2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

හැම ගැහැනියක්ම ඉල්ලන්නේ කළු ගලක් වගේ පිරිමි හදවතක්

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 574

සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා

ඉසුරු කුමටද සඳළු තලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

අනෝරා වැහි ඇද හැලෙන විට
පපුතුරේ උණුහුම රකින ඔබ
සෙල්රුවක් වී උන් නිසාමද 
නොගියෙ මා මෙහි අතරමං කොට

ගීපද - දන්ත ශල්‍ය වෛද්‍ය 
           අසේල විජේසුන්දර
සංගීතය හා ගායනය 
කසුන් කල්හාර ජයවර්ධන

- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

 

ගැහැනියකට මුළු ජීවිතයක් පිරිමියෙකුට එක තත්ත්පරයක්... සියලු අරුත් නිරුත් පසෙක තබා ප්‍රේමය වරෙක එලෙසින් අරුත් පසිඳින්නට මට සිතේ.. එමා බෝවාරි...... ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ එමා බෝවාරි නවකතාවේ එමා බෝවාරි....... ඇය ජීවිතයේ අවසාන තත්ත්පරය දක්වා සොයා ගිය හැඟුමක් වෙත්නම් ඒ පිරිමියෙකුගේ ආදරයයි. ජීවිතයේ අවසානය දක්වා ඇය නොලද හැඟුමක් වෙත්නම් ඒද පිරිමි‍ෙයකුගේ ආදරයයි. 

ජීවිතයේ බොහෝ ප්‍රාර්ථනාවන් දන්දීගෙන හදවතට දැනෙන ප්‍රේමයක් සොයා මහ කැලෑ මඩ ගොහොරු තරණය කළ එමාට අවසානයේ උරැම වූයේ සියතින්ම තුරුලු කරගත් මරණයයි. ඇය ජීවිතයම කරගන්නට යත්න දැරූ ප්‍රේමය ඇය හා ප්‍රේමණීයව ගිවිසගත් හැම පිරිමියකුටම ඇසුරු සැණෙක එකම වින්දනයක් පමණක් විය. ප්ලෝබෙයාර් අවසානයේ සිටගත්තේ ද ඒ ධනේශ්වරවාදී පිරිමින් සමඟමය. ඒ එමාට අත දිගුකර මරණය පිරිනැමීමෙනි.

ස්ත්‍රිය පිළිබඳ අපේ ජාතක කතා සහ පැරැණි සාහිත්‍ය තුළ සිත්තම් කළ සංකල්ප රූප ද නෑකම් කියන්නේ ප්ලෝබෙයාර්ගේ චින්තනයටත් එහා ගිය ඉන්දීය බමුණු චින්තනයකටය.
ඉඩක් ලද තැන වරදෙ නොබැඳෙන ගැහැනු කවුරුද? යන චපලත්වයේ සළු සමස්ත උපන් නූපන් සියලු ගැහැනුන්ට පෙර වූ ඒ අධිපතිවාදී පිරිමි බමුණු චින්තනය ඇගේ ඥානය හැඳි මිටේ දිගට මායිම් කරමින් පිරිමි දෙපතුල් ළඟ ඇය ඉරුණු බුමුතුරුණක් බවට පත් කරලන්නට අපමණ මහන්සියක් ගත්හ.

මාර්ටින් වික්‍රමසිංහගේ සිංහල සාහිත්‍යයේ නැඟීම නම් ග්‍රන්ථය එක් තැනෙක මෙසේ කියයි.
ස්ත්‍රියගේ චරිතයේ සැඟවුණු ලක්ෂණ අතිශයෝක්තියෙන් දැක්වෙන ඇතැම් කතා වස්තු ග්‍රාම්‍යන්ගෙන් තොර නොවේ. එසේ වුවද සමහර ජාතක වස්තු තුළින් හෙළි කෙරෙන්නේ ස්ත්‍රියගේ චපලභාවය හා කාමුක ලක්ෂණ නොව රාගයෙහි භයංකර ලක්ෂණය. 

