ගීත ගණනාවක් රචනා කරපු නිලාර් අලුත් වැඩකට අතගැහුවා කියලයි ආරංචිය.
ඔව්.. මගේ නිර්මාණ ජීවිතේ වසර විසිපහක් ගතවීම නිමිත්තෙන් පොඩි වැඩකට අත ගහන්න කල්පනා කළා. අපේ ගීත ඉතිහාසය සංරක්ෂණය වෙලා ග්‍රැමෆෝන් තැටි ආකාරයෙනුත්, ඊ.පී තැටි ආකාරයෙනුත්, කැසට් පට ආකාරයෙනුත්, සී.ඩී තැටි ආකාරයෙනුත් මිනිස්සු අතරට ආවනේ. ඉතින් මේ වසර විසිපහ තුළ අතින් ලියපු ගීතවලින් ගීත සීයක් තෝරගෙන ඒක පෙන් ඩ්‍රයිව් එකකට අන්තර්ගත කරන්න තීරණය කළා. ඒක ටිකක් සුවිශේෂී වැඩක්. එහෙම ගීත පෙන් ඩ්‍රයිව් එකකට දමා ජනගත කිරීමක් මීට පෙර තිබුණේ නැහැ. ඒක ඉතා උසස් තාක්ෂණික ප්‍රමිතියකින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි මෙයට වෙනත් ගීත ඇතුළත් කරන්න බැහැ. ඊට අමතරව ඒ ගීත සීය ඒ අනුපිළිවෙලින්ම පොතකට මුද්‍රණය කරනවා. එමෙන්ම තෝරාගත්තු ගීත පහළොවක් ගැන ලියවූ විචාරයක් සහ රසවින්දනාත්මක සටහන් ද මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. මේ සියලු දේට අමතරව මේ ගීත ඇතුළත් සංයුක්ත තැටි හතරක් ද මෙදිනට නිකුත් කරනවා.
කවදද මේ අපූරු දිනය යෙදිලා තියෙන්නේ?
සැප්තැම්බර් මස හත්වැනිදා පදනම් ආයතනයේ එළිමහන් රංග පීඨයේදී ටිකක් වෙනස් විදිහේ සැඳෑවක අපූර්වත්වය විඳින්නට පුළුවන් වේවි. එදිනට අපේ රටේ ඉතා දක්ෂ, ප්‍රවීණ ගායක ගායිකාවන් කිහිපදෙනකු ගීත ගායනා කරනවා. ඒ අතරින් භාතිය සන්තුෂ්, උමාරියා, නිරෝෂා, උරේෂා, කසුන්, රුවන් හෙට්ටිආරච්චි, අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, එඩ්වඩ් ජයකොඩි, ඉන්දිකා උපමාලි ඇතුළු ශිල්පීන් පිරිසක් මෙහි ගීත ගායනා කරනවා. ආචාර්ය රෝහණ වීරසිංහ මෙහි සංගීතය මෙහෙයවනවා. ඉතින් මගේ ආදරණීය සහෘදයන්ට හොඳ වින්දනීය සැඳෑවක් වේවි කියලා මම විශ්වාස කරනවා. මෙය සරස වසන්තය ලෙසින් නම් කරලා තියෙනවා. මෙය ප්‍රවේශ පත්‍ර විකුණලා ලාභය උපයන සැඳෑවක් නොවේ. මෙය වාණිජකරණය කරන්න මම උත්සාහ කළේ නැහැ. මේ නිසා ඕනෑම කෙනෙක්ට පැමිණ මේ සැඳෑව රසවිඳින්න පුළුවන්. මගේ ගීතයට පෙම් බඳින සහෘදයන්ට මේ අවස්ථාව විවෘත කරලා තියෙනවා.
සරස වසන්තය කාගේ අදහසක්ද?
