2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

පුංචි පුංචි දේවල් අපේ ජීවිත ගොඩක් වෙනස් කරනවා

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

Art එකේ කැරට්ටුව..

Ashan සමඟ Danushka 

ඉරත් යන්න දැන් වෙලාව හරි කියන මොහොතක හඳ එනවද නැද්ද කල්පනාවක සුනංගු වෙන මොහොතක හැන්දෑව කොච්චර ලස්සනද මීගමු වෙරළ ළඟ ඇඳුන... 
තත්ත්පරයක්... දෙකෙක් යන්න ඇති.... හෝ ගාගෙන ඇවිත් වෙරළ ඉඹින සයුර මත අඳුරු හෙවනැලි අඳින්න පටන්ගත්තා.

මම බලාගෙන හිටියේ එයා එනකම්...
වෙරළත් එකක් නිවාඩු පාඩුවේ කල්පනාවක ඔහු මගේ ළඟට ආවා. අපි කතා කළා.... ඒ ඔයාලා වෙනුවෙන්...

ඒ හිනාව කොහොමත් ලස්සනයි.... ලොකු ඇස් අස්සෙත් වචන අහුරක්!
කෙටි කාලයකින් ප්‍රේක්ෂයන්ගේ සිත්සතන් හොරාගත්ත සිංහල සිනමාවේ හැඩිදැඩි පෞරුෂත්වයකට උරුමකම් කියන තරුණ තරුවක් ඔහු... වෙනස්ම ආරක රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට මේ දවස්වල ජනප්‍රිය චරිතයක්. අශාන් ඩයස්... සරල විදියට ජීවිතය දකින විඳින අශාන් ගැන රටේ ලෝකේ අය දන්නම විදිය තමා ඒ...

අශාන් කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම... ඒ ගැන පොඩ්ඩක් කියලා ඉමුද?
පහුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා... මේ අවුරුද්දෙ මම චිත්‍රපට තුනක් දැනටම කරලා ඉවර කරා...  තව අලුත් ටී.වී. ප්‍රෝගෑම් එකක් පටන් ගත්තා... ඒක ලංකාවේ අයට වෙනස් විදියේ අත්දැකීමක්... හරිම ආසාවෙන් ඒකෙ වැඩත් එක්ක කාලය ගතවෙනවා... ඕවා තමා ඉතින්...

අපිට ඕන වුණා නිර්මාණයක් ගැන අමුතු යමක් අශාන්ගෙන් දැනගන්න... හැබැයි කොන්දේසි දෙකකට යටත් වෙන්න වෙනවා... ඒක අශාන් ඩයස් සම්බන්ධ වුණු නිර්මාණයක් වෙන්නත් බෑ, ඒක ගීතයක් වෙන්නත් බෑ. හරි එකඟයිද?
හොඳ හුස්මකට පස්සේ අශාන් ලොකු කතාවකට... අරඇද්දා...

මෙහෙමයි... මම වැඩියෙන්ම ප්‍රියකරන නිර්මාණ අතලොස්සක් තියෙනවා. පිටරට සහ ලංකාවේ නිර්මාණ ඒ අතලොස්සට අන්තර්ගතයි. මම කැමතියි මේ වකවානුවේ  තිරගතවුණු ලංකාවේ නිර්මාණයක් තෝරගන්න... ඒක චිත්‍රපටයක්... ඒ තමා චත්‍ර වීරමන් සහ බාරත ගිහාන් හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කරපු සමන් වීරමන් තිරරචනය කරපු ආලෝකෝ උදපාදී කියන අපේ ඉතිහාසය ගැන කියවෙන චිත්‍රපටය.
ලංකාවේ ඉතිහාස ගැන කියවෙන චිත්‍රපට වැහි වැහැලා... ඇයි මේ ආලෝකෝ උදපාදී කියන චිත්‍රපටයට ඔච්චරම හිත ගියේ... 

