නේහා කියන්නේ මගේ දුව..
තාත්තා ඒ වචන ටික කීවේ මගේ ඇස් අස්සටම එබීගෙන.
එයාගෙ තාත්තා වෙන්න ඉස්සර ඔයා මගේ තාත්තා
මම ඒ වචන ටික කීවේ කුඩම්මාගේ මූණ දිහා බලාගෙන. කුඩම්මගේ මූණ දිහා බලන හැම වෙලාවකම මට මගේ අම්මව මතක් වුණා.
අමර්.... උඹ කුඩම්මා කියන විදිහට මේ ගෙදර ඉන්නෙ නැත්නම් මම උඹව කඩේක වැඩට නවත්වනවා. එතකොට උඹ ඉස්කෝලේ ගිහිල්ලත් ඉවරයි.
මට ඉස්කෝලේ යන්න නැති කරන්න එපා තාත්තෙ
උඹට ඉස්කෝලේ යන්න ඕනනම් කුඩම්මා කියන විදිහට හිටපන්
මට කුඩම්මා දෙන ලොකු රෙදි බේසම් හෝදන්න බෑ.. රෙදි හෝදලා ඉවර වුණාම මගේ අත් දෙකම හම යනවා. අම්මා ඉද්දි මම කවදාවත් රෙදි හේදුවේ නෑ.
දැන් අම්මා නෑනේ.. දැන් අපේ ගෙදර ඉන්නවනම් මමයි තාත්තයි කියන විදිහට ඉන්න ඕනැ.. නැත්නම් තාත්තා කියන විදිහට කඩේක වැඩට යන්න.
කුඩම්මයි තාත්තයි යන්න ගියත් මම ගෙදර ගියේ නෑ. ගං ඉවුරෙ අපිරිසිදු වැලිතලාව මත මම ඔහේ වැතිර ගත්තා. මගේ මතකයට ආවේ මගේ අම්මව. අම්මත් එක්ක ඒ දවස්වල හැන්දෑවට මම ගඟට ආවා. අපි ගඟට ආවේ නාන්න. අම්මයි මායි සමහර දවස්වල රෑ වෙනකම් ගං ඉවුරට වෙලා ගල්තලාවක ඉඳගෙන කතා කර කර ඉන්නවා. අම්මා මට පුංචි කාලෙ සුරංගනා කතා කියලා දුන්නෙත් මේ ගල්තලාවක් උඩ ඉඳගෙන. එහෙම කතන්දර කිය කියා ඉද්දි සමහරදාට හඳ පළුවක් අහසට ඇවිත්. තරු තැනින් තැන ඉඳන් අහස කොනිත්තනවා. අම්මා මට ඒ රෑ අහස දිහා බලාගෙනත් හුඟක් දේවල් කියලා දුන්නා. අම්මා හෝදලා බේසමට දාන රෙදිවලින් එන සුවඳ මම වෙලාවකට තෙත් රෙදි බේසමෙන් අරගෙන ඉඹලා බලනවා.
අම්මා ආයෙත් ළඟට එනවනම්....
මම රෙදි බේසම දිහා බලද්දී මගේ නෙත් අස්සෙන් කඳුළු වැල් පේළියක්ම බේරුණා. මම රෙදි ටික ගල උඩ තියාගෙන රෙදි එකින් එක අරගෙන වතුරෙ පොඟවා පොඟවා සබන් කැටේ අතුල්ලන්න පටන් ගත්තා. නේහාගේ ගවුම් පොඩි දකිද්දි නම් මගේ හිතේ මොකක්දෝ ආදරයක් මෝරන්න පටන් ගත්තා. රෑ කළුවර වටෙනකම්ම මම රෙදි බේසම හේදුවා. මම ගෙදර යද්දී රූ හයත් පහුවෙලා. ඒ යද්දි බඩගින්නක් මට වද දෙන්න පටන් අරගෙන.
බාගෙට නෙවෙයිනේ හේදුවේ....? මාව දකිද්දිම කුඩම්මා ඇහුවේ ඒ ප්‍රශ්නය.
මට පුළුවන් විදිහට තමයි මම හේදුවේ
උඹට පුළුවන් කන්න විතරයිනේ
කුඩම්මට පුළුවන් මට බණින්න විතරයි
වැඩිය කට ගහගෙන ආවොත් අද රෑට බත් නැතිවෙයි.
බත් කන්න දැනිච්ච පෙරේතකම හින්දම මම කට වහගත්තා.
► අනුවර්තනය : චන්දන වරාවිටගේ & සංජු