2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

බාබිඩෝල් එක්ක පෙට්ටි විස්සක් ගෙදර ඇවිත්!

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 130

පුංචි දරුවෝ කියන්නේ දඟමලු. එයාලගේ දඟවැඩ දිහා බැලුවම අම්මලා තාත්තලා අනේ අපොයි කියාගෙන කම්මුලේ අත් තියාගන්න තරම්! කොහොම වුණත් ඇමරිකාවේ ඉන්න අවුරුදු හයක පුංචි දැරියක් කරපු මේ හපන්කම ගැන ඇහුවොත් නම් අපූරු දඟ වැඩක් වගේම අම්මලා තාත්තලාට හොඳ පාඩමකුත් ඉගෙනගන්න ලැබේවි. 

අමෙරිකාවේ උටාවල ඉන්න කැට්ලින් කියන පුංචි දැරිවිගේ උපන්දිනේ යෙදිලා තිබුණේ අගෝස්තු මාසෙ මුල. ඉතින් තමන්ගේ අවුරුදු හයේ උපන් දිනේට බෝනික්කෙක් අරගෙන ඕනෙ කියලා එයා අම්මට ඇවිටිලි කරමින් හිටියා. එයාගේ අම්මත් කැට්ලින්ගේ ආසාවට ඉඩ දෙන්න හිතුවා.

දැන් ඉතින් කිසිම බඩුවක් මුට්ටුවක් ගන්න කඩේට යන්න ඕනෙ නෑනෙ. කම්පියුටරේ ඉස්සරහා ඉඳගත්තට පස්සේ තමන්ට ඕන කරන දේ අඩුම මිලට හොයාගන්න වගේම ඇණවුම් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්නෙ. ඉතින් මේ අම්මත් හිතුවා අන්තර්ජාලෙ හරහා කැට්ලින්ට බෝනික්කෙක් අරන් දෙන්න කියලා. එහෙම හිතලා කැට්ලින් එක්ක කම්පියුටරේ ඉස්සරහා වාඩිවුණා. 


ඇමසෝන් කියලා කියන්නේ ලෝකෙ තියෙන ලොකුම අන්තර්ජාල සාප්පුවක් කියලා කිව්වොත් හරියටම හරි! එතැන නැති දෙයක් නෑ. ඉතින් ඇමසෝන් එකට ගිහින් අම්මයි දුවයි බෝනික්කෝ තේරුවා. විනාඩි කිහිපයක් යද්දි ලස්සන බාබිඩෝල් කෙනෙක්ව කැට්ලින් තෝරගෙන ඉවරයි. අම්මත් ඒ බෝනික්කා අරන් දෙන්න කැමැති වුණා. ගාණත් වැඩි නැහැ! ඉතින් අම්මා බොත්තමක් ඔබලා එයාගේ ඕඩරේ තහවුරු කළා. තහවුරු කළාට පස්සේ එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමා ඒ ගෙවීම සිද්ධ වෙන්නෙ. 

දැන් අම්මගෙයි දුවගෙයි උපන් දින තෑගි හෙවිල්ල ඉවරයි. හැබැයි සෙල්ලම් බඩු අතරේ ගෙවිච්ච ඒ මිනිත්තු කිහිපයට කැට්ලින් ගොඩක් ආස කළා. අම්මේ මම තව චුට්ටක් සෙල්ලම් බඩු බලන්නද? කැට්ලින් අම්මගෙන් ඇහුවෙ ඒ නිසයි. දුවගේ ආසාවට ඉඩ දීපු අම්මත් කැට්ලින්ට කම්පියුටරේ බලන්න ඉඩදීලා ‍‌වෙන වැඩකට ගියා. 
පහුවෙනිදා දවල් වෙද්දි කැට්ලින්ලගේ ගෙදර සීනුව නාදවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් කැට්ලිනුයි අම්මයි තමයි ගෙදර හිටියේ. දොර ඉස්සරහ හිටියේ කූරියර් සේවකයෙක්. 

“මැඩම් ඕඩර් කරපු බඩු ටික ගෙනාවා”

“ආහ් බාබිඩෝල්ව ගේන්නැති” කැට්ලින්ගේ අම්මත් එහෙම හිතලා එළියට ආවා. 
එළියට ඇවිත් දැකපු දෙයින් අම්මගේ ඇස් අදහාගන්න බැරිවුණා. කාඩ්බෝඩ් පෙට්ටිවල දමාපු සෙල්ලම් බඩු ගොඩක් ලොකු ට්‍රක් එකකින් මිදුලට බානවා. ඒ විදිහේ පෙට්ටි විස්සක් තිහක් විතර දැනටමත් මිදුලට බාලා ඉවරයි. 
“ඇයි මේ මෙච්චර දේවල්. අපි මේවා ඕඩර් කළේ නෑනෙ” කැට්ලින්ගේ අම්මා ඇහුවා. 

ඉතින් මැඩම් මේ බිල තියෙන්නෙ

බිල දැක්කම කැට්ලින්ගේ අම්මට දෙයියෝ සිහිවුණා. ඩොලර් 300ක (රුපියල්වලින් පනස් දාහකට කිට්ටුයි) සෙල්ලම් බඩු ඇණවුමක්. බාබිඩෝල් වගේම තවත් වීඩියෝ ගේම්ස්, බෝඩ් ගේම්ස් ගොඩක් ඒ අතර තිබ්බා. ඔය ඔක්කොම අතරේ සෙල්ලම් බඩු එකින් එක පරීක්ෂා කර කර හිටපු පුංචි කැට්ලින් අම්මා දිහා බලලා හිනාවුණා. වෙච්ච දේ අම්මට තේරුණේ එතකොටයි. අන්තිමේදී අම්මා කොහොම හරි සෙල්ලම් බඩු ගෙනාපු අයට වෙච්ච දේ පැහැදිලි කරලා දීලා බාබිඩෝල් විතරක් තියාගෙන ඉතුරු සෙල්ලම් බඩු ටික ආපහු හරවලා යැව්වා. 
 

► Text — Suranga

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00