2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

හුඟාක් සම්මාන දෙන්නේ දන්න කියන අයව නග්ගන්නයි

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 121

ඉතින් කොහොමද? මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දවස්වල එහෙම විශේෂිත දෙයක් නම් නැහැ මෙඩි සිනා කියන ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඊට අමතරව තවත් අලුත් ටෙලි නාට්‍යයක කොටස් කිහිපයක් රඟපාලා පොඩි විවේක කාලයක් ලැබිලා තියෙනවා. තවත් නිර්මාණයකට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඒක තාම පටන්ගත්තේ නැහැ. ඒ හැරෙන්න ඔය පාසැල්වල කලා උත්සවවලට කලාකාරිනියක් විදිහට මටත් ආරාධනා ලැබෙනවා. ඒවාට සහභාගී වෙමින් කාලය ගතකරනවා. වේදිකා නාට්‍ය ගීත ප්‍රසංගයකට විදෙස් ආරාධනාවකුත් ලැබිලයි තියෙන්නේ. බලමු ඉතින් නේද..?

අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ.. එහෙමනේ ඔබේ උප්පැන්න සහතිකේ නම ලියවිලා තියෙන්නේ. ඔබ උඩරට පළාතෙන් කලාවට පැමිණි කලාකාරිනියක්. එහෙම නේද?
ඔව්... මගේ නම තියෙන්නේ අත්තනායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ කියලා තමයි. මගේ ගම නුවර. දළදා මාලිගාවේ පෙරහැරට පළවෙනි වෙඩිල්ල සහ දෙවැනි වෙඩිල්ල පත්තු කළාට පස්සේ තමයි අපි පෙරහැර බලන්න පාරට එන්නේ. නුවර ඉඳිද්දී හැම අවුරුද්දකම හැම පෙරහරක්ම අපි වරද්දන්නේ නැතිවම බැලුවා.

මැණිකේගේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
මගේ ළමා කාලය ඇත්තටම හරිම සුන්දරයි. අපේ මව්පියන්ගේ අනුදැනුම ඇතිව හැඳුන වැඩුණ අපිට කිසිම බාහිර බලපෑමක් තිබුණේ නැහැ. ළඟ තියෙන ගෙදරකටවත් අපේ තාත්තා යන්න දුන්නේ නැහැ. සෙල්ලම් කරන්න වුණත් අපිව මුණගැස්සුවේ අපිට ගැලපෙන ළමයි විතරයි. කවදාවත් අපේ මව්පියෝ මිනිසුන්ව කොන් කළේ නැහැ. හැබැයි අපේ වයසේ හැම දරුවෙක් එක්කම සෙල්ලම් කරන්න අපිට දුන්නේ නැහැ. අපේ ගෙදර ගෑනු ළමයින් පහයි. මට අක්කලා දෙන්නයි නංගිලා දෙන්නයි. මම තමයි මැද දරුවා වුණේ. මගේ තාත්තා නුවර කාගිල්ස් ආයතනයේ සේවය කළේ.

හැම අවුරුද්දෙම  අපේ ගෙදර සොකරි නැටුවා

මැණිකේගේ ජීවිතයට කලා හැකියාවන් මුලින්ම එකතු වුණේ ගෙදරින්ද?
ඔව්... අනිවාර්යයෙන්ම. මගේ තාත්තා සොකරි නාට්‍යයක් කළා. තාත්තා තමයි හැම වතාවකම සොකරිට ඇන්දේ. මගේ අම්මටත් හරි අපූරුවට සින්දු කියන්න පුළුවන්. අපේ ගෙදර බෙරයක් තිබුණා. ඒක ගගහා තාත්තා සොකරි කවි ගායනා කළා. තාත්තා අපිට ගොඩක් කිට්ටුයි. අපිට හරි එකතුයි. අපිත් එක්ක තාත්තා සෙල්ලම් පවා කළා. අපි පස්දෙනා එක්ක ගෙදර මිදුලේ ජිල්බෝල පවා ගැහුවා. සමහරදාට හවස අපි පස්දෙනාව ළඟින් තියාගෙන අපිත් එක්ක කාඩ් පැක් සෙල්ලම් කළා. හැබැයි තාත්තා හැමදාම හැන්දෑවේ පහට වැඩ ඇරිලා ගෙදර එද්දි අපි කාටවත් එළියේ ඉන්න බැහැ. ඔක්කොම ගේ ඇතුළේ ඉන්න ඕනේ. ඒවා නීති රීති නොවුණට පුරුද්දකට වගේ අපි ඒ දේවල්වලට හුරු වුණා.

