2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

නිවාඩුව ඉවරවෙද්දී සමහර දරුවන් යන්නම ගිහින්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

විශේෂිත දක්ෂතා ඇති දරුවන්ට මහා දිරියක් වූ 
ගුරුවරයෙකුගේ සංවේදී මතක

නඳුන්... ඔබ විශාරද සංගීත ගුරුවරයෙක් වගේම විශේෂිත දක්ෂතා තියෙන දරුවන්ටද සංගීතය කියාදෙන ආදරණීය ගුරුතුමෙක්. වසර ගණනාවක් තිස්සෙ ඔබ ලැබූ අත්දැකීම් ගැන අපිට කිව්වොත්...?
ඔව්... මම අවුරුදු දාහතරක් තිස්සෙ විශේෂිත දක්ෂතා තියෙන දරුවන් එක්ක වැඩ කරලා තියෙනවා. මම ඒ දරුවන් එක්ක එකතුවෙලා සංහිඳ කියලා ප්‍රසංග මාලාවක් පැවැත්වූවා. 2002 වසරේදී තමයි මම ඒ විශේෂිත දක්ෂතා තියෙන දරුවන් එක්ක වැඩ කරන්න යොමුවුණේ. ඊට අවුරුදු දෙකකට පස්සෙ තමයි මම මේ ප්‍රසංග මාලාව ඒ දරුවන් එක්ක එකතුවෙලා කරන්න පටන් ගත්තෙ. එතැන් සිට ප්‍රසංග මාලා අටක් අපි මේ වෙද්දී පවත්වලා තියෙනවා.

විශේෂිත දක්ෂතා දරුවන් සමඟ එකතුවෙන්න නඳුන්ට මුලින්ම අවස්ථාව ලැබුණේ කොහොමද..?
2002 අවුරුද්දෙ මම මගේ හිතවත් යාළුවෙකුගෙ ගෙදර ගියා. ඒ ගෙදර හිටපු පුතා විශේෂිත දක්ෂතා තියෙන දරුවෙක්. අද අපි විශේෂිත දක්ෂතා තියෙන දරුවෙක් කියලා ඒ දරුවන් හැඳින්වූවාට මීට අවුරුදු ගාණකට උඩදී ඒ දරුවන්ව එක්තරා නමකින් තමයි හැඳින්වූවේ. ඒ නම ඇත්තටම අදටත් මම පාවිච්චි කරන්න කැමති නැහැ. කොහොමහරි ඒ මන්දමානසික දරුවන්ව ටික කාලයකට උඩදී විශේෂිත අවශ්‍යතා දරුවන් (Special need children) කියලා මේ සමාජය හැඳින්වූවා. නමුත් අද අපි ඒ දරැවන්ව විශේෂිත දක්ෂතා දරැවන් (Special ability children) විදිහට තමයි හඳුන්වන්නෙ. ඉතින්... එදා එවැනි දරුවෙක් මගේ යාළුවෙකුගේ ගෙදර සුපුරුදු පරිදි මුළුගැන්විලා තමයි හිටියේ. ඒ වෙද්දී එවැනි දරුවන් පිළිබඳව මගේ අවධානයක් යොමුවෙලා තිබුණේ නැහැ. 1997 ඉඳන් තමයි මම සංගීත ගුරුවරයෙක් විදිහට වැඩ කළේ. අදටත් මම හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත ගුරුතුමා විදිහට සේවය කරනවා. 2000 වසරේදී තමයි මම සංගීත විශාරද බව ලැබුවේ. ඉතින්.. ඒ දරුවාගේ තියෙන විශේෂිත බව නිසාම මම මගේ යාළුවාගෙන් විස්තර අහලා ඒ දරුවා දියුණු කරන්න පුළුවන් විදිහ ගැන හිතන්න පටන් ගත්තා. ඒ හරහා තමයි මේ දරුවන් වෙනුවෙන් මට යමක් කරන්න ඕන වුණේ. ඊටපස්සෙ තමයි මම නාරාහේන්පිට චිත්‍රාලේන් විශේෂිත පාසලේ ස්වේච්ඡා ගුරුතුමෙක් ලෙස සේවයට බැඳුණේ. ඒ පාසලේ දරුවන් අටසීයක් පමණ ඉගෙනුම ලබනවා. එතැනදී තමයි මම මේ විශේෂිත දක්ෂතා තියෙන දරුවන් පිළිබඳව 
පර්යේෂණාත්මක මට්ටමින් අධ්‍යාපන කටයුතු කරන්න පටන් ගත්තෙ. 

