එයයි මමයි
විශ්ව මතකද අමිලව මුලින්ම මුණගැහුණු කාලය...?
ඔව්... මට තාම මතකයි... අමිල අයියාවයි මමයි මුලින්ම මුණගැහුණේ 2003 අවුරුද්දේදී විතර. එක දවසක් අවුරුදු උත්සවයකට යන්න හොඳ කෙනෙක් කවුද කියලා මගේ තාත්තා මගෙන් ඇහුවා. ඒ කාලෙදී මම ලොකුවට කලාවට සම්බන්ධ නැහැ. හැබැයි මම නාට්‍ය බලනවා. ඒ නිසා ඒ නාට්‍යවලින් හොඳ කවුද කියලා මගෙන් තාත්තා ඇහුවා. ඒ වෙනකොට අමිල අයියා එක්ක අඩුමගානේ මට ෆෝන් එකෙන්වත් කතාකරලා තිබුණේ නැහැ. ඉතින් තාත්තා අහපු විදිහට මට එකපාරටම මතක් වුණේ අමිල අයියවයි. ඉතින් මම තාත්තට “අමිල අබේසේකරව” එක්කගෙන යමු කියලා කිව්වා. ඒ වෙනකොට ඒ අවුරුදු උත්සවයට තාත්තා සුරාජ් මාපාටත් කතා කරලයි තිබුණේ.
ඉතින් මම කියපු නිසාම තාත්තා සුරාජ් අයියා මාර්ගයෙන් අමිල අයියටත් අවුරුදු උත්සවයට ආරාධනා කළා. ඉතින් ඔන්න දැන් සුරාජ් අයියා හරහා අමිල අයියත් එදා අවුරුදු උත්සවයට යන්න ආවා. හැබැයි එදා අමිල අයියා හිටියේ හරිම කාර්යබහුලත්වයෙන්. නිතරම අමිල අයියට කෝල්ස් ආවා. එයා ඒවා අන්සර් කළා. ඒ නිසා එකම කාර්එකේ අවුරුදු උත්සවය බලන්න ගියාට අපිට ලොකුවට කතාබහ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇත්තම කීවොත් මම ඒ වෙලාවේ අමිල අයියා එක්ක කතාබහ කරන්න උත්සහා කළාට එයා හරිම බිසී. ඉතින් තාත්තායි සුරාජ් අයියයි කාර්එකේ ඉස්සරහා ගියා. මායි අමිල අයියයි පිටිපස්සේ වාඩිවෙලා ගියා. හැබැයි කතා කරන්න ඉඩ ලැබුණේ නැහැ. හැබැයි අමිල අයියා හරිම සුහදශීලීව හිනා වුණා. ඒක හරිම වටිනවා.
ඒ කියන්නේ අමිල ආඩම්බරද...?
අනේ නැහැ... එදත් අමිල අයියා ආඩම්බර නැහැ. අදත් අමිල අයියා ආඩම්බර නැහැ. ඒක මම ඕන තැනක කියනවා. එයා එදා හිටියේ ෆෝන් එකේම සිහියෙන්. එකදිගට එයාට කෝල්ස් ආවා. ඒ නිසා මාත් එක්ක කතාබහ කළේ නැත්තේ. හැබැයි ඉඩ ලැබෙන හැමවෙලේම අමිල අයියා සුරාජ් අයියා එක්කයි, අපේ තාත්තා එක්කයි කතාබහ කළා. එදා ඒ තුන්දෙනාගේ කතාබහට හිනාවෙන එක විතරයි කළේ.
ඊට පස්සේ දෙන්නා මුණගැහෙන්නේ කොයි කාලේදීද...?
ඔව කාලේදී “පබා” ටෙලිනාට්‍යය හරිම ජනප්‍රියයිනේ. ඉතින් “පබා” ටෙලිනාට්‍යය ලියපු මහේෂ් රත්සර මද්දුමආරච්චියි ඒක අධ්‍යක්ෂණය කරපු ශාන්ත සොයිසායි එකතුවෙලා ඊට පස්සේ කරපු “පබළු” ටෙලිනාට්‍යයෙ රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් “පබළු” ටෙලිනාට්‍යයේ මුහුරත් උළෙලට අමිල අයියත් ඇවිත් හිටියා. එදා මම අමිල අයියා එක්ක කතාබහ කළා. හැබැයි ඒකත් සාමාන්‍ය කතාබහක් විතරයි. එදා අමිල අයියා “පබළු” ටෙලිනාට්‍යය වෙනුවෙන් මට විෂ් කළා. “මල්ලී හොඳට කරපන්” කියලා කිව්වා. ඒ දේවලුත් එක්ක අමිල අයියාව තවත් මගේ මතකේ තිබුණා. ඊට පසුකාලේදී අමිල අයියාව මට මුණගැහුණා. හැබැයි ඒවා සාමාන්‍ය මුණගැසීම් පමණයි.