මේ අදහසනම් මගේ. හැබැයි මේ කටයුත්ත තනි මනුස්සයෙක්ට කරන්නනම් බැහැ. විශේෂයෙන් මෙහි සංවිධාන කටයුතු තීර්ථය කියන අපේ පිරිවරයි. ඒ වගේම මා ඉගෙනගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසදයේ සහෘදයන් ද මෙයට ලොකු ශක්තියක් වුණා. ඊට අමතරව රූපවාහිනියේ සහ ඊට පරිබාහිරව සිටින මිතුරන් පිරිසක් මේ ශක්තිය තුළ ඉන්නවා. ඒ හැමෝම නිර්මාණශීලී පිරිසක්. ඒ නිර්මාණශීලී පිරිසකගේ සාමූහික දායකත්වයක් කියන්නේ අනිවාර්යයෙන්ම නිර්මාණශීලී වැඩක් බවට පත්වෙනවා. ඒ නිසා මේ අදහස සමූහික වෑයමක් ලෙසින් ක්‍රියාවට නංවනවා.
අපි ටිකක් ඔබේ අතීතයට යමු.. ළමා කාලය ගෙවුණේ කොහොමද?
මගේ ගම මාතර. සාමාන්‍ය සාම්ප්‍රදායික මුස්ලිම් පවුලක දරුවෙක් විදිහට මම ඉපදුණා. මගේ සහෝදරියක් දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගත්තා. මගේ සහෝදරයෝ සිංහල මාධ්‍යයෙන් ඉගෙනගත්තා. අපේ ගෙදර සාමාන්‍යයෙන් කතා කළේ දෙමළ භාෂාවෙන්. හැබැයි මගේ මව්පියෝ මටත් සිංහල මාධ්‍යයෙන් උගන්වන්න තීරණය කළා. ඒක තමයි මගේ ජීවිතේ පළමු සංධිස්ථානය වුණේ. මම ඉගෙනගත්තේ රාහුල විද්‍යාලයෙන්. ඒ පාසැලේ බිත්ති පුවත්පත මගේ කලා ජීවිතයේ ආරම්භය වෙන්න ප්‍රබල හේතුවක් වුණා. ඒ කාලේ රුහුණු සේවය කියන ප්‍රාදේශීය නාලිකාව තුළින් විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ වුණා. පත්තරවල මගේ කවි පළවුණා. ඔය අතරේ මම ලියන කවිවල කවි ගතියටත් වඩා ගීතවත් ගතියක් තියෙනවා කියලා බොහෝදෙනා කිව්වා. ඒ නිසා කවි ලියනවට අමතරව මම ගීත රචනා කළා. ඔය ගීත ඇතැම් ශිල්පීන්ට මම යැව්වා. සමහරු ඒවා කිසිම විදිහකින් ගණන් ගත්තේ නෑ. සමහරු බලන්නෙවත් නැතිව ඔය ගීත අවුරුදු ගාණක් ෆයිල්වල දාගෙන තිබුණා.
මතකද ඔබේ ගීතයක් ගැයූ මුල්ම ගායිකාව හෝ ගායකයා කවුද කියලා?
හොඳට මතකයි. ඒ මාලනී බුලත්සිංහල මහත්මියයි. ඒ සමනලුන් රොඳක් නිල් ගොයමට වියන් බැඳීනම් කියන ගීතයයි. රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරැවෝ තමයි ඒ ගීතය තෝරලා දීලා තිබුණේ. ඒ තමයි මගේ මුල්ම ගීතය වෙන්නේ. ඊට පස්සේ මගේ ගීත කිහිපයක්ම ජනප්‍රිය වුණා. ඒ අතරින් පැහැසර අරැණක ඉරමල පිපුණාවේ (අසංක ප්‍රියමන්ත පීරිස්), විහඟ ගීතය නිහඬ ඇයි (මාලනී බුලත්සිංහල - අමරසිරි පීරිස්), හිත මනමාලකම් කරයි (සමන්ත පෙරේරා) වගේ ගීත මගේ ආරම්භක කාල පරිච්ඡේදයේ ජනප්‍රිය ගීත වුණා.
ආරම්භය එසේ වුවත් නිලාර්ට පරම්පරා කිහිපයකම ශිල්පී ශිල්පීන්ට ගීත නිර්මාණ කරන්න වරම් ලැබුණා නේද?
