ආදරයක් එක්ක හිඟාකන්න පුළුවන්. ඒක සතුටක්. ආදරයක් නැතුව රජෙක් වුණත් වැඩක් නැහැ... ඔයාගෙ හිතට ඒ වචන දැනෙන්නෙ කොහොමද? ආදරයක් එක්ක හිඟාකනවා වෙනුවට ආදරයක් එක්ක රජවෙන්න පුළුවන්නම්... ආදරයෙන් ජීවිතයකට ඉසුරු හදන්න පුළුවන්නම්... ඔව් ජීවිතයක් නිවන්නත් ජීවිතයක් අවුළුවන්නත් ප්‍රේමයකට පුළුවන්.. ඒත් ප්‍රේමයෙන් විතරක් නෙවෙයි ජීවිතයෙන්ම අපි ගින්දර වෙනුවට ඉල්ලන්නේ සිහිලස... මරණය තෙක්ම අපි යදින්නෙ ප්‍රේමය.... මහා ආදරයකින් භක්තියකින් නළල ඉඹිද්දී හැම ලේ නහරයකටම දැනෙන ආදරයක් නෙවෙයිද අපේ සංසාර ප්‍රාර්ථනය... අපේ ජීවිත ප්‍රාර්ථනය...
කටු ඉපදෙන්නෙත් ලස්සනට මල් පිපෙන්නෙත් පල හැදෙන්නෙත් එකම ගහක... හැමදාම රෝස මලක සුවඳ විඳගන්න ඉඩහදන ගසම ආදරයෙන් රෝසමල සිඹගන්න ඉඩහදන ගහම හිටපු ගමන් කටුවක වේදනාව ඇඟිලි තුඩකට දෙන්න පුළුවන්.... රිදිල්ල මොහොතකට වුණත් මහා රිදිල්ලක් විදිහට දැනෙන්න පුළුවන්... රිදිල්ල දැනුණේ ඇඟිලි අග්ගිස්සටද? ඇඟිලි අග්ගිස්ස තෙත් කළ ලේ බිඳුවටද? හදවතටද? පිහි තුඩකින් ඇන්නත් නොදැනෙන වේදනාවක් දනවන්න එක වචනයකට පුළුවන්... ඒ වචන ආයෙත් ආයෙත් විස කටුවක් වගේ හදවතේ ඇමිණි ඇමිණී ලේ වක්කරවද්දී දැනෙන වේදනාව මම විතරක් නෙවෙයි ඔයත් දන්නෙ නැතුව ඇති නිර්වචනය කරන්න... ඒත් එහෙම වේදනා නුහුරු නොවෙයි නම් ඒ වේදනාවේ තරම ඔයත් දන්නවා ඇති....
කටුවක වේදනාව දුන්නෙත් හදවත සුවඳවත් කළ මල් ගහම නේද කියලා හිතලා නිහඬවම ඒ වේදනාව දරාගන්න පුළුවන්නම්... ගින්දරක් ළඟ සුළඟක් නොවී දියවරක් වෙන්න පුළුවන්නම්... දුකක් වේදනාවක් හිත කොනිති ගහද්දීත් ආවේගයකින් නෙවෙයි කඳුළකින් ඒ හිත නිවාගන්න පුළුවන්නම්..... වචනවලින් මරන්නෙ නැතුව ආදරයෙන් ජීවිතය දෙන්න පුළුවන්නම්... ඇණුම් බැණුම් රණ්ඩු සරුවල් සැර වචන අස්සෙ කීරි ගැස්සෙන හිත තෙතමනයකින් සංසිඳවන්න පුළුවන්නම්.... එතන නෙවෙයිද ආදරය තියෙන්නෙ... අවුළුවන තැන නෙවෙයි නිවාලන තැන නෙවෙයිද ආදරය තියෙන්නෙ...
ආදරය වෙලාවකට ගිනිදන මද්දහනක් වගේ... අපි රාත්‍රියක සැනසිල්ල කළුවරක සිහිලස... නිහඬ බවක ආශිර්වාදය හොයන්නෙ ඒ මද්දහනේ සරතැස දරාගන්න බැරිම මොහොතක... ආදරණීය විදිහට දැනෙන පාරවල් ජීවිතේ ඕනතරම් හමුවෙන්න පුළුවන්... වීදියකින් වීදියකට මාරුවෙවී ඇවිදින්න අපි සිතියම් අඳින්නත් පුළුවන්... මලක් දකින්න පය ගහපු පොළොවෙන්ම උල් කටු මතුවෙන්නත් පුළුවන්. රිදෙන යටිපතුල් වෙනුවෙන් පහසින් පිරුණු බුමුතුරුණු කොතනකවත් නොඑලෙන්න පුළුවන්... ඒත් අපි කොහොමද මරණය කතාකරන තෙක් ජීවිතයේ පාර දිගේ නොඇවිද ඉන්නෙ... ගිමන් හරින්න අම්බලමක නැවතුණත් ගිමන් නිවුණු කල හොයාගෙන යන්නෙ නමට හරි මගේ වෙච්ච ගෙපැල හෝ සඳලුතලයනම් මගේමයි කියලා හිතුණත් අම්බලම අම්බලමක් විතරමයි නේද?
හිටපු ගමන් මහ වැහිවහියි. ඒත් මහ වැහි ඉල්ලගෙන හැම මොහොතකම අහස දිහා බලන්න එපා. ඇස්දෙක බිමට හරවාගෙන කලාතුරකින් හරි වහින වැස්සක තෙත විඳගන්න... ජීවිතය හුඟක් දේවල් අවසානයේ ඉතුරු කරන්නේ වේදනාවක් කලකිරීමක් සහ මතකයක් විතරයි... ඒ වෙලාවට හිතෙනවා රජකමටත් වඩා සතුට සහ ආදරය මහා ඉසුරක් කියලා... ඒත් රජවරුත් ඒ ඉසුර වෙනුවෙන් හිඟමන් යදිනවා... ආදරය සහ සතුට තරම් ඉසුරක් කොහේද? කොතැනකද? ලැබෙන තැනදී නෙවෙයි නොලැබෙන තැනදී නොරිදෙන තැනදී නෙවෙයි රිදෙන තැනදී හිත අනන්තවත් පාරන හිතුවිල්ලක් තමයි ඒ...