ඒ දරුවන් සාමාන්‍ය දරුවන්ට වඩා ආදරය දැනෙන තැනට හුඟාක් ළෙංගතුයි කියලද ඔබ හිතන්නෙ..?
ඔව්... අනිවාර්යයෙන්ම. ඒ දරුවන්ට අවශ්‍යයම දේ තමයි ආදරය. ඒ ආදරය කියන දේ තුළදී ඒ දරුවන් හරිම කීකරුයි. ඒ වගේම හරිම ආදරණීයයි. බොහෝ මව්පියන් මේ දරුවන්ට සාමාන්‍ය දරුවන්ට වඩා අනුකම්පා කරන්න උත්සාහ කරනවා. නමුත් මේ දරුවන්ට කවදාවත් අනුකම්පාව අවශ්‍ය වෙන්නෙ නැහැ. මේ දරුවන්ට අවශ්‍ය වෙන්නෙ සැබෑ ආදරය විතරමයි. ඒ ආදරය, ඒ ළෙංගතුකම දැනෙන තැනදී ඒ දරුවන්ට තව කෙනෙකුගේ උදව්වක් අවශ්‍ය වෙන්නෙ නැහැ. විශ්වාස කරන්න, එවැනි දරුවන්ට දවසක මව්පියන් බලාකියාගන්න පවා හැකියාවක් තියෙනවා. නමුත් ඒ හැම දෙයකටම ඒ දරුවන්ට ලබාදෙන සැබෑ ආදරය හරිම වටිනවා.

කොහොමද ඒ දරුවන් එක්ක ගතකරන ජීවිතය...?
හරිම සුන්දරයි. සමහර දරුවන් මම චිත්‍රාලේන් පාසලට එනතුරු ගේට්ටුව ළඟට වෙලා බලාගෙන ඉන්නවා. මගේ කාර් එක ඈතදීම දකිද්දී ඒ අය පුදුම සතුටක් විඳින්නෙ. මම දැන් හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරනවා. නමුත් ඒ දරුවන්ගේ එහෙම දෑස් දල්වා බලාපොරොත්තුවක් දිස්වෙන්නෙ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්නෙ. නමුත් මේ දරුවන් මම එනතුරු බලාගෙන ඉන්නවා. මම ඉඳගන්න පුටුව හදලා තියනවා. වාඩිවෙන තැන වතුර එකක් එහෙම තියලා තියනවා. ඒ කිසිම දෙයක් අණකිරීමකින් කියන දෙයක් නෙමේ. ඒ දරුවන්ගේ පුංචි ලෝකයේ සුන්දරකම තමයි ඒ. ඉතින් ඒ දරුවන් එක්ක ගතකරන ලෝකය හරි ලස්සනයි.