සිංහල සාහිත්‍යයේ නැඟීම එසේ කියද්දී අපේ ජාතක කතා සාහිත්‍යය ඇය ගැන මෙසේ කියයි.
තක්ක ජාතකයේ එක් තැනෙක ස්ත්‍රීහු නම් කළ උපකාර නොදන්නාහුය. මිත්‍රද්‍රෝහීය. යනුවෙන් ඈ අර්ථකථනය කරද්දී දුරාජාන ජාතකය ස්ත්‍රිය නම් පාප කර්මයහ. දුරාචාරයහ. එසේ වූ ස්ත්‍රිය කෙරේ මධ්‍යස්ථව වසන්නා වූ තෙමේ සුවපත් වන්නේය යනුවෙන් සඳහන් කරයි. 

යුග යුග ගණන් කාලය ඈතට ඉගිලුණත්, තාක්ෂණය මහා වනස්පතියක ලෙසින් ලෝකයේ සියලු ගම් බිම් පුරා බලසෙන් විදාහල අදටත් මේ බමුණු මත සමාජ සංස්කෘතික යාන්ත්‍රණයේ අත්තිවාරම් යට සැඟව තිබේ. ගෝත්‍රික නොවේයැයි පපුව පලා පෙන්නන්නට හදන ඇතැම් පිරිමි පපු තුළ සැඟව තිබේ.

එහෙත් එදා මෙන්ම අදත් ගැහැනුන්ගේ අභ්‍යන්තරයට ගරහන බහුතර පිරිමින් ඇගේ බාහිර භාවහාව ලීලාවන් හා සෞන්දර්ය ඉහළින්ම වනන්නට නොපැකිලව ඉදිරිපත් වේ.
සැලළිහිණි සංදේශය වැනි සංදේශ කාව්‍ය තුළත් කුස ජාතකය ඇසුරින් නිර්මිත කවි සිළුමිණේත් ඇගේ සුන්දරත්වය ගැඹුරින්ම වර්ණනාවට ලක්කර ඇත. ජාත්‍යන්තර කලා කෘති තුළ මෙන්ම සීගිරි චිත්‍ර, පනාවිටිය අම්බලම් ලී කැටයම් රූ, පංච කල්‍යානි ලෝකඩ ප්‍රතිමාව වැනි චිත්‍ර හා මූර්ති ද කාන්තා සෞන්දර්යයේ අහුමුළු සොයා ගිය කලාකරුවන්ගේ උපරිම දැක්ම උදෙසා දෙස් දෙයි.

ඉසුරුමුණි පෙම් යුවල වූ කලී මහා කළු ගලක් මත සියුම් රේඛා ගැඹුරට මතුකරමින් සදාතනික ප්‍රේමයකට හුස්මක් දෙන්නට ගත් අපූරු වෑයමක්යැයි මම හඟිමි. පුරාවිද්‍යා හා විද්වත් මත අනුව මේ පෙම් යුවල සාලිය අශෝක මාලා බවටත් ශිව පාර්වතී බවටත් මංජු ශ්‍රී බෝධිසත්ත්ව වේෂයක් වූ ස්ථිර චක්‍ර වේෂය බවටත් මත ඉදිරිපත් වේ. මේ මත අතරින් මංජු ශ්‍රී බෝධිසත්ත්ව වේෂය ලෙස ගෙනහැර දක්වන මතය වඩාත් සාධනීය වේ. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ කියන්නේ ඉසුරුමුණි පෙම් යුවල කැටයම ඉන්දුනීසියානු කලා සම්ප්‍රදායට අයත් කෘතියක් බවය. පෙම් යුවලේ පෙම්වතා කඩුව දරා හිඳින්නේ කර මතය. ලාංකික රාජ සම්ප්‍රදාය අනුවනම් කඩුව රැඳී තිබිය යුත්තේ ඉණ මතය. මේ මත දිගහරින ඉසුරුමුණි පෙම්වතා අයිති සමාජය කවරක් වුවත් ඔහු සියලු යස ඉසුරැ පසෙක තබා පවුර පාමුල ප්‍රේමයේ සැනසීමත් නිවීමත් සොයන අධ්‍යාත්මික ප්‍රේමවන්තයකුම නොවේදැයි ඔහු පිරික්සන මට සිතේ. 

