දවල් දොළහ වෙනකොට අපි බම්බලපිටිය හංදිය ඉස්සරහා. මද්දහන... ඉර ටිකක් සැර වැඩි කරන ගිනිදන මොහොත..
සෙනසුරාදා දවස නිසා බම්බලපිටිය හංදිෙය් අවන්හල් කොල්ලො කෙල්ලන්ගෙන් පිරිලා.. ඉතිරිලා..
හලෝ... හලෝ....
පෙනුමෙන් ටිකක් ෆැෂන් කරන්න කැමති... යෞවනය විඳින තරුණ කොල්ලෙක් මගෙත් එකක්.
එහෙම පෙනුමක් තිබුණට ඉතා සරලව සැහැල්ලුවෙන් ලෝකෙ දිහා බලන, රසවත් විදියට නිර්මාණ විඳින්න කැමති අපේ කාලේ සරල මනුස්සයෙක් ඔහු.
ගීත රචනා කලාවට නව මානයක් එක් කරන්න හදපු කරපු යොවුන් ගීත රචකයෙක්. ඔහු නිවේදන කලාව ද ආගන්තුක නෑ.
මේ වෙන කවුරුත් නෙමේ... මනුරංග විජේසේකර.
මනූ ගැන කතා කරන කොට මනූව අපි මුලින්ම දැනගත්තේ...
එන්න මල්ලි, එන්න නංගී නටට නටට... එළි වෙනකන් සින්දු කියමු රොක් වෙලා, පාන් බාගෙ කපලා ගන්න, ප්ලේන්ටි වරක්කරලා ගන්න..... ලහිරු පෙරේරා ගයනා කරන සිංදුවේ පදරචකයා විදියට.. ඒ කාලෙ වගේම දැනුත් මේ සින්දුව කවුරුත් මුමුණන සින්දුවක්..
බම්බලපිටිය හංදියේ අවංහලක මුල්ලකට වෙන්න තිබුණු සෝපාවකින් අපි ඉඳගෙනම කතාව පටන් ගන්න තීරණය කළා.
මනූ... කොහොමද ජීවිතය.. අපි එතනින් පටන් ගමු නේද?
මේ දවස්වල අලුත් සින්දුවක් කරා ශනුක වික්‍රමසිංහ එක්ක... චාවෝ මල්ලි කියලා තව ටෙලිවිෂන් එකේ අලුත් වැඩසටහන් පටන්ගත්තා සුළං කුරැල්ලෝ කියලා. අලුතෙන් කරන්නේ ඕවා තමා... සාමාන්‍ය විදියට ජීවිතය ගෙවනවා....
හරි... එහෙනම්... වැඩේ පටන් ගමු...
අපිට දැනගන්න ඕනේ ඔබව ආකර්ෂණයෙන් නොබලා ඉන්න බැරි තැනට වැඩ සිද්ධ කරපු ආර්ට් වැඩක් ගැන. හැබැයි කොන්දේසි දෙකකට යටත් වෙන්න වෙනවා... ඒක මනුරංගගේ නිර්මාණයක් වෙන්නත් බෑ, ඒක ගීතයක් වෙන්නත් බෑ. ඒ ඇරෙන්න ඕනෑම නිර්මාණයක් ගැන කතා කරමු කියලා යෝජනා කළා.
හරි.. එහෙම නිර්මාණ ටිකක් අඩුයි.... ඒත් මම එහෙම නිර්මාණ දැකලා විඳලා තියෙනවා....
මම කැමතියි.... ලංකාවේ අපේ නිර්මාණයක් තොරගන්න.. පිස්සුවෙන් වගේ මම ඇතුළු මිනිස්සු රසවින්ද කූඹියෝ තමයි මම තෝරගන්නෙ. අපි ඒක ගැන කතා කරමු නේද...?
ප්‍රශ්නෙකට තවත් ප්‍රශ්නයක්... ඔව් ඒක හොඳයි... අපි කතා කරමු...
ලංකාවේ කුඹියෝ කියන නිර්මාණ එක්තරා මොහොතක පිස්සුවක් වුණා... මාව මාර ඇඩික්ෂන් එකකට ලක්කරපු නිර්මාණයක්... සරලව කිව්වොත් ඒ නාට්‍ය නිර්මාණ ශක්ති මාව වහල්කර ගත්ත කිව්වොත් හරියට හරි....
ලංකාවේ ඕනතරම් ගවේෂණාත්මක, කුතුහලය දනවන නිර්මාණ ඒ කාලෙ ඉඳලා මේ වෙනකම්ම බිහිවුණානෙ... ඇයි කුඹියන්ටම මෙච්චර වහල් වුණේ...