පසුකාලීනව විශ්වයි අමිලයි බොහෝ කිට්ටු මිතුරන් වුණේ කොහොමද...?
ධනාගේ (ධනංජය සිරිවර්ධනගේ) උත්සවයට තේජා අක්කත් අමිල අයියයි, මායි මගේ බිරිඳයි සහභාගී වුණා. මට තාම මතකයි මායි මගේ බිරිඳයි විවාහ උත්සවයට ගිහින් එන තැනකදී මම ඈත තියාම තේජා අක්කයි, අමිල අයියයි ඉස්සරහට ඇවිදගෙන එනවා දැක්කා. මම අමිල අයියා ළඟට ගිහින් “අමිල අයියේ කොහොමද... මම ඔයාව මීට කලින් මුණගැහිලා තියෙනවා... මම ඔයාගේ හොඳ රසිකයෙක්...” කියලා කිව්වා. ඒ වෙලාවේ තේජා අක්කා ඔළුවේ අතගහගත්තා. ඉතින්... එදා අමිල අයියටත් හිනා. අපි හතරදෙනාම හොඳට කතාබහ කළා. ඉතින් ඒක තමයි අපේ මිතුරුකමේ ආරම්භය වුණේ.
ඊට පස්සේ ඉතින් අමිලයි විශ්වයි හොඳ යාළුවෝ වුණා...?
ඔව්... එදා මම අමිල අයියගේ නම්බර් එක ඉල්ලාගෙන ආවා. ඊට දවස් දෙක තුනකට විතර පස්සේ මම අමිල අයියට කතා කළා. ඊට පස්සේ අපි හතර දෙනා රෑ කෑමකට එළියට ගියා. ඉතින්... එදා ඉඳන් අපි හොඳ යාළුවෝ.
අමිල මොනවගේ කෙනෙක්ද...?
අමිල කියන්නේ මට හොඳ යාළුවෙක්ටත් වඩා හොඳ සහෝදරයෙක්. මගේ ජීවිතේ මට හමුවූ හොඳ සහෘදයෙක් ඔහු. මගේ හැමදේකදීම ඔහු මගේ ළඟ හිටියා. ඒ ගැන ඇත්තටම සතුටුයි. වෙලාවකට ඔහු මට හොඳ යාළුවෙක් වගේම හොඳ අයියා කෙනෙක්.
කොච්චර හොඳ මිතුරන් වුණාට එකට රඟපාන්න අවස්ථාව ලැබුණේ නැහැ නේද...?
නැහැ... එකට රූගත කිරීම් කරන වැඩකටනම් එකතුවෙන්න ලැබුණේ නැහැ. හැබැයි එක නාට්‍යයක අපි දෙන්නටම සහභාගී වෙන්නනම් පුළුවන් වුණා. ඒ ලක්ෂ්මන් පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ “සසර සේයා” කියන ටෙලිනාට්‍යයේයි. ඒක නිෂ්පාදනය කළේ විනෝජා මහත්මියයි. ඉතින් එකම රාමුවක රඟපාන්න නොලැබුණාට ලක්ෂ්මන් පුෂ්පකුමාර අපිට දුන්නු ඒ අවස්ථාව අපිට ගොඩාක් වටිනවා.
කොහොමද යාළුවට කේන්ති යනවද...?
අමිල අයියට ඒ කාලේ එහෙම කේන්ති ගිහින් තිබුණා. හැබැයි ඒවා දැන් ඔහු හදාගෙනයි තියෙන්නේ. අමිල අයියට කේන්ති යන කිසිම තැනක මම අමිල අයියට බණින්නේ නැහැ. අමිල අයියා ආවට ගියාට කේන්ති යන කෙනෙක් නෙමේ. අනික එයා එහෙම රණ්ඩු කරන කෙනෙක්නම් නොවේ. ඔහුට අසාධාරණයක් දකිද්දී කේන්ති යනවා. ඒ වැරදි ඔහු පෙන්නලා දීපු තැන් තිබුණා. හැබැයි මේ වෙද්දී ඔහු ඒ කේන්තිය පාලනය කරගෙනයි තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි තේජා අක්කා. අද අමිල අයියා කියන්නේ එදාට වඩා හාත්පසින්ම වෙනස්, කේන්ති නොයන හරිම නිහතමානි චරිතයක්.