ඒ ප්‍රේමවන්තයාගේ හදවත නවමු වෙසකින් කියවන්නට යත්න දැරූ ගීතයක්  නිසාමය..... ගැහැනිය ගැන මෙවන් දිගු පූර්විකාවක් ලියා තබන්නටත් මට සිත් වූයේ...

සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා...

ඒ පද සමුදායේ අයිතිකාරයා දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරය. ගීත විචාරකයකු ලෙස පෑන අතට ගත් අසේලගේ පළමු ගී පබැදුම සංගීතවත් සුසංයෝජනයෙන් ඔප කළේත් ගී පද ගයමින් නොව වචනයෙන් වචනය හදවතින් සිඹිමින් ගී ගයන කටහඬක් ඇති ඒ හඬින් ගැයුවේත්, කසුන් කල්හාර ජයවර්ධනය.

මහා කළු ගලකට ප්‍රේමයේ නොහිම් වත්කම් කැටි කළ ඉසුරුමුණි පෙම් යුවල ළඟ එදා මෙදා තුර සියක් දහසක් දෑස් මොහොතකට හෝ රැඳෙන්නට ඇත. ඒ සියලු ඇලුම් බැලුම් විඳදරාගත් ඉසුරුමුණි පෙම්වතාගේ ආත්මීය ප්‍රකාශනයක් වැන්න මේ ගීතය.
සොඳුරිය සිය දහස් ගණන් ඇවිත් යන්න ඇති... ඔබත් මාත් දිහා බලන්න.. නොවෙනස්ව නොසැලී හිඳින අපගේ ප්‍රේමය දකින්න, විඳින්න, අරුත් දෙන්න ඒ හැම දෙනාම හිතන්නත් ඇති.. නිහඬ ඔහු හද එලෙසින් කතා කරයි.

වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා...

සැඟවුණු කතා කොහොමත් සුන්දරයැයි මට සිතේ. ඉසුරුමුණි පෙම් යුවළේ පෙම්වතා බොහෝ පැසසුම් ලද්දෙකි. සාලිය නම් රාජ කුමාරයා සහ මංජු ශ්‍රී නම් බෝධිසත්ත්ව ආත්මයේ වේෂයක් ලෙස සම්භාවනාවට පත් ඒ හැඩිදැඩි තේජස් සහිත ප්‍රේමවන්තයා ප්‍රේමයේ අස්වැසිල්ල නිවීම සොයා ආවේ රාජකීය කුමරියක ළඟට නොවේනම් අපමණ බාධක දුෂ්කරතා සමාජ එරෙහිවීම්, කෙනෙහිලිකම් ඒ ප්‍රේමය කරා මහා සුළි සුළඟක්ව එන්න ඇත. 
තිසා වැව දිසාවෙන් එන සුළඟේ දැවටී වෙළී ඒ මහා දියවරේ ඒ දහසකුත් ප්‍රශ්න හිත් රිදීම් සුසුම්සර සැඟවෙන්නත් ඇති. අප දෙදෙනාත් මේ සොබාදහමත් මේ මහා දියවරත් හැර කවුරුනම් දන්නේද අප ලද ඒ ගැරහුම්. ඒ සියල්ල විඳ දරා ගනිමින් අප විඳි ප්‍රේමයේ සොඳුරුතම උච්චතම හැම මොහොතක්මත් සොඳුරියේ දන්නේද වෙන කවුරැවත් මේ මහා දියවරම හැර..... ගීතය තුළ ඉසුරුමුණි පෙම්වතා එසේ පවසයි. මේ සමාජය ස්වභාවික මනුෂ්‍ය සන්තානයට, හැඟීම්වලට ඇණ ගසන්නේ කුහක සුචරිතවාදයේ හා සම්මතයේ ගල් මිටියෙනි. කොන්දේසි විරහිතව ප්‍රේමයක ළදල්ලක් පැළවෙන්නේ කොතැනකද, කවර රුහැනකින් බැඳී වෙලී සිටියත් ප්‍රථම ප්‍රේමය එතැනයැයි මම සිතමි. ගීතය තුළින් ආත්ම කථනයක යෙදෙන ඉසුරුමුණි ප්‍රේමවන්තයා එතෙක් මෙතෙක් කිසිවෙකු නොදුටු ඔවුන්ගේ ප්‍රේමය ගැනද මේ කතා කරන්නේ..

වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා

ඉතිහාසය ගෙනහැර නොපෑ... පුරාවිද්‍යාඥයන්, විද්වතුන් නොදන්නා උනුන්ගේ ප්‍රේමයේ බොහෝ කතා අදටත් වැව් දියේ පතුලම මිස දන්නේ කවුරුදැයි මේ ගී පද රචකයා නවමු දැක්මක සිට විචාලයි.

ඉසුරු කුමටද සඳළු තලයක
සැපකි මට මේ පවුර පාමුල

ප්‍රේමය ප්‍රේමයක් ලෙස දැනෙන කල....... ප්‍රේමය බෝධිසත්ත්ව ගුණ අතුරා ප්‍රේමයක් ලෙස සිත ගිම් නිවන කල...... ප්‍රේමය මහ’රුත් සපයමින් ගිනිදන ගමන් මඟ නිවාලන කල තවත් ඉසුරක් කුමටද? ජීවිතය විඳිනු පිණිස, සුමට ලෙස ජීවිතය සිඹිනු පිණිස යස ඉසුරු කුමටද මට.... සඳළු තලයක හමුනොවූ ජීවිතය පවුර පාමුල දුප්පත් ඔබ ළඟ නම් මට මා පැතූ සැප ඒ මිස අන් කවරක්ද? ගී පද රචකයා දකින ආකාරයට ඉසුරුමුණි පෙම්වතා අධ්‍යාත්මික ප්‍රේමවන්තයකුගේ වෙස් ගෙන ඇත.

නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

මේ ගී දෙපදයේ එකම ගැහැනිය යන යෙදුමෙන් ඉසුරැමුණි පෙම්වතා තම පෙම්වතියට දී ඇත්තේ නොහිම් වටිනාකමකි. මා හදවත කියවූ එකම ගැහැනිය නුඹයි යන ගෞරවය පිරිමියකුට ගැහැනියක වෙත දිය හැකිනම් එතැන පවතින්නේ භෞතික වටිනාකම් පරදා නැඟී හිඳින අධ්‍යාත්මික බන්ධනයකි. ඒ ගෞරවය, ප්‍රේමය තම පෙම්වතියට ප්‍රදානය කරන ගී පද රචකයා දකිනා ඉසුරුමුණි පෙම්වතා ඇතැම් පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන් දකින රාජ කුමාරයා නොව මංජු ශ්‍රී බෝධිසත්ත්ව වේෂයයැයි මට සිතෙන්නේ ගී පද රචකයා ඉසුරුමුණි පෙම්වතාගේ හදවත දියකර ගී පද ඔස්සේ වත් කරනා ප්‍රේමයේ සිහිලැල් දිය දහර දුටුවිටය.

කළු ගලක හද ගැස්ම හඳුනන

කළු ගලක් යනු සොබාදහම නිර්මාණය කළ ශක්තියේ මහා අසිරියයි. කෙනෙකුට කළු ගලක් යන්න රළු පරළු හැඟුමක් දනවන්නක් පමණක්ම විය හැක. එහෙත් කළු ගල යන්න ගීත රචකයා දකින ස්වරූපය ඊට හාත්පසින්ම වෙනස්ය. අපූරුය
කළු ගලක් වැනි හදවතක මහා අසිරිමත් ශක්තියක් නොසෙල්වෙන තිරසාර බවක් මෙන්ම අවශ්‍ය තැනදී අවශ්‍ය රථ පරළු බවක් ද ගැබ්ව ඇතැයි මට සිතේ. ඕනෑම සියුම් රේඛාවක් ඒ කළුගල මත මැවිය හැකිය. මහා ගුණ කැටි කළ බුදු රූ, ප්‍රේමණීය හැඟුම් දහරා කැටි කළ රේඛා සියල්ල කළු ගලකින් මතු කළ හැක. කළු ගල් පතුලේ කාටත් නොපෙනෙන්නට දිය සීරා ගලා යයි. ඒ දයසීරා හඳුනාගත හැක්කේ කළු ගලක රළු පරළු බව විනිවිද ඒ කළු ගලට සවන් යොමු කළ හැකි නම් පමණි. ඒ සා බලන සඳ ශක්තියේ අසිරියත්, සංවේදීත්වයේ අනන්තයත් වන් කළු ගලක් වන් හදවතක් ඇති පිරිමියකු හැම ගැහැනියකගේම ප්‍රාර්ථනයයැයි මට සිතේ.