ඔව්.. පරම්පරා තුනකට ගීත නිර්මාණ කරන්න මට ඒ වරම් ලැබුණා. එක පැත්තකින් මට වඩා ශ්‍රේෂ්ඨ පරපුර වූ අබේවර්ධන බාලසූරිය, නෙරංජලා සරෝජිනී, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, මාලනී බුලත්සිංහල වැනි ජ්‍යෙෂ්ඨයන්ටත්, සමන්ත පෙරේරා, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව වැනි මගේ සමකාලීන පරපුරටත් භාතිය සන්තුෂ්, කසුන් කල්හාර, උමාරියා, රුවන් හෙට්ටිආරච්චි, මිහිඳු ආරියරත්න වැනි පසුකාලීන පරපුර දක්වා පුළුල් පරාසයකටත් ගීත ලියන්න මට අවස්ථාව ලැබුණා. ඒක රසිකයකුට ලැබෙන විරල වරමක්. අද වෙනකොට නාලිකා තුනක මම ලියපු ගීත ඒ ටෙලිනාට්‍යවල තේමා ගීත හැටියට ප්‍රචාරය වෙනවා. ඒ තමයි වෙස් නාට්‍යයෙත්, කළු කුරුල්ලෝ නාට්‍යයෙත්, කිරිල්ලියෝ නාට්‍යයෙත් තේමා ගීත.
ඔබ අතින් ලියවුණු ගීත සිනමා නිර්මාණවලටත් එකතු වුණා නේද?
ඔව්.. පසුකාලීනව මගේ ගීත රචනා විත්‍රපටවලටත් එකතු වුණා. ඒ අවස්ථාව මුලින්ම මට ලැබෙන්නේ උදයකාන්ත වර්ණසූරිය මහතා මාර්ගයෙන්. ඔහු නවකයින්ට අත දෙන අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ යකඩ පිහාටු චිත්‍රපටයට තමයි මම මුලින්ම ගීත නිර්මාණ කළේ. ඊට පස්සේ ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ, චැලෙන්ජර්, කොස්තාපල් පුඤ්ඤසෝම චිත්‍රපටයේත් වෙනත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ කිහිපයකටත් මම ගීත රචනා කළා.
ඒ ගීත බොහෝමයක් ජනප්‍රිය වුණා වගේම සම්මානවලට පිදුම් ලැබීම හා නිර්දේශ වීමක් ද සිද්ධ වුණා නේද?
ඔව්.. ඒ බොහෝ ගීත ඉතා ජනප්‍රිය වුණා. මම වෘත්තීය වශයෙන් රූප මාධ්‍යයේ රැකියාවක් කරන කෙනෙක්. බොහෝ ගීත මිනිසුන් ආදරයෙන් වැළඳ ගත්තා වගේම බොහෝ සම්මානවලටත් නිර්දේශ වුණා. සම්මාන හිමිවුණා. ඇත්තටම ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්.
නිලාර්ගේ ළමා කාලෙදීත් හීනය වෙලා තිබුණේ මාධ්‍යයට සම්බන්ධ වෙන්නද?
නැහැ. මට මුලින්ම චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තමයි හීනය වෙලා තිබුණේ. ඊටපස්සේ ලිවීමේ තියෙන දක්ෂතාවයත් එක්ක මාධ්‍යයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණේ. මම පුවත්පත් කලාවට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. උසස් පෙළ කරන කාලේ ඉඳන්ම පුවත්පත් කිහිපයකට මම ලිව්වා. ඊටපස්සේ තමයි රූපවාහිනී මාධ්‍යයට එකතු වෙන්න මට අවස්ථාව ලැබුණේ. ඉබේම රූපවාහිනිය මගේ නිර්මාණ තෝතැන්න බවට පත්වෙනවා. මම කරපු පළමු වැඩසටහනම එකල සුමති සම්මාන උළෙලට නිර්දේශිත වුණා. ඊට පස්සේ මම ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් විදිහට කටයුතු කළා. වර්තමානයේදී රූපවාහිනියක නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරනවා. මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ මගේ තිබුණ අත්දැකීම් මට හරි වැදගත් වෙනවා.
මේ අවුරුදු විසිපහට ඔබේ අතින් ගීත කීයක්නම් නිර්මාණය වෙලා ඇත්ද?
දළ වශයෙන් ගීත හයසීයකට ආසන්න ප්‍රමාණයක් ලියවිලා තියෙනවා. ඒ අතරින් ගීත සීයක් තෝරාගැනීමත් ටිකක් අමාරු ප්‍රශ්නයක් වුණා. මම ලියපු ගීත අතරින් අප්‍රකට ගීත තියෙනවා. ඉතින් මිනිසුන් අතරට ගිය ගීත අතරින් තමයි මේ ගීත සීයක් තෝරා ගත්තේ.