අමිල රංගනයට වගේම නිවේදනයටත් සම්බන්ධ වෙනවා. විශ්ව දකින විදිහට අමිල වැඩිපුරම දක්ෂ මොන ක්ෂේත්‍රයටද...?
අමිල රංගනයේදී වෙනස් කෙනෙක්. ඔහු රංගනයේදී ඒ චරිතයටම ආවේණික කෙනෙක් වෙනවා. ඔහු චරිතවලට හරිම සාධාරණයක් ලබලා දෙන කෙනෙක්. නිවේදන කටයුතුවලදී ඔහු වෙනස් විදිහේ නිවේදන කටයුත්තක නියැලෙන කෙනෙක්. ඔහු කවදාවත් ඒ ක්ෂේත්‍ර දෙක පටලවා ගන්නේ නැහැ. ඇත්තටම ඔහු රංගනයට වගේ නිවේදනයටත් දක්ෂයි.
එයාගේ විලාසිතා ගැන විශ්ව මොකද හිතෙන්නේ...?
අම්මෝ... ඒ ගැන කියන්න ගියොත් වැඩක් නැහැ කතා කරලා. මම ඒ වගේ කොන්ඩ වෙනස් කරන, රැවුල් වෙනස් කරන, හරි ලස්සනට ඇඳුම් අඳින පිළිවෙළක් තියෙන මනුස්සයෙක් මම දැකලා නැහැ. සමහරදාට තේජා අක්කම අපිට කියන දෙයක් තමයි. “මල්ලී... අමිල විදිහට මට නම් පිළිවෙළට බඩු තියන්න බෑ” කියලා... ගෙදර හිටියත් අමිල අයියගේ හැමවෙලේම කොස්ස අතෙයි. එයාට පිළිවෙළට ඉන්න ඕනේ. කුණු පොඩ්ඩක් තිබ්බත් ටක්ගාලා අතුගාලා එළියට දානවා. ඇඳුම් පැළඳුම් ගන්න ගියත් හරියට හොයලා බලනවා. ඒවා අඳිද්දී වුණත් හරිම පිළිවෙළයි. කොණ්ඩය හැදුවත්, රැවුලක් කැපුවත් එයා හරිම වෙනස්. මනුස්සයෙක්ගේ ජීවිතේ පිළිවෙළක් වුණාම තමයි ඒ මනුස්සයාට ගමනක් තියෙන්නේ. ඉතින් ඒකට හොඳම උදාහරණය වෙන්නේ අමිල අයියම තමයි.
අමිල හරි විනෝදකාමී නේද...?
විනෝදකාමි කියන එකේ සීමාවක් නැහැ. ඔහු විනෝද වෙන්න හරිම කැමතියි. ඒ වගේම ගමන් බිමන් යන්නත් හරි ආසයි. සමහරදාට මායි එරන්දියි, තේජා අක්කයි, අමිල අයියයි එහෙම කොළඹ අවට ගිහින් තියෙනවා. හැබැයි ප්‍රශ්නය කියන්නේ අපේ වැඩත් එක්ක කොළඹින් පිට දවස් දෙක තුනනම් ගිහින් නැහැ. මටයි අමිල අයියටයි නිවාඩු තිබුණට සමහරදාට තේජා අක්කා ලංකාවේ නැහැ. ඉතින් අපි හතරදෙනා සමහරදාට රෑ කෑමට පිටට ගිහින් නම් තියෙනවා. ඒ ගියපු හැමවෙලේම අමිල අයියා ඉන්නේ හරිම සතුටින්.
අමිල වගේ කෙනෙක් ජීවිතේට සමීප වීම ගැන විශ්ව මොකද හිතන්නේ...?
ඒක මාරයි... මනුස්සයෙකුට තව හොඳ කෙනෙක් ලැබෙන්නේ එක්තරා පිනකට. මම හිතනවා මට ඒ පින උපරිමයෙන් කරලයි තියෙන්නේ. අමිල අයියා මගේ ජීවිතයට ලැබුණ හොඳම හොඳ සහෝදරයෙක්.
විශ්වගෙන් අමිල ගැන අහපු එකේ අපි අමිලගෙනුත් විශ්ව ගැන ඇහුවේ නැත්නම් ඒකත් ලොකු අඩුවක් වේවිනේ. ඒ නිසාම අපි ඔන්න අමිල එක්කත් කතා කළා.
අමිල... විශ්ව වගේ යාළුවෙක් ජීවිතේට මුණගැහුණ එක ගැන මොකද හිතෙන්නේ...?