ඒකට හේතුව තමා කාලය... මම අසූව දශකයේ ඉපදුණු කෙනෙක්... අසූව දශකය පසුකරගෙන එද්දි මාරම උද්‍යෝගියමත් ටෙලි නාට්‍ය රැසක්ම රසවිඳින්න අපිට හැකි වුණා... එහෙම රසවිඳින්න තරම් මාරම නිර්මාණ ටිකක් රෑපවාහිනියේ තිබුණා... අඹ යාළුවෝ, ගිරය, කන්දෙගෙදර, දඬුබස්නාමානය, හාස්‍ය රස පැත්තෙන් ගත්තොත් බෝඩිම වගේ නිර්මාණ. අපි නාට්‍ය පුනරුදයක හිටපු මිනිස්සු. තාමත් ඒ නාට්‍යවල හිටපු චරිත අපේ මනසේ තැම්පත් වෙලා තියෙනවා... ගිරය නාට්‍යයේ ලුසිහාමි කියන චරිතයට ඒ කාලෙ අපි හරි බයයි... ඒ චරිතය බයවීමේ සංකේතයක් වගේ වුණා... ගිරය නාට්‍ය මතක්වෙන තරමටම ඒ චරිතය ප්‍රබලයි. ඒ කාලයෙන් පස්සෙ අපිව කම්පනය කරන නිර්මාණය බිහිවුණේ නැති තරම්.... මම නාට්‍යයක් බලනකොට මට අදාළ නෑ මේක සම්භාව්‍ය එකක්ද, හාස්‍ය ජනක එකක්ද කියන එක. මට වැදගත් වෙන්නේ මට ඒක දැනෙන විදිය සහ මිනිස්සු ඒක වැළඳගන්න විදිය. කුඹියෝ කියන නිර්මාණය මෙවැනි පරිසරයක් තුළ බිහි වුණු මාරම දෙයක් කරපු නිර්මාණයක්... චැනල් එකෙ එල්ලිලා ඊළඟ එපිසෝඩ් එක එනකන් බලන් ඉන්න නාට්‍ය දැන් නෑ.... මොකද චැනල් වැහි වැහැලා.... ඒවාවල එකම වෙලාවෙ නාට්‍ය ගොඩක් යනවා... ඒත් මේ කුඹියො කියන නිර්මාණය හරි ඉක්මනට මිනිස්සුන්ට ඇණේ ගහපු ටෙලියක්.
නිර්මාණයක් රසවිඳිද්දි ඒ නිර්මාණය ඇතුළේ ඉන්න චරිත අපේ කරගන්න අපි කැමතියි.. මනූ ඔබ ඔබේම කරගත්ත චරිතය කවුද?
කූඹියෝ අධ්‍යක්ෂවරයා සහ මේ කතාව ගොතපු කෙනා ඒ කියන්නෙ තිරරචකයා මාරම දක්ෂයි. මොකද මේ කතාවේ ඉන්න ජෙහාන් සහ මහඋල්පතගම කියන චරිත දෙකම හරි අපූරුවට බෙදලා තිබුණා... එක වෙලාවකට අපි ජෙහාන්ට කැමතියි, තවත් වෙලාවක මහඋල්පතගමට කැමතියි. ආයි මහඋල්පතගමව පෙරළගෙන ජෙහාන් හොඳ වෙනවා. ඒක වෙලාවෙන් වෙලාවට අපි අතර දෝලන වුණා... මේකෙ කොඳු නාරටිය ජෙහාන් සහ මහඋල්පතගම තමා. සමස්තයක් විදිහට නාට්‍යයේ හැම චරිතයකට ගැලපෙන නළුවන් අධ්‍යක්ෂකවරයා හරි අපූරුවට තොරගෙන තිබුණා... ඒනිසා මේ අඩු වැඩි වශයෙන් මේ හැම චරිතයකට මගේ කැමැත්තක් තිබුණා...
හරි ඔබ කියපු විදියට මේ නාට්‍යයේ කොඳු නාරටිය ජෙහාන් සහ මහඋල්පතගමනේ... ජෙහාන් කියන්නෙ ගේම්කාරයෙක් නේද, ඇයි ඒ ගේම්කාරයට හිත ගියේ..
මම දකින විදිහට ජෙහාන් කියන්නෙ ගේම්කාරයෙක් නෙමේ... මේ පවතින සමාජ ක්‍රමය තමා ජෙහාන් කියන්නෙ. තරුණයෙක් මේ පවතින ආර්ථීකයත් එක්ක හැප්පෙන්න, මේ පොළොවෙ පයගහලා ජීවත්වෙන්න දරන අරගලය තමා ජෙහාන්ගෙන් නිරූපණය වෙන්නේ... අපි කවුරුත් මේ ආර්ථිකය ඇතුළෙ ජෙහාන්ලා තමා... ගේම්කාරයෝ තමා... ගේමක් දෙන්නම වෙලා තියෙනවා... මේක ඇතුළෙ රැඳී ඉන්න..