නිලාර් අතින් ලියවුණු ගීත අතරින් කාගේ හෝ ජීවිතේ ලබපු අත්දැකීම් ගීපද වැල්වලට එකතු වුණු අවස්ථා එහෙම නැද්ද?
එහෙම තියෙනවා. නිර්මාණයකට වස්තු බීජයකට අපිට ලැබෙන දේ අපේම අත්දැකීමක් වෙන්නත් පුළුවන්. කාගෙහරි අත්දැකීමක් වෙන්නත් පුළුවන්. මට එක්තරා අවස්ථාවක යාපනයට යන්න අවස්ථාව ලැබුණා. ඒ ගමනේදී ලබපු අත්දැකීමක් අනුව තමයි පැහැසර අරුණක ඉරමල පිපුණාවේ කියන ගීතය නිර්මාණය වෙන්නේ. උසස් පෙළ කාලයේ ලබපු භීෂණ අත්දැකීම් විහඟ ගීයට වස්තු බීජය වුණා. ප්‍රේමය පිළිබඳව මේ සමාජයේ අහන දකින දෙයින් ප්‍රේමනීය ගීත මා අතින් නිර්මාණය වුණා. ඒ හැරුණු විට චිත්‍රපට සඳහා ලියපු ගීත මගේ අතින් නිර්මාණය වුණේ ඒ චිත්‍රපටවල අවශ්‍යතාවයන්ට අනුවයි.
නිලාර්ගේ පවුලේ විස්තර ටිකක් කියමු?
මගේ බිරිඳත් ගායන හැකියාවක් තියෙන විශාරද ශිල්පිනියක්. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ගෝලයෙක්. කේමදාසයන්ගේ නිර්මාණත් එක්ක තමයි ඇයව මට මුණගැහෙන්නේ. මේ යන රැල්ලත් එක්ක හඹා යනවාට වඩා පවුල් කුටුම්භය රැකිලා තියෙන්න ඕනේ නිසා ඇතැම් දේ කැප කරන්න සිද්ධ වුණා. අද අපට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නා කොළඹ මියුසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. මේ වනකොට රූපවාහිනියේ කටයුතු කරනවා. ඊට අමතරව වෙනත් නිර්මාණ කටයුතුවලට දායක වෙනවා. රිදී රැයක් වැනි ප්‍රසංගවල පිටපත් රචනාවෙන් සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. මේ වනවිට මම පොත් පහළොවක් පමණ රචනා කරලා තියෙනවා. දෙමළ භාෂා දැනුම පාවිච්චි කරලා මම පොත් කිහිපයක්ම පරිවර්තනය කරලා තියෙනවා. අද වනවිට ටෙලිනාට්‍ය කිහිපයකටත්, චිත්‍රපට කිහිපයකටත් මට ගීත සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. මුල් කාලයේදී ලියලා ලියලා අපි ගොඩගහගන්නවා. නමුත් අද අපි ලියන වේගෙට වඩා මගෙන් ගීත ඉල්ලන පිරිස වැඩියි. නමුත් ඉල්ලුම කොච්චර ඉහළ ගියත් නිර්මාණකරුවකුට නිර්මාණයේ අගය රඳවාගෙන ඒ නිර්මාණය වෙනුවෙන් ගන්න කාලය වෙනස් කරන්න බැහැ. කාට කොච්චර හදිස්සියක් තිබ්බත් ඒ නිර්මාණය වෙනුවෙන් කාලයක් තියෙනවා. සමහරවිට රෑට නිදාගන්න ගිහින් නින්ද යන්නේ නැති වෙලාවක හිතට එන වචන ඉක්මනට ඇඳෙන් නැගිටලා ඇවිත් ලියලා තියලා නිදාගත්තු වෙලාවල් තියෙනවා. තනුවට අනුව ලියද්දි ෙවලාවකට එක හුස්මට ලියවෙනවා. සීත මාරුතේ ගීතය දවස් දෙකකින් ලියවුණත් චාන්දනී පායලා ගීතය වෙනුවෙන් මට මාස අටක් ගතවුණා. කොහොම වුණත් මගේ අතින් ලියවුණු හැම ගීතයකටම මම එක වගේ ආදරෙයි.
► Text - Dishani Pic by l Sumudu