මේ චිත්‍රපටයට මම මෙච්චරම ආකර්ෂණය වෙන්න හේතු කිහිපයක් තියෙනවා. එක් හේතුවක් තමා මේ චිත්‍රපටයේ ගැබ්වෙලා තියෙන ඉතිහාස කතාවට මම ගොඩක් ආසයි... අනිත් කාරණාව නිර්මාණයට එකතුවෙලා හිටපු නළු නිළියන්ට මම ගොඩක්  කැමති වීමත්... තවත් එකක් තමා අලුත් පරපුර නියෝජනය කරන තරුණ අධ්‍යක්ෂවරයෙක් වන චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණ. මේක ඔහුගේ පළමු උත්සාහය... ඒක ගොඩක් සාර්ථකයි.  

ආ කියන්නම ඕනෙ කාරණාව තමා සිංහල චිත්‍රපටවල ස්වර්ණමය යුගයක් තිබුණා... ඒත් පහුගිය අවුරැදු අට නමය තුළ චිත්‍රපටල ගුණාත්මකභාවය අඩුවක් දකින්න තිබුණා... ඒකට එක් හේතුවක් තමයි මුදල් ප්‍රතිපාදන හරි ආකාරයෙන් නොලැබීම. එහෙම වුණාම චිත්‍රපටයක නිර්මාණාත්මක පැත්තෙන් යන්න පුළුවන් උපරිමයට යන්නෙ නෑ. ඒත් මේ ෆිල්ම් එකට එහෙම අසාධාරණයක් සිද්ධවුණේ නෑ. නිෂ්පාදකවරයා විසින් අධ්‍යක්ෂකට උපරිම නිදහසක් දීලා තිබුණා කියලා මට හිතෙනවා. මොකද ලෝකෙ තියෙන හොඳ තාක්ෂණය මේ චිත්‍රපටයට පාවිච්චි කරලා තිබුණා. නිර්මාණය ඇතුළේ වැරැද්දක් කියන්න බැරිතැනකට මේ චිත්‍රපටය ගෙනල්ලා තිබුණා...

පහුගිය කාලේ අපිට ලංකාවේ සිනමාහල්වල දකින්න තිබුණේ ඉතිහාසය ගැන කියවෙන රජ කතා විතරක් තමා... මේක ඒ කැටගරියට වැටෙන්නේ නෑ. මොකද ඒ කතා හැම එකකම කියවුණේ රජතුමා ගැන විතරයි... ඒත් මේ චිත්‍රපටයේ කියවෙන්නේ එක්තරා කාලයක බුද්ධාගමට සිද්ධ වුණු වැදගත් සිදුවීම් ටිකක්.

මේ චිත්‍රපටයේ ඇතුළාන්තයට රිංගනකොට... මොනවගේ හැඟීමක්ද අශාන්ට දැනුණේ...?
වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ ලංකාවට ආපු ආක්‍රමණ සහ බුද්ධ දර්ශනයට වෙච්ච හානිය නිසා ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමේ කතාව තමා මේ නිර්මාණයට මූලික කරගෙන තිබුණේ. ඒ වගේ බැරෑරුම්, වැදගත් ඉතිහාස කතාවක් අතිශය සියුම් ලෙස නිර්මාණය ඇතුළේ මනා ලෙස ගොඩනගලා තිබුණා. 

ආලෝකෝ උදපාදී චිත්‍රපටය ඇතුළේ ඔබට දැඩිව බලපෑම් කරපු චරිතෙකුත් ඇති නේද....?
මේ චිත්‍රපටයේ ගොඩක් චරිතවලට මම ගොඩක් කැමතියි. ඉතාම දක්ෂ රංගන ශිල්පීන් තමා චරිතවලට තෝරගෙන තිබුණේ. උද්දික ප්‍රේමරත්න, දර්ශන් ධර්මරාජ්, විශේෂයෙන්ම රොෂාන් රවීන්ද්‍ර කරන චරිතයටත් මම ගොඩක් කැමතියි. ඒ අතරින් ලොකුවට මට බලපෑම් කරපු චරිතය තමා. දිනෙත්ද සිල්වා වලගම්බා රජ්ජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතියෙක් විදියට රඟපාන චරිතය. ලංකාවේ ගොඩක් නළුවන්ගෙන්  දකින්න බැරි තරමේ දැඩි  කැපවීමක් අවංක භාවයකින් දිනෙත් එම කාර්යයයේ හිටියා. පුදුම ජවයකින් මේ රංගනය කරා කිව්වොත් හරියටම හරි.... මේ චරිතයට සම්මාන පවා ඔහුට ලැබුණා. 

