නුවරඑළිය පැත්තෙ රූපගත කෙරෙන චිත්‍රපටයක ප්‍රධාන නළු චරිතයට ඉන්නෙ තරුණ නළුවෙක්. එක්තරා දර්ශනයක් රූපගත කරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කට්ටියට මතක් වෙලා තියෙන්නෙ. කොල්ලගේ මැණික් කටුවෙ රබර් පළඳනාවක් තියන්න ඕනෙ කියලා.
කලා අංශයෙ තරුණ ගැටයෙක්ව ටවුමට යැව්වලු රතු පාට රිස්ට් බෑන්ඩ් එකක් හොයන්න. මිනිහට මොකක් හරි පටලැවිල්ලක්. හැම කඩේකටම ගිහින් අහන්නෙ වෙස්ට් බෑන්ඩ් එකක්ලු. ඒ කියන්නේ බඳ පටියක්ලු.
සමහර කඩවල්වල අය මෙයාගෙ කතාවට හිනාවෙනවලු. එතකොට මෙයා අත පෙන්නලත් ඉල්ලනවලු වෙස්ට් බෑන්ඩ් එකක්.
ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක ඉන්නවලු කවුරුත් දන්නා හඳුනන වැඩසටහන් නිෂ්පාදකවරයෙක්. ඔහුගේ නමින්ම ඉන්නවා මාධ්‍යයට සම්බන්ධ දැන්වීම් ආයතනයක ලොක්කෙක්. අර නාළිකාවෙ හොඳ වැඩසටහනක් යන්න බෑ, අර දැන්වීම් ලොක්කට SMS එනවලු පොළිමක් වැඩේ ලස්සනයි කියලා. ඕකෙ අනිත් පැත්තත් වෙනවා.
මේ ළඟදී අර දැන්වීම් ලොක්කගෙ දුව විවාහ වුණාලු. ඒක ආරංචි වුණු හැමෝම අර නාළිකාවේ අධ්‍යක්ෂට සුභ පතලා SMS යවනවලු. එයා නම් තාම තරුණ පාටයි. ඉන්නෙ චූටි ළමයි.
ජනප්‍රිය නවක නිළියක් එයාට හොඳ පණිවිඩයක් යවලා. “ඔයත් බබා වගේ අපට නංගී කියනවා. අපි කට පුරා ඔයාට අයියා කියනවා. බලාගෙන ගියාම ඔයාට අපි වගේ දූලත් ඉන්නවනෙ. ළඟදී බැන්ඳේ ලොකු දුවද, පොඩි දුවද?
අනේ ඒ මගේ දුව නෙවෙයි. කියලා පිළිතුරක් යැව්වලු.
එහෙනම් ඔයාගෙ නෝනගෙ දුවද අංකල්?
කළුතර පැත්තේ ටෙලිනාට්‍යයක් රූපගත කරන්න ඒ පළාතෙන් හොඳ ගෙයක් කුළියට ගත්තලු. ඒ විශාල නිවසෙ කාමර දෙකක් හැර අනික් ඒවා ටෙලියට පාවිච්චි කරන්න පුළුවන්. අර කාමර දෙකේ ඉන්නේ ගෙදර අයිති නෝනයි එයාගේ දුවයිලු.
මේ ටෙලියෙ ප්‍රධාන චරිතය නිරූපණය කරන තරුණ නිළිය කතාවෙ හැටියට බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්. උදේ පහට මේකප් දාගෙන බඩත් දාගෙන එයා වැඩ කරනවා.
කෑම කන වෙලාවට අර ගෙදර අයිති නෝනා මෙයාට එයාගෙ කාමරේට කතා කරලා විශේෂ කෑම බීම කන්න දෙනවලු. නිළියට ගාණකුත් නැහැ, එයත් හොඳට සප්පායම් වෙනවා. සතියක් විතර ගියාට පස්සෙ තමයි අර ගෑනු කෙනාට තේරිලා තියෙන්නෙ මේ නිළියට ඇත්තට බබෙක් හම්බවෙන්න නැහැයි කියලා.
► Text - Mithra