2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

ඒ මූඩ් එකට මම ගොඩාක් කැමතියි...

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102

Kalana සමඟ Danushka 

Art එකේ කැරට්ටුව..

උදේට වාහනවලින් පිරෙන කොළඹ පාරවල් හවස් වෙනකම්ම අඩුවක් නෑ....
දවල්ට ගිනිගන්න නගරයේ වීදි පොඩ්ඩ පොඩ්ඩ නිවෙන්න පටන් ගන්නේ හවස්වෙන කොට තමා... ආං ඒ වෙලාව තමයි මේ... 

අපි ඉන්නේ කොල්ලුපිටි‍යේ ඩුප්ලිකේෂන් පාරේ.
හරියටම වෙලාව හවස 6.10 විතර ඇති. 
මම එයාව ඈත ඉඳලම අඳුරගත්තා...
ආයුබෝවන්... ආයුබෝවන්...

ජීවිතය සැහැල්ලුවෙන් කෙළිලොල් විදියට ගෙවන... සරල කලණ මිත්‍රයෙක් තමා ඔහු....
සරල පෙනුමක් මුහුණෙ සහ අඳින පළඳින විදියෙ තිබුණට... ඇත්තටම ඔහු රුඩිකල්විදියට හුස්ම ගන්න පොරක්. ඉතා ගැඹුරැ අදහස් වගේම හොඳ වින්දනයක් තියෙන අපේ කාලේ දක්ෂයෙක්. ඔහුගේ රංගන හැකියාව ගැන කතා කරන්න දෙයක් නෑ... ඒ හැකියාව එයාගේ ලේවලටම මුසුවෙලා තියෙන්නේ... ඒවගේම ඔහු කවියෙක්... ඒ වෙන කවුරැවත් නෙවෙයි... කලණ ගුණසේකර. ප්‍රියන්ත මහඋල්පතගම කිව්වත් නොදන්න කෙනෙක් නැති තරම්... මොකද කූඹියෝ ටෙලියේ පට්ටම කැරක්ටුවක් වුණානේ... මෙයා. 

අනම්මනම් වැල්වටාරම් නැතුව කලණ මේ දවස්වල ජීවිතය ගෙවන තැනින්ම කතාව පටන්ගමුද එහෙනම්....
මේ දවස්වල ගෙදරට වෙලා නිවාඩු පාඩුවේ තමයි ගොඩක් වෙලාවට ඉන්නෙ... මීට අවුරුදු කිහිපයට ඉස්සෙල්ලා මම පොතක් ලිව්වා මූසිලය කියලා. ඒක පහුගිය දහ වැනිදා ප්‍රේක්ෂකයන්ට බලන්න එළියට දැම්මා... ඊට අමතරව අලුත් වේදිකා නාට්‍යයක් පටන් ගත්තා... ඉස්සරහාට චිත්‍රපටයකුත් තියෙනවා වැඩකරන්න... ඔහොම තමා ඉතින් ජීවිතය ගෙවෙන්නේ... නිරහංකාරව හිනාවෙලා තමා එහෙම කිව්වා...
මෙච්චර වෙලා ඩුප්ලිකේෂන් පාර දිගේ ඇවිදගෙන ගිය අපි... ළඟ තිබුණු බස් හෝල්ට් එකකින් ඉඳගත්තා... 

හරි මේකයි වැඩේ... කලණ....
කලණගේ රඟපෑම් ඕනතරම් දැකලා රසවිඳලා තියෙනවා... කලනගේ නිර්මාණ අපි දන්නවා... ඒවා ගැන නෙමේ... ඔබේ නොවන ඔබ ඔබේම කරගත් නිර්මාණයක් ගැන චුට්ටක් කතා කරමුද? අපේ වචනෙන්ම කිව්වොත්... බොක්කටම වැදුණු එකක් ගැන... හැබැයි... ඒක සින්දුවක් වෙන්නත් බෑ...

මෙච්චර වෙලා වැඩිපුර කතාකරපු කලණ මොහොතට නිහඬයි.. ලොකු සුසුමකට පස්සේ කතාව පටන් ගත්තා.. 
එවැනි නිර්මාණ නම් ගොඩක් තියෙනවා... මම කැමතියි මෙක්සිකෝ චිත්‍රපටවලට වැඩියෙන්ම ඇලෙජෙන්ඩෝ ගොන්සාලිස්ගේ නිර්මාණවලට. Amores perros, 21 Grams, Babel, Biutiful වගේ ඒවා... ඒ අතරිනුත් Amores perros කියන චිත්‍රපටය විශේෂයි. ඒක මගේ බොක්කටම වැදිච්ච නිර්මාණයක්... විශේෂයෙන් ආකෘතික හැඩගත්ත නිර්මාණ රසවිඳින්න තමා මම ගොඩක් කැමති... ලංකාවේත් ඊට සමාන නිර්මාණයක් තමා ප්‍රසන්න විතානගේ ගේ ඉරමැදියම චිත්‍රපටය... ලංකාවේ නිර්මාණයක් තොර ගන්න කිව්වොත් මම තොරගන්නෙ ඉරමැදියම තමා...