ඇත්තටම විශ්ව කියන්නේ මට හොඳ සහෝදරයෙක්. මේ ක්ෂේත්‍රයේ ඉන්නා බොහෝ අලුත් කලාකරුවන්ට විශ්ව ඇත්තටම ආදර්ශයක්. විශ්ව කවදාවත් ඔළුව උදුම්මවා ගත්තු කලාකරුවෙක් නෙමේ. විශ්වගේ තාත්තා ක්ෂේත්‍රයේම සම්බන්ධ කෙනෙක් වුණාට විශ්ව කවදාවත් ඒ දැන හැඳුනුම්කම මත මේ ක්ෂේත්‍රයේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න උත්සාහ කරපු කෙනෙක් නෙමේ. එයා හැමවෙලේම ස්වාධීනව හිතන කෙනෙක්. ඇත්තටම මම ඒ ගතිගුණයට ගොඩාක් ගරු කරනවා.
විශ්ව විනෝදයට කැමති කෙනෙක්ද...?
ඒ ගැනනම් කියලා වැඩක් නැහැ. විශ්වයා කියන්නේ හැමවෙලේම සතුටින් ඉන්න හරිම විනෝදකාමි කෙනෙක්. විශ්ව හැමවෙලේම මොකක්හරි දෙයක් කියලා හයියෙන් හිනාවෙනවා. අපි ඔය පාටියකට ගියත් විශ්ව එක එක කතා කියලා මහ හයියෙන් හිනාවෙනවා. විශ්වයා ඉන්න තැන ඇත්තටම කිසිම පාළුවක් නැහැ. හැබැයි කොයිතරම් විනෝදකාමි වුණත් විශ්ව කියන්නේ හරිම හිත හොඳ කොල්ලෙක්. පවට බයයි. දුකේදී හිත උණුවෙන හරිම හොඳ කෙනෙක්. විශ්වගේ ගම නුවර. ඉතින් එයා දළදා මාළිගාවට යන්න හරිම කැමතියි. ඒ වගේම බොහෝ පින්දහම් වැඩ විශ්ව කරනවා. හැබැයි ඒ කිසිම දෙයක් විශ්ව කරන්නේ ප්‍රසිද්ධිය බලාගෙනවත් ජනප්‍රිය වෙන්නවත් නොවේ.
රංගන ශිල්පියෙක් විදිහට විශ්ව මොන වගේද...?
ඇත්තටම රංගන ශිල්පියෙක් විදිහටත් විශ්ව දක්ෂයි. මටයි විශ්වටයි එකට රඟපාන්න අවස්ථාව නම් ලැබුණේ නැහැ. හැබැයි විශ්ව මට මුණගැහෙන හැම මොහොතකම එයාගේ රංගනයන් පිළිබඳව මාත් එක්ක කතාබහ කරනවා. මගෙන් අඩුපාඩු ගැන අහනවා. විශ්ව රංගනය පිළිබඳව ඉගෙන ගන්න හරි ආසයි. ප්‍රවීණයින් ගැන වුණත් විශ්ව තුළ ලොකු ගෞරවයක් තියෙනවා. ඇත්තටම මට විශ්ව හොඳ රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමේ. විශ්ව කියන්නේ හොඳ සැමියෙක් වගේම හරිම ආදරණීය තාත්තා කෙනෙක්.
විශ්වගේ විලාසිතා ගැන මොකද හිතෙන්නේ...?
හරි හැඩට අදින්න විශ්ව හරි ආසයි. සමහර කාලවලදී නම් එක එක අලුත විදිහේ කොන්ඩ මෝස්තරත් විශ්ව කළා. හැබැයි ඒ හැම එකක්ම විශ්වට ලස්සනයි.
ඒ වගේ යාළුවෙක් මුණගැසීම ගැන මොකද හිතෙන්නේ...?
තාමත් අපිට එකම ටෙලිනාට්‍යයක එකම රාමුවක ඉදලා රඟපාන්න අවස්ථාව ලැබුණේ නම් නැහැ. හැබැයි අපිට එකට ජීවිතේ ගැන කතාබහ කරන්න අවස්ථාව ඕන තරම් ලැබිලා තියෙනවා. විශ්වයි මායි වගේම තේජායි එරන්දියිත් හරිම යාළුවෝ. ඉතින් ඒ නිසා ඇත්තටම විශ්ව කියන්නේ මට පවුලේ හිතවතෙක් වගේම හොඳ යාළුවෙක්. ඒ හැම දේටම වඩා විශ්ව මට හොඳ සහෝදරයෙක්.
Text - Dishani / Pic- Sumudu