ඇතැම් කලා සම්මාන උළෙලවල්වලදී අපූරු සිදුවීම් සිදුවෙනවා අප දැක තිබෙනවා. සම්මාන ලබා දීමේදී මෙන්ම ඇතැම්විට තිරයේ පිටුපස ද අපූරු සිදුවීම් අප දැක තිබෙනවා.
පසුගිය දවසක උත්කර්ෂවත් අන්දමින් පැවැති සම්මාන උළෙලකදීත් එවැනි අපූරු සිදුවීමක් කාටත් දැක ගන්නට පුළුවන් වුණා.
සම්මාන ප්‍රධාන කිරීමට වේදිකාවට ආරාධනා ලැබ සිටියේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. එම අදියරේ සම්මාන අතරේ හොඳම ගීත රචකයාට හිමි සම්මානෙකුත් තිබුණා. නිර්දේශිත නාමයන් නිවේදනය කරනු ලැබුවා. හොඳම ගීත රචනයට මහාචාර්යවරයාගේ නමත් නිර්දේශ වෙලා තිබුණා. ඒත් සම්මානය ගියේ වෙනත් අයකුට. මහාචාර්යවරයා එම සම්මානලාභියාට හදවතින්ම සුභ පැතුවා.
මෙම සිද්ධියට පාදක වූ තවත් අපූරු සිදුවීමක් තමයි එම සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සොයුරු තිලකරත්න කුරුවිට බණ්ඩාර කටයුතු කිරීම.
පසුගිය දවසක ගායකයකු නොවන කලාවට සම්බන්ධ අයකුගේ ගීත ගායනා කරන වීඩියෝවක් මූණු පොතේ සැරිසරනවා කවුරැත් දැක තිබෙනවා.
ඒ සඳහා ප්‍රතිචාර (comments) වගේම ලයික් ද විශාල වශයෙන් ලැබී තිබුණා.
ඒත් ඒ අතර තිබූ ඇතැම් සුවිශේෂී ප්‍රතිචාර ගැනයි මේ සටහන තබන්නේ.
ඒ ප්‍රතිචාර දමා තිබුණේ මේ රටේ වසර 40කට 50කට ආසන්න කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්න ප්‍රවීණ ජනප්‍රිය ගායක ගායිකාවෝ.
කෙනකුගේ හොඳක් දුටු තැන ඒවා අගයන්නට ඒ ප්‍රවීණයෝ පසුබට වෙන්නේ නැහැ. නව පරපුරේ කලා ශිල්පීන්ට ඔවුන්ගේ ආදර්ශය ගොඩාක් වටිනවා.
මේක කලාවට සම්බන්ධ අපේ ප්‍රවීණ මාධ්‍යවේදියකුට පසුගිය දවසක මූණ දෙන්න වුණු ඇබැද්දියක්. දවසක් ටිකක් රෑ බෝවෙලා මෙයා ජනප්‍රිය නළුවෙකුට කෝල් එකක් ගත්තලු.
මම ජයන්ත ගාල්ලගේ..
මොකෑ - ගාල්ලගේ ජයන්ත
මම ජයන්ත.... ජයන්ත...
ගාල්ලෙන්ද?
ඔහුට ඇහුණේ නුහුරු කඩහඬක්.
මම මෙහෙ සේවකයෙක්. සර් බාත්රූම් එකේ. ගාල්ලෙන් ජයන්ත කිව්වා නේද?
මම සර්ට පැමිණිලි කරනවා හරිද? කන ඇහෙන්නෙ නැද්ද? මම ජයන්ත ගාල්ලගේ
තව ටිකකින් ඔහු අර නළුවට ආයෙත් කෝල් එකක් ගත්තා.
කවුද පොරක් කලින් කතා කරලා ඇහුවනෙ මම ගාල්ලෙන් ජයන්තද කියලා. අපි කවුද කියලා එයාට කියලා තියන්න.
අනේ සොරි... මෙහෙ වැඩට ළඟදි ආවේ. මම ඒ ගැන බලලා ඇක්ෂන් එකක් ගන්නම්.
ජයන්තට අර සේවකයගෙන් මිනිත්තු පහක් ඇතුළත කෝල් එකක් ආවලු.
අනේ ජයන්ත සර්. මා ගැන සර්ට කිව්වද? මාව රස්සාවෙන් අස් කරන්න යනවා. මම අහිංසක දරු පවුල්කාරයෙක් සර්..
හරි හරි මම සර්ට දැන් කතා කරන්නම්කෝ..
අනේ රන්ජන් එහෙම කරන්න එපා. මිනිහව අස් කරන්න එපා. පොඩි වෝනින් එකක් දෙන්නකො.
පිස්සුද අස් කරන්න මිනිහෙක් නෑ. මමනෙ කඩහඬ වෙනස් කරලා එහෙම කතා කළේ..
සාමාන්‍යයෙන් මාධ්‍ය සාකච්ඡාවලට මාධ්‍යවේදීන්ට ආරාධනා කිරීමේදී සංවිධායකවරු ඔවුන්ව කල් වේලා ඇතුව දැනුම්වත් කරනවා. ඒත් සමහරුනම් අනෙකාගේ කාල වේලාව ගැන කිසිම තැකීමක් නොකර ආත්මාර්ථකාමීව කටයුතු කරනවා.
මෑතකදී ප්‍රවීණ කලා ශිල්පියකුගේ කටයුත්තක් ගැන දැනුම්වත් කිරීමට මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා.
සංවිධාන වැඩේ පැවරිලා තිබුණේ ප්‍රවීණ මාධ්‍යවේදියකුට. එහෙත් ඔහුට ඒ ගැන මතක් වෙලා තිබුණේ අන්තිම මොහොතේ. ඔහු දන්න දන්න හැම මාධ්‍යවේදියකුටම කෝල් දෙනවලු.
මචං ඔයා කොහෙද ඉන්නේ? වැඩකද?
ඔව්. මම ඉස්කෝලෙට ආවා පුතාව ගන්න.
අනේ මචං හදිසි මාධ්‍ය හමුවක් තියෙනවා. උඹට එන්න බැරිද?
කවදද? කොහෙද තියෙන්නේ?
දැන් දැන් මචං.. තව මිනිත්තු දහයකින් පටන්ගන්නවා.
පිස්සුද බං? ඔහොම කට ළඟ තියලා කිව්වම එන්න පුළුවන්ද?
කමක් නෑ. කමක් නෑ. උඹට බැරිනම් ඉක්මනින් ගෙන්නගන්න පුළුවන් යාළුවෙක්ගෙ නම්බර් එකක් දීපන්කො. මට කට්ටිය වැඩියෙන් පෙන්නන්න ඕනේ.
► Text - Mithra