ඔය ගතකරපු කාලය තුළ ඔබේ හිත වඩාත්ම සංවේදී වුණු සිදුවීම් තියෙනවද..?
අනන්තවත් තියෙනවා. මම කාලාන්තරයක් තිස්සෙ එක්තරා විශේෂිත දක්ෂතා දරුවෙක්ට ඉගැන්වූවා. ඇය ඉතා දක්ෂ දරුවෙක්. ඇයගේ ප්‍රසංග ගණනාවක්ම මම කළා. ඇය අපස්මාරය කියන රෝගය ඇති දරුවෙක්. ඉතින් ජාතික තරුණ සේවා සභාවේ පැවැත්වූ එක්තරා ප්‍රසංගයකදී ඇය වාදක මණ්ඩලයත් එක්ක ගීතයක් ගායනා කරමින් ඉඳිද්දී එකපාරටම අපස්මාරය රෝගය හැදිලා ස්ටේජ් එක උඩ වැටුණා. ඇත්තටම ඒක මට දරාගන්න බැරිවුණා. තරුණ සේවා සභාවේ සිටි මුළු ප්‍රේක්ෂකාගාරයම නැඟිට්ටා. ඊටපස්සෙ මම කියපු දෙයක් තමයි මට පැය භාගයක් දෙන්න.. මම මේ පැය භාගය ඇතුළත දරුවාව සන්සුන් කරලා නැවතත් ප්‍රසංගය කරනවා කියලා. ඒ කියපු විදිහටම මම ඒ ප්‍රසංගයත් හොඳටම කළා. ඒක තමයි විශේෂිත දක්ෂතා ඇති දරැවන් එක්ක කරපු ප්‍රසංගවල සංවේදීම අත්දැකීම වුණේ. පාසල් අගෝස්තු නිවාඩුවට පස්සෙ සැප්තැම්බර් මාසේ පාසල් ගියාම සමහර දරුවන්ගේ මුහුණු අපිට දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ ගැන මම කවදාවත් අහන්නෙ නැහැ. නමුත් මම දන්නවා, ඒ ආදරණීය පුංචි දරුවන් අපිව සදහටම හැරදා ගිහින් බව. ඒ වගේ ඉතාම සංවේදී අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා. හරිම අපූරැවට හිනාවුණු හරිම අපූරුවට සින්දු කියපු හරිම අපූරුවට අපිට ජීවිතය කියලා දීපු එවැනි දරුවන් කිහිපදෙනෙක්ම ඒ විදිහට අපිව සදහටම දාලා ගිහින් තියෙනවා. නමුත් තවමත් ඒ දරුවන්ගේ හිනාවෙන් පිරුණු ඒ සුන්දර මුහුණු මට හොඳට මතකයි. ඒ හැම දරුවෙකුගේම ජීවිතවලින් අපේ ජීවිතයට ගන්න තියෙන දේවල් බොහොමයි. අපි සාමාන්‍ය කෙනෙකුට ආදරය දෙන්නෙ එක වතාවක්නම් එවැනි විශේෂිත දක්ෂතා තියෙන දරුවන්ට දහස් වතාවක් එම ආදරය දෙන්න. ඒ ආදරය ඒ අයට දැනෙනවා. ඒ අයට දැනෙන ආදරය අපිටත් දැනෙනවා කියලයි මම හිතන්නෙ.

එවැනි විශේෂිත දක්ෂතා දරුවන් කෙරෙහි සමාජය තුළ පවතින ආකල්ප ගැන ඔබ මොකද හිතන්නෙ..?
ඔවුන් දිහා ආපස්සට හැරී අනුකම්පාවෙන් කිසිමදාක බලන්න එපා. අද සමාජයේ සිටින මෙවැනි දරුවන් දිහා බොහෝ දෙනා දෙපාරක් නෙමෙයි දහපාරක් හැරිලා බලනවා. හැබැයි ඒ දහපාරක් හැරිලා බලන්නෙ මේ වගේ දරුවෝ හරි ආදරණීය දරුවෝ.. ඒ අයට පාර පෙන්නුවොත් හරිම දක්ෂතා තියෙන දරුවෝ.. කියන අදහසිනුයි. ඒ දරුවන්ටත් බස් එකක් නවත්වන්න. ඉඳගන්න සීට් එකක් දෙන්න. නමුත් කවදාවත් ඔවුන්ට අනුකම්පා කරන්න එපා.

මේ දරුවන් එක්ක එකතුවෙලා ප්‍රසංගයක් කරනවා කියන්නෙ ඒ තරම් ලේසි පහසු කටයුත්තක් නෙමේ. ඒ අයව හසුරුවාගන්න ටිකක් අමාරුයි නේද..?
ලංකාවේ රියැලිටි කලාවට අවුරුදු දහසයක් ගතවුණා. මේ රියැලිටි වැඩසටහන්වලදී නිෂ්පාදන කණ්ඩායම තමයි එතැන ඉන්න අයට අත්පුඩි ගහන්න, නිශ්ශබ්ද වෙන්න වගේ දේවල් පවා කියන්නෙ. ඒ හැමදෙයක්ම රඟපෑමක්. නමුත් පසුගියදා අපි ඉදිරිපත් කළ හිරු ස්ටාර් රියැලිටි වැඩසටහනේ ඒ කිසිම දෙයක් කළේ නැහැ. අපේ දරුවෝ කවදාවත් එතැන රඟපෑවේ නැහැ. ඒක ඇත්තටම රියැලිටි එකක්. මම කරපු ප්‍රසංගවලදී කවදාවත් ඔය දරුවන්ට රඟපාන්න ඉගැන්වූවේ නැහැ. අපි ඒ ප්‍රසංග කළේ සජීවීවයි. ඒ සජීවී බව හරි අපූරුයි.

 

► Text — Dishani  /  Pic - Sarasi Nethmini

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00