, පායල් දේව්, ඉක්කා, අදිති සිං ශර්මා, මිකා සිං, අල්තාමාශ් ෆරීදී සහ නෙට්ලේ කියන කට්ටිය හඩින් පන දෙඉලා තියෙනවා. මේ සිනමාපටයේ චරිතවලට පණ පොවලා තියෙන්නේ නම් අපිට එච්චර හුරු පුරුදු අපි දන්න කියන අය නෙවෙයි. ඒත් ඔවුන් ඉන්දියාව තුළ නම විවිධ ක්ෂේත්‍ර වල නමක් තියාගෙන ඉන්න පිරිසක්. මුලින්ම රාඝව් ජුයාල් ගැන කියලා ඉන්නම්කෝ. 1991 ජූලි 10 වැනිදා ඉන්දියාවේ උත්තර්කන්ඩ්වල දෙහරාදුන් කියන ප‍්‍රදේශයේදී ඉපදිලා තියෙන රාඝව්ගේ තවත් නමක් තමයි ක්‍රොක් රොඇක්ස් කියන්නේ. ඔහු වෘත්තියෙන් නර්තන ශිල්පියෙක්, කෝරියෝග‍්‍රැෆර් කෙනෙක්, නළුවෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්ද ලෙසින් සඳහන්. බී කොම් උපාධිධරයෙක් වන රාඝව් ඉන්දියාවේ නර්තන තරග බොහොමයකින් ජයගෙන ඉන්දියාව තුළ නමක් දිනා සිටින තරුවක් විදියට තමයි ජනප‍්‍රියවෙලා තියෙන්නේ. ඊළඟට ඔබට කියන්න හදන්නේ පුනිත් පතක් ගැනයි.
මුම්බයිවල ඉපැදුණු පුනිත්ගේ මව උතුරු ඉන්දියවේ ගර්වාල්වල වන අතර පියා ගුජරාත්වල කෙනෙක්. පුනිත් වෘත්තියෙන් නර්තන ශිල්පියෙක්. නර්තන තරග රාශියකින් දස්කම් පෙන්නලා තියෙන පුනිත්ගෙත් නවාබ්සාදේ කියන්නේ තම දක්ෂතා පෙන්වන පළවෙනි සිනමාපටයයි.
කොල්ලෝ තුන්දෙනාගෙන් දෙන්නෙක් ගැන කිව්වනේ. 1983 ඔක්තෝබර 31 වැනිදා ඉන්දියාවේ ගුජරාත් ප‍්‍රාන්තයේ බරෝඩාවල ඉපදුණු ධර්මේෂ් යෙලන්දේ තමයි තුන්වෙනි කෙනා. ඔහුගේ වෘත්තිය විදියට සඳහන් කරලා තියෙන්නේ නර්තන ශිල්පියෙක්, කෝරියොග‍්‍රැෆර් කෙනෙක් සහ රංගන ශිල්පියෙක් විදියටයි. විවිධ නර්තන තරගවලට ඉදිරිපත්වෙලා ඒවයින් ජය ලබා සිටින ධර්මේෂ් තමන්ගේම නර්තන ඇකඩමියකුත් පවත්වා ගෙන යන කෙනෙක්. ඔහු මෙන්න මේ කියන සිනමාපටවලත් විවිධ චරිතවලට පණ දීලා තියෙනවා.
2013 ABCD : Any Body Can Dance, 2015 ABCD 2, 2016 Banjo (Drumer)
රාජකුමාරයෝ වගේ හැසිරෙන හාදයෝ තුන්දෙනා ගැන විතරක් කියලා මදිනේ. මේ තුන් දෙනාම ආදරය කරන ඇය ගැනත් කියන්න ඕනනේ නේද? 1993 සැප්තැම්බර් 09 වැනිදා ඉන්දියාවේ චන්දිගර් වලදී ඉපදිලා තියෙන ඇය නතන්ම් ඊශා රිඛී 2013 සිට හින්දි සිනමාවට නිළියක් විදියට සම්බන්ධවෙලා ඉන්නවා. මුලින්ම ඇය සම්බන්ධ වෙන්නේ පන්ජාබ් සිනමා පටයකටයි. ඒ 2013 වසරේ තිරගතවුණු ජාත් බෝයිස් පුත් ජත්තාන් දේ කියන සිනමා පටයටයි. ඊට පස්සේ පංජාබ් සිනමාපට කිහිපයකම විවිධ චරිතවලට පණ පොවලා තියෙන ඊශා ගේ මුල්ම හින්දි සිනමාපටය වෙන්නේ නවාබ්සාදේ හින්දි සිනමාපටයයි. අලුත් මුහුණු වුණත් සිනමාපටයේ පූර්ව ප‍්‍රචාර පට නැරඹුවාම සහ මේ සිනමාපටය ගැන ඉන්දියාවේ මාධ්‍යවල පලකරලා තියෙන ලිපි බැලුවම නම් සාර්ථක සිනමාපටයක් වෙයි කියන ඉඟිය තමයි දෙන්නේ.
Translation — Chandana Waravitage