විශේෂයෙන් ඇයි මේ නිර්මාණ දෙක කලණගේ හදවතට කිඳාබැස්සේ...
Amores perros කියන නිර්මාණයයි... ඉරමැදියම කියන නිර්මාණයෙයි කතා තේමා දෙකක් වුණාට... ඉතා සමාන හැඩතල තමා දකින්න තියෙන්නේ.
මේ චිත්‍රපටවලට මගේ හිත යන්න හේතුව තමා කතා තේමාව සහ නළු නිළියන්ගේ දක්ෂ රංගනය. Amores perros චිත්‍රපටයෙන් කියවෙන්නේ මෙක්සිකෝ ජනජීවිතය හා සමාජ සිදුවීම් පෙළක්. එකිනෙකට වෙනස් කතා තුනක් එකම කැමරා කෝණයකට අපූරුවට එකතු කරනවා... ඒ වගේමයි... ප්‍රසන්න විතානගේ ගේ ඉරමැදියම. ඉරමැදියමට පාදකවෙන්නේ ලංකාවේ පොළොවේම පැලවුණු යුද්ධය කියන මාතෘකාව කතාන්දර කිහිපයක් ආකාරයට අරගෙන එකම ලයින් එකක තියාගෙන හරිම ලස්සනට ප්‍රේක්ෂකයාට ඉදරිපත් කරනවා. 

යුද්ධය කියන ප්‍රශ්නය ගත්ත ගමන් අපේ මතකයට එන්නේ ආයුධ වෙඩි උණ්ඩ, මිනිස්සු මරාගන්න වගේ රූපරාමු... වෙඩි තියාගන්නෙ නැතුව ඒ ප්‍රශ්නය කොහොමද පොළොවෙන් උඩ අරගන්නේ කියන එක හරි අපූරැවට ඉදිරිපත් කරලා තිබුණා. මේ වගේ අතිශය සියුම් කාරණ සහ මේ අධ්‍යක්ෂවරැන්ගේ සිනමාකරණය තමා මාව මේ නිර්මාණය තුළ ඇද බැඳ තබාගත්තේ...

ඉරමැදියම චිත්‍රපටයේ හදවතට වැදුණු චරිතයක් එහෙම ඇති නේද කලණ?
සමස්ත විදියට ගත්තොත්... චිත්‍රපටයේ චරිත ඔක්කොටම වගේ මම ගොඩක් කැමතියි. විශේෂයෙන් පීටර් ද අල්මේදා රඟපාන මාධ්‍යවේදියා චරිතය මට ගොඩක් හිතට වැදුණු චරිතයක්.

මේ චිත්‍රපට කී පාරක් විතර බලන්න ඇත්ද?
ඉරමැදියම චිත්‍රපටය නම් හය හත්පාරක් විතර බලලා තියෙනවා.. Amores perros චිත්‍රපටය නම් විසිවතාවකට වඩා බලලා ඇති. මට කොච්චර වතාවක් ෆිල්ම් බැලුවත් මතක හිටින් නැති ලෙඩක් තියෙනවා...
ඔහු ඒක කිව්වේ මුවඟට සිනහවක් එක්කරමින්...

ඔබව කම්පනය කරපු අවස්ථා මේ චිත්‍රපටය පුරා ගොඩක් ඇති නේද... එකක් දෙකක් මතක් කරමුද?
මට මතක විදියට මම ගොඩක් සංවේදී වෙච්ච තැනක් තමා චාමරි තම ස්වාමිපුරැෂයා සොයාගෙන යන්නෙ ​බලාපොරොත්තු ගොඩක් හිතේ තදකරගෙන.. එක් අවස්ථාවක් එනවා ඇගේ අවසාන බලාපොරොත්තුවත් බිඳවැටෙන තැනක්. ඒ තැන තමා මාධ්‍යවේදියත් එක්ක එල්.ටී.ටී.ඊ. එක් මුණගැහෙන්න යන අවස්ථාව... ඒ අවස්ථාවේ චාමරි දැඩි ලෙස අසරණ වෙනවා... මාව ගොඩක් සංවේදී කළේ ඒ මොහොත තමා.. අන්න ඒ මූඩ් එකට මම ගොඩාක් කැමතියි. චාමරිට රඟපාන්නේ නිම්මි හරස්ගම. හරිම අපූරැවට ඇය එම චරිතය නිරෑපණය කරනවා. 

ඔබට ඇත්ත ජීවිතේ ඒ මාධ්‍යවේදියා වෙන්න වුණොත් මොනවැයින් මොනවා වෙයිද? 
ඒක මට කියන්න බෑ. මම ඒ වගේ තත්ත්වයන්ට මුහුණදීලා නැති නිසා. ඒ මොහොතට පත්වෙලා බලන්න ඕන... මම හිතන්නේ ඒ මාධ්‍යවේදියා කරපුදේම මම කරයි... මොකද මට ඒ චරිතය දැනෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. 

මෙච්චරම ඔබට දැනෙන චිත්‍රපට ඇස ගැටුණේ කොහොමද?
මම කොහොමත් චිත්‍රපට ගැන උනන්දුයි.. ප්‍රසන්න විතානගේ, හඳගම සහ මෑත කාලේ නිපදවන චිත්‍රපට ගැන අවධානයෙන් ඉන්න නිසා මට කොහොමත් ඒ වගේ නිර්මාණ මඟ ඇරෙන්නේ නෑ.
නිර්මාණය අවසානයේ කලණගේ හිතට ආව හැඟීම් වචනවලට පෙරළමු...

ඇත්තටම මේ නිර්මාණ දෙකම අවසානයේ මගේ හිතට මුලින්ම ආවේ මේක පට්ටම ෆිල්ම් දෙකක් කියලා තමයි.. අනිත් කාරණා ඔක්කොම පස්සෙ හිතට එන ඒවා.. මොකද නිර්මාණයක් කියන්නෙ ඒක අතිශයින්ම නිර්මාණයක්ම පමණයි.. නිර්මාණයට ​තියෙනවා කොලිටි එකක් ඒ මට්ටමට නිර්මාණය ගෙනල්ලද නැද්ද කියන එක තමයි අංක එකට අපි බලන්න ඕන. 
කලණ කතාව නතර කරා....