2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

ආත්මෙට ගහන ගල් ජීවිතේට වදින්නෙ නෑ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

තට්ටු නිවාස සංකීර්ණයේ උඩම මහලක තමා ඇගේ නිවෙස පිහිටලා තිබුණේ. නිදන කාමර දෙකක් කුඩා පැන්ට්‍රියක් නාන කාමරයක් සහිත ඒ පුංචි නිවෙස තුළ තිබුණු චාම් අලංකාරය මගේ හිත් ගත්තත් පල්ලියේ තිබූ ගුප්ත සුන්දරත්වය එහි තිබුණෙ නෑ. කාමරයේ දොරටුව විවර වුණේ සඳලුතලයකට.

දුල්යානා...

ඇයි ?

ඔයාට මගේ ගෙදර හිතට අල්ලන්නෙ නෑ වගේද?

අනේ නෑ ජානා.. ඒත් මට පල්ලිය තරම් කොහේවත් හිතට දැනෙන්නෙ නෑ.. මම මගේ අනාථකම තේරුම් ගත්තු තැන... ජීවිතය කියවන්න පටන් ගත්තු තැන. 

දැන් ඔය අතීතය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න... මැරි මැරී ජීවත් වෙන්න බෑ.. අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවනම් අපිට ඕනැදේම අපිට ලැබෙනවනම් හුඟක් අය හිතන්නෙ ජීවිතේ හරි ලස්සනයි කියලා. ඒත් එහෙම වුණානම් මිනිස්සුන්ට ජීවිතයක් නෑ.. බලාපොරොත්තුවක් නෑ... ජීවිතේ ලස්සනයි කියලා දැනෙන්නේ අරගලයක් කරලා දිනාගත්තම.. නිකම් ලබාගන්න දේට වඩා එහෙම ලබාගන්න දේ හුඟාක් වටිනවා. 

උඹට තේරෙන්නෙ නෑ ජානා වෙලාවකට මේ ජීවිතේ මහා හෙම්බත්වීමක් මට දැනෙනවා... මම ආසයි හරිම සැහැල්ලුවෙන් මට තේ කෝප්පයක් බොන්න පුළුවන් හැන්දෑවකට... එහෙම හැන්දෑවක් ජීවිතේ මතක තියෙන දවසක තිබුණෙ නෑ. 

අද හැන්දෑව එහෙම හැන්දෑවක් වෙයි... මම හවස කන්න පැටිස් හදන්නම්... මුරුක්කු බදින්නම්...  අපි චීස් කකා රතු වයින් බොමු... තියෙන දුක් වේදනා ඔක්කොම ගෙයින් එළියෙ තියලා දොර වහපන්...

මම ජානා දිහා බලාගෙන ඉද්දී ඇය හරි සැහැල්ලුවෙන් හිනාවුණා.

මට මගේ ජීවිතේ මොනවද ඉතුරු වුණේ. හැමදේම නැති වුණා. මම කොච්චර ආසාවෙන් හිටියද මගේ දරු පැටියෙක් බඩේ තියාගෙන ඒ අත්දැකීම ආදරෙන් විඳගන්න. කෝ ලැබුණද? අන්තිමට හැමෝටම මම වැරදිකාරියක් විතරයි... ඒත් මම කාටද මගේ ගැන කියන්නෙ... මම වින්ද දේවල් ගැන කියන්නෙ... කවුද ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මගේ හදවත කියවන්නේ... කවුරුත් නෑ දුල්යානා... හැමෝම බලන් ඉන්නෙ රිදෙන්න එක ගලක් හරි ගහන්න විතරයි... ඒත් මට දැන් ඒ කිසිදෙයක් ගණන් ගන්නෙ නෑ. මම මමම වෙලා ජීවත් වෙනවා... ආත්මෙට ගහන ගල් ජීවිතේට වදින්නෙ නෑ දුල්යානා... ජීවිතේටවත් ප්‍රශ්නවලටවත් බය වෙන්න එපා. උඹ උඹමවෙලා තීරණ ගනින්. එච්චරයි.

උඹ හයිය ගෑනියක් වෙලා... ඉස්සර උඹ ඇඟිල්ලෙන් ඇන්නත් අඬනවා...

මලක්වෙලා මේ නරුම සමාජයේ ජීවත් වෙන්න බෑ දුල්යානා... පෙති පොඩි වෙනකම් හැම එකාම බලන්නෙ පාගලා දාන්න 

මගේ ඇස් දෙකට කඳුළක් ගොඩවෙද්දී ඇය මගේ උරහිසින් තදින් අල්ලගත්තා.

මට තේරෙනවා උඹට දැනෙන අසරණ හැඟීම. ඒත් අඬන්න එපා. අපි එ්ක බෙදාගමු.. දැන් උඹ නාලා වරෙන්.. අපි බත් කාලා ටිකක් නිදාගෙන ඇහැරෙමු.

අද හැන්දෑව හුඟ කාලෙකින් උඹට ලස්සන හැන්දෑවක් වෙයි...

මම නාන කාමරයට වැදී ඇති වෙනතුරු නා ගත්තා... ඇඟට දැනෙන සුවදායි හැඟීමට වගේම සීතලටත් මම හුඟාක් ආසා කළා... ළා කහපාට අත් රහිත සැහැල්ලු ගවුමක් ඇඳ ගත්ත මම ජානා සමඟ බිත්තර, අල බැදුම් හා සලාද සමඟ ඈ පිළියෙල කළ දවල් කෑම කෑවේ තේරුමක් ඇති නැති හුඟක් දේවල් කතා කරමින්.. හුඟ කාලෙකට පස්සෙ ජීවිතයේ අලුත් දවසක් ලියවෙමින් තිබුණා... රන් පැහැ හැන්දෑව පිළිගන්න මම වගේම අැයත් බලන් හිටියේ හුඟක් ආසාවෙන්.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00