මේ ගීතයේ අවසන් පද දෙපද‍ෙයන් විමසන්නේ ඔබ සෙල් රුවක් වී උන් නිසාමද මා හැර නොගියේ යන විමසීමයි. එය විවිධ වෙසින් විචාරයට ලක්කළ හැකිය. ඔබ පණක් ඇති ගැහැනියක් වුණා නම් ඔබ මා හැර ගිහින්. ගැහැනියකගේ චපලත්වය ගැන කියන්නට ද ඒ යෙදුම යොදාගත හැක. එහෙත් මා දකින ආකාරයට මේ ගී පද රචකයා සෙල් රුවක් වී උන් නිසාමද නොගියෙ මා ‍මෙහි අතරමං කොට යන යෙදුමෙන් ධ්වනිත කරන්නේ මගේ ප්‍රේමයේ රැඳුණු ස්ථිරසාර බව නොසෙල්වෙන නොවෙනස් ගුණය දැඩි බව හා මෘදු බව බලවත්කම නිසා ද ඔබ මා හැර නොගියේ? ඔබත් මහා හයියක් ඇති ගැහැනියක් නිසා ද ඔබ මා සමීපයේම රැඳී උන්නේ යන අරැතකි. තවත් වෙසෙකින් සෙල් රුවක් වී උන් නිසාමද යන විමසුමෙන් ඔබ කිසිඳු සංවේදීත්වයක්, හැඟීමක්, මෘදු බවක්, කෙළෙහිගුණයක්, හිතක් පපුවක් නැති ගැහැනියක් වූ නිසාද රැඳී ඉන්නන්වාලේ හෝ මා ළඟ රැඳී හිටියේ යන අරුත කැටිව ඇතැයි කෙනෙක් විචාරයට ලක්කළ හැකිය.
ගී පද රචකයා ගීතයේ අවසන් දෙපදයට පෙර මෙසේ කියයි.

අනෝරා වැහි ඇද හැලෙනවිට
පපුතුරේ උණුහුම රකින ඔබ 

මේ ගී දෙපදයේ අනෝරා වැහි යන්න ව්‍යාංගර්ථයක් ලෙස මට හැඟේ.

පැමිණි නේක බාධක කම්කටොළු දුෂ්කරතා අනෝරා වැස්ස සංකේතවත් කරයි. තවත් වරෙක ඒ අනෝරා වැස්ස සිත් අහසේ අකුණු ගසා මෝරා සිරුරු බන්ධනයෙන් එළිදකින අනුරාගයේ උච්චතම සොදුරුතමයන් ගැන කියන ව්‍යංගාර්ථයක් ද විය හැක. මහෝඝයක් වී දුක් කරදර ආවත් මගේ උරහිසේ හිස හොවාගෙන මට හයියක් වී මගෙන් ලද රැකවරණයට මට මහා සෙවණැල්ලක් වෙමින් හිටිය ගැහැනිය ඔබය යන හැඟුම ඉන් දනවයි. ජීවිතය මත අද හැලෙන දුක්ඛ දෝමනස්ස නම් වැහිවලට මගේ ජීවිතය සීතල කරන්නට නොදී උණුහුමින්, ප්‍රේමයෙන් අනුරාගයෙන් මා සුවපත් කොට රැකගත් ගැහැනිය ඔබ නොවේද? ගී පද රචකයා දකින ඉසුරුමුණි පෙම්වතා එසේ විමසයි. ඔහු හඳුනාගත් ඔහු හදවත ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කියවූ කිසිදා හැර නොගිය එකම ගැහැනිය වෙත ඔහු පිරිනමන කෘතවේදීත්වයේ උපරිමය ලෙස මම එය දකිමි.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00