භුතයන් කියූ සැණින් බොහෝ දෙනෙකු බිය වෙනවා. තව සමහරු නූල් බඳිනවා. තවත් සමහරු භූතයින් බැඳ ගෙන වැඩගනිද්දී තවත් පිරිසක් භූතයන් කියා කොටසක් නැතැයි සමච්චල් කරනවා. ඒ කොයි හැටි වුණත් භූතයින් සමඟ යහන්ගත වෙන කාන්තාවක් ගැන එංගලන්තෙන් වාර්තා වෙනවා.
ඇමතිස්ට් නම් තිස්පස් හැවිරිදි මේ කාන්තාව දැනට අවුරුදු 11ක් තිස්සේ භූතයින් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන බව ඈ පසුගියදා රූපවාහිනී සාකච්ඡාවකට ඇවිත් ප්‍රකාශ කළා. මීට අවුරුදු 11කට පෙර තමන්ට සාමාන්‍ය පිරිමියෙකු සමඟ තිබුණු සම්බන්ධතාවය නතර කිරීමෙන් පස්සෙ ඈ මේ දක්වා භූතයින් 20 දෙනෙකු ළඟින් ඇසුරු කර තිබෙන බව කියවෙනවා. මේ ප්‍රේම සම්බන්ධතා කොතරම් ගැඹුරුද කියනවා නම් ඈ භූතයින් සමඟ එකට යහන්ගත වන බවත් ඈ ප්‍රකාශ කරනවා.
“සාමාන්‍ය පිරිමියෙක් එක්ක ඉන්නවා වගේම මට භූතාත්මයක් එක්ක ඉද්දිත් දැනෙනවා. අපි දෙන්නා එකට යහන්ගත වෙනවා කියලා මට දැනෙන්නේ මගේ ඇඟ උඩට වැඩි බරක් දැනෙන්න ගත්තමයි. ටිකකින් මගේ කලවා තදවෙනවා වගේත් දැනෙනවා. ඉන්පස්සේ වේගයෙන් හුස්ම වැටීම වගේ දේවල් දැනෙනවා” ඇමතිස්ට් ඒ විදිහට තමන්ගේ අත්දැකීම විස්තර කරනවා.
කොහොම නමුත් ඇමතිස්ට් කියන්නේ භූත ප්‍රේත ආත්මයන් සමඟ සම්බන්ධතා පවත්වන ගුප්ත ශාස්ත්‍රයේ නියුතු කෙනෙක්. ඒ නිසා භූතාත්ම සමඟ සන්නිවේදනය කිරීමේ කිසිදු බාධාවක් ඈට නැති ගාණයි. භූතාත්මයන් විස්සක් සමඟ ප්‍රේම සම්බන්ධතා ගොඩනඟා ගෙන සිටි ඈ මේ වනවිට ස්ථාවර සම්බන්ධයක් ගැන හිතන්න පටන් අරන්. ඈට තමන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු භූත ප්‍රේමය දැන් මුණගැසී තිබෙනවා. ඈට මේ ප්‍රේමය හමුවී ඇත්තේ ඕස්ට්‍රේලියාවේදී.
“මම එදා පාක් එකක ඇවිදිමින් හිටියා. එකපාරටම වේගයෙන් ආපු ශක්තියක් මගේ ඇඟට ඇතුළු වෙනවා වගේ මට දැනුණා. ඒත් එක්කම වෙනදා මට මුණගැහුණු ශක්තීන්ට වඩා වෙනස් බවක් මට මෙතැනදී දැනුණා. ඉන්පස්සේ එයා මාත් එක්කම එංගලන්තෙටත් ආවා” ඈ පවසනවා.
දැනට මාස කිහිපයක් තිස්සේ තමන්ගේ අලුත්ම භූත ප්‍රේමයත් එක්ක කාලය ගත කරන ඇමතිස්ට් දැන් සැරසෙන්නේ තම භූත ප්‍රේමයෙන් දරුවෙක් ලැබීමටයි. “මිනිස්සු හිතාවි ඒක විකාරයක් කියලා. ඒත් මම විශ්වාස කරන විදිහට භූත දරුවෙක් උපද්දවන්න පුළුවන්. ඒ දරුවා සාමාන්‍ය දරුවෝ වගේ නෙමේ, අපේ ශරීරයටම අරක් ගෙන වැඩෙනවා. ඉතින් අපි දෙන්නා මේ දවස්වල ඒ විදිහේ දරු උපතකට සූදානම් වෙනවා”.
මේ සිද්ධිය ගැන අදහස් දක්වමින් ලන්ඩනයේ මනෝ වෛද්‍ය මහාචාර්යවරයෙකු වන ක්‍රිස්ටෝෆර් ෆ්‍රෙන්ච් නම් කියන්නේ මෙය මානසික රෝගී තත්ත්වයක් නොවන බවයි. “මේක මානසික රෝගයක් කියලා කිව්වොත් වැරදියි. මේක ගොඩක් වෙලාවට නින්දේ විවිධ අදියරවලදී සිදුවන දෙයක්. නින්දේදී විවිධ තලවලදී අපි ගොඩක් දෙනෙක්ට විවිධ සිතිවිලි මතුවීම සාමාන්‍ය දෙයක්. මේකත් ටිකක් විශේෂී හැබැයි සාමාන්‍ය තත්ත්වයක්” ඒ ඔහුගේ අදහසයි.
I ඩේලිමේල් ඇසුරෙනි