2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

එක අතින් වැඩ පෙන්වන නිරූපිකාව

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

කෙලී නොක්ස් කියන්නේ එංගලන්ත ජාතික නිරූපණ ශිල්පිනියක්. තිස් හතර හැවිරිදි දෙදරු මවක් වන ඇය ජීවත්වන්නේ උතුරු ලන්ඩනයේයි. වසර දහයක පමණ ඉඳන් නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන ඈ මේ වෙද්දි එංගලන්තය තුළ තරමක් ජනප්‍රිය තැනැත්තියක්. නමුත් ඇගේ ජනප්‍රියත්වය එංගලන්තෙන් එහාටත් පැතිරෙන්න සමත් වුණු සිදුවීමක් පහුගියදා සිද්ධ වුණා. 

කෙලී නොක්ස් කියන්නේ උපතින්ම ආබාධිත තැනැත්තියක්. ඇගේ වම් අතේ වැළමිටෙන් පහළ කොටස ඈට උපතේදීම අහිමි වෙලා තිබුණා. මේ නිසාම ඈට නිරූපණ ක්ෂේත්‍රය තුළදී විශේෂ අවධානයකුත් හිමිවුණා. කොහොම නමුත් අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක් කෙලී සමඟ පහුගියදා සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා. 

‘මෙහෙම අතක් අඩුව තියෙද්දිත් ඔබ මේ තරම් ඉදිරියට ආවේ කොහොමද? ඔබ කොහොමද කටයතු කළමනාකරණය කරගන්නේ?’ ඇගෙන් එහිදී විමසා තිබුණා. 
“ඇයි මොකක්ද මගේ අඩුව? මට නම් මගේ කිසිම අඩුවක් පේන්නෙ නැහැ. ඔයා වගේම මාත් සම්පූර්ණ මනුස්සයෙක්” ඇය ලබාදුන්නේ අපූරු උත්තරයක්.  
ඇය පසුව තමන්ගේ ට්විටර් ගිණුමේද මේ ගැන සඳහන් කර තිබුණා. 

“මිනිස්සු මගෙන් හැම වෙලේම අහන ප්‍රශ්නයක් තමා ඔයා කොහොමද තනි අතකින් වැඩ කරගන්නෙ කියලා. එවේලෙට මම දෙන උත්තරේ තමයි මට එහෙම අඩුවක් දැනෙන්නෙ නැති බව” 
ඈ තම කුඩා කාලය ද මෙනෙහි කරන්නීය. ඇගේ මවගේ මිතුරියන් තමා කුඩා දැරියක්ව සිටි කාලයේදී තමන්ට එක අතක් නොමැති වීම ඉස්මතු කරමින් කතාකළ අයුරු ඈට තවම මතකය. 
“බලන්නකෝ ඔයාගේ දුව ගොඩක් ලස්සනයි. එයාට හැමදේම තියෙනවා. හොඳ අම්මෙක් තාත්තෙක් වගේම සහෝදරයෝ දෙන්නෙකුත් ඉන්නවා. එයාගේ අතත් තිබ්බනම් හැමදේම සම්පූර්ණයි නේද?” මවගේ මිතුරියන්ගේ මෙම කතාබහ කෙලීට කුඩා අවදියේ පටන්ම මහත් කරදරයක් වී තිබුණි. 

කෙලීට අනුව කිසිවිටෙක පුද්ගලයෙකුගේ රූපකායෙන් හෝ එම රූපකායේ ඇති යම් අඩුපාඩුවකින් එම තැනැත්තාගේ අභ්‍යන්තරයේ තිබෙන ලක්ෂණ හෙළි කරගැනීමේ හැකියාවක් ඇත්තේ නැත. එය හෙළි පෙහෙළි කරගැනීමට නම් එම තැනැත්තා සමඟ හොඳ ඇසුරක් පවත්වාගත යුතුය. එසේ නොමැතිව රූපකායේ ඇති අඩුපාඩුවක් නිසා එම තැනැත්තා ගැන විනිශ්චයකට පැමිණීම සුදුසු නැත. 

“මගේ රූපකාය දකින හැමෝටම මම කියන්නේ මගේ ආත්මය, ඇතුළත දකින්න කියලයි. මගේ ඇතුළත සහ ආත්මය හොඳින් පිරිච්ච එකක් කියලයි මට දැනෙන්නෙ. ඒ නිසයි මට අතක් අඩුද නැද්ද කියලා මම වද වෙන්නෙ නැත්තෙ. මොකද මම හිතන හැටියට මම සම්පූර්ණ සහ පිරිච්ච මනුස්සයෙක්” ඈ කියන්නීය. 

ඇගේ මේ අදහසට සහාය පළකරමින් ලොව වටා සිටින බොහෝ දෙනෙකු ඈට ශුභ පතමින් ඈට ට්විටර් හරහා පණිවුඩ එවන්නටද කටයුතු කර තිබුණි. ලෝකය දෙස මෙන්ම මිනිස් ජීවතය දෙසද හරි ඇසකින් බලමින් තම ශාරීරික අඩුපාඩු ජීවිතයට අඩුපාඩුවක් කර නොගත් කෙලී නොක්ස් එක රැයින් ලෝකයේම අවධානය දිනාගත්තේ එලෙසිනි.

► Text — Suranga

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00