මනූට කවුද කිව්වේ... කුඹියෝ බලන්න කියලා...
මට මේක බලන්න කිව්වේ මගේ පෙම්වතිය දිල්තරා, ඇය කුඹියෝ බලන ලොකු ප්‍රේක්ෂිකාවක්. ඇයගේ බලකිරීමට උඩ තමා මම මුලින්ම මේක බලන්නේ.. පස්සෙ මට ඒක නොබලා ඉන්න බැරි වුණා..
මම ඔබෙන් මෙහෙම ඇහුවොත්....
ඔබ මෙච්චර ආසාවෙන් බලන නිර්මාණයේ අවසාන කොටස ලබන සතියේ කියලා දැනගත්තාම මොකද හිතුණේ....
ඔව් පුංචි දුකක් දැනුණා... ඊටත් වඩා මම ගොඩාක් ආසා වුණා ඒ නාට්‍යය ඉවරකරපු විදියට. අපි කවදාවත් දැකලා තිබුණද උත්සවයක් විදියට නාට්‍යයක් ඉවර කරනවා.... ජාතික මට්ටමේ ඉවෙන්ට් එකක් විදියට.... පිටරටවලත් මේ නාට්‍යයේ එන්ඩ් එක සැමරුවා... මම මේ නාට්‍යය ආසාවෙන්න මේ හැමදේම බලපෑවා. සමස්ත ක්‍රියාවලියම නිසා තමා මගේ කැමැත්ත මේ ටෙලියට ඇති වුණේ. මගේ පෞද්ගලික මතය තමා හොඳම නිර්මාණය හොඳම විදියට මාර්කට් කරන්න ඕනෙ කියන එක. කූඹියොත් එහෙම නිර්මාණයක්. හොඳට මාර්කට් කරපු නිර්මාණයක්. අන්න ඒ දේටත් මම ගොඩක් කැමතියි....
කූඹියෝ සමස්ත නිර්මාණය ඇතුළෙ මේ කියවෙන ජීවන අරගලය සමාජ ක්‍රියාවලිය ගැන මනූට මොක හිතෙන්නේ... ඒ හිතෙන දේ වචනවලට පෙරළමුද?
මෙහෙමයි... සමහර මිනිස්සු ජීවත්වෙන්න ව්‍යාපාර විදියට හරි අමුතු දේවල් කරනවා. හිතන්නකෝ අපි ඉස්සර කඩේකට ගිහිල්ලා කෑම කනවා... දැන් අපිට ඒකම ගෙදරට ඩිලවර් කරගෙන කනවා... අන්න ඒක මුලින්ම හිතපු මිනිහා ඉන්නෙ... අන්න ඒවගේ.. මේවා ඔක්කොම ගේම්නෙ.... කවුරු හරි පාටියකට ගිහින් මධුවිතක් ගත්තට පස්සේ වාහනේ එලවගෙන යන්න විදියටක් නැති වුණ වෙලාවක කෝල් එකක් දුන්න ගමන් ඩ්‍රයිවර්ස්ලා එවන ආයතන දැන් තියනවා... ඒවා ඇත්තටම මාර ගේම්... ඒවගේ පුංචි පුංචි දේවල් කරලා ලොකු පොරවල් වෙලා ඉන්න මිනිස්සු මම දැකලා තියෙනවා.. ඇත්තටම ඔවුන් ව්‍යවසායකයෝ... ගේමක් කියන්නෙ නරක දෙයක් නෙමේ... ඒක ඇත්තටම ටැලන්ට් එකක්... තමන් කරන රස්සාවෙන් තමන්ගෙම සසර දික්කර ගන්නවද නැද්ද කියන එක තමංම තමා තීරණය කරන්න ඕනෙ... නිවැරදිව ජීවිතේ ඇතුළේ ජීවත් වෙන්න මොළෙන් ගේමක් ගහන එවුන් මට අනුව පට්ට පොරවල්...
මනූරංග කතාව නතර කළා...
හැමදේම ගේමක් වෙච්ච සමාජයක හිතට එකඟව ගේමක් ගහන එක තමා කළයුත්තේ... මොකද ජීවිතය කියන්නෙ අපි එකතු කරන පුංචි පුංචි මතකයන්වල එකතුවකට සතුට එකතු වෙන්නෙත් එතනටම තමා...