අශාන් ඩයස්ගේ සිත කම්පනයෙන් දෙදරා ගිය රූපරාමුවක් මතක් කරමුද..?
මේ චිත්‍රපටයේ එක තැනක් සාමණේරයන් වහන්සේ කෙනෙක්ව කකුල්වලින් එල්ලලා... වදහිංසා දෙන රූප රාමුවක් තියෙනවා.. ඒක හරිම සංවේදී විදියට කරලා තිබුණා.. මටත් ගොඩක් දුක හිතුණා. රංගන ශිල්පියේ විදියට මම දන්නවා ඒ සීන් එක කරන්න කොච්චර අමාරුද කියන එකත්... අනික ඒක බොරුවට එහෙන් මෙහෙන් කරන්න පුළුවන් රූපරාමුවක් නොවන බවත්.

මෙච්චරම ආසකරන නිර්මාණය අශාන් කී පාරක් බැලුවද...?
මේ ෆිල්ම් එක මම තුන් හතර පාරකට වැඩිය බැලුවා....
කවුද ඔබව පෙළඹෙව්වේ.. මේ චිත්‍රපටය බලන්න කියලා...

මට කවුරුත් එහෙම පෙළඹෙව්වේ නෑ... ඇත්තටම මේ චිත්‍රපටයේ ටේලර් එක එද්දි මම ඔස්ට්‍රේලියාවේ හිටියේ... මම ෆේස්බුක් එකේ ඒක දැක්කා.. ඒ ටේලර් එක දැකපුගමන්ම මම හිතුවා මේ මාරම නිර්මාණයක්. මේ වගේ වැඩක් මීට කලින් ලංකාවේ දැකපු නැති වැඩක් කියලා... ඊටපස්සේ මේ චිත්‍රපටය බලන්න රිලීස් වෙනකම් මම බලාගෙන හිටියේ... ඒ ටේලර් එක මම ෆේස්බුක් එකේ හැමතැනම ශෙයාර් කරා.. මගේ යාළුවන්ට කතකරලා කිව්වා. ලංකාවේ සුපිරි වැඩක් වෙනවා... මෙහෙ ඉන්ඩස්ට්‍රියල් එක වෙනස් වෙන්න යන්නෙ කියලා... එච්චරටම පුදුම හිතුණා..
ආලෝකෝ උදපාදී වැනි නිර්මාණයකින් සමාජයට ලැබෙන දේ මොනවගේ කියලාද අශාන්ට හිතෙන්නේ.. 

මෙවැනි නිර්මාණයකින් රසවත් ලෙස ඒ ඉතිහාස කතාව දැනගැනීමට පුළුවන් වෙනවා. ඒක තමා මම හිතන්නේ ප්‍රධානම දේ... මේක සත්‍ය කතාවක් නිසා මේකෙන් මිනිස්සුට පාඩමක් නිර්මාණය කරන්න අමාරුයි. ඉතිහාසය විකෘති කරන්න බෑනෙ. ප්‍රබන්ධ කතාවක් නම් ඒකෙන් ආදර්ශයක් ලේසියෙන්ම දෙන්න පුළුවන්. නමුත් හැම හොඳ නිර්මාණයකින්ම ජීවිතයට එකතු කරගන්න පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනවා.. ඒවා මේකයි මේකයි කියලා කියන්න බෑ... මොකද ඒක කෙනකුගෙන් කෙනෙකුට වෙනස් වෙනවා ඒ පුංචි පුංචි දේවල් අපේ ජීවිත ගොඩක් වෙනස් කරනවා. 
අශාන් කතාව නැවැත්තුවා.....

 

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00