ඔබ පාසැල් අධ්‍යාපනය ලැබුවේ මොන පැසලෙන්ද?
මුලින්ම සෙංකඩගල මහා විද්‍යාලයෙන් මම අධ්‍යාපනය හැදෑරුවා. ඒ පාසැලට ගෙදර ඉඳන් අපිට යන්න තිබුණේ පොඩි දුරයි. අපි ඒ දුර හැමදාම උදේට දවල්ට ගියේ ආවේ පයින්මයි. සමහරදාට බස් එකේ යන්න හදද්දී තාත්තා අපිට විහිළු කරනවා. අපේ ඉස්කෝලෙට වඩා තාත්තාගේ සේවා ආයතනයට යන දුර ප්‍රමාණය වැඩියි. හැබැයි කවදාවත් තාත්තා බස් එකේ වැඩට ගියේ නැහැ. අපි ඉස්කෝලෙටත් යන්න කලින් තාත්තා වැඩට ගිහින් ඉවරයි. ඒ තරම්ම තාත්තා හරි කඩිසරයි. හරි කාර්යශූරයි. සෙංකඩගල මහා විද්‍යාලය ඩී. එස්. සේනානායක විදිහට නම වෙනස් වුණා. ඒ නම වෙනස් කරන එකේ ප්‍රධාන ආරාධිත අමුත්තිය විදිහට ගියේ මමයි. සෙංකඩගල මහ විද්‍යාලයෙන් පසුව මම නුවර මහමායා බාලිකාවට ඇතුළත් වුණා. පාසැල් කාලයේදී මම හරි ජනප්‍රිය කෙනෙක්. කලාවයි අධ්‍යාපනයයි දෙකම එක වගේ පවත්වාගෙන ගිය නිසා මට ‍පාසැලේ බොහෝ කීර්තිමත් නාමයක් තිබුණා. විදුහල්පතිනිය, ගුරැවරැ මට පුදුම විදිහට ආදරෙයි. පාසැලේදී නැටුම් වගේම සංගීතයටත් මම එකසේ දස්කම් දැක්වුවා.

ඔබ නාට්‍ය කලාව පිළිබඳව යම් හැදෑරීමක් කළේ නැද්ද?
කළා... මම මිහිරිපැන්න කලායතනයට සම්බන්ධ වුණා.. එතකොට මට කලාව පිළිබඳ ලොකු දැනුමක් තිබුණේ නැහැ. නමුත් මගේ හැකියාවක් නිසාම ඒ කලායතනයෙන් නැටුම් සංගීතය හදාරන්න මට ඉන්දියාවට ශිෂ්‍යත්වයක් ලබා දුන්නා. නමුත් ඒ වෙද්දි මම ගොඩක් පොඩි නිසා අම්මයි, තාත්තායි මාව ඉන්දියාවට යවන්න බය වුණා. ඒ නිසා කොළඹට ඇවිත් ඉගෙනගත්තු මාව අම්මලා ආයෙත් නුවරට එක්කරගෙන ගියා. පී. වී. නන්දසිරි මහතාගෙන් මම ශ්‍රාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. ඒ වගේම උඩරට පහතරට හැම නැටුම් ශිල්පයක්ම මම හැදෑරුවා. මට ගුරු වෘත්තියට යාමට අවස්ථාව ලැබුණත් ඒකට ගියේ නෑ.

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
මට එහෙම හීනනම් තිබුණේ නැහැ. හැබැයි ඉස්සර මට නළු නිළියන් දකිද්දි නම් හරි ආසයි. තාත්තා සොකරිට රඟපාපු නිසා මම රඟපාන්න ආස කළා. මට තාම මතකයි මගේ අම්මගේ සාරි කෑලි ඇඳගෙන බොරුවට රඟපෑවා. ඒ කාලේ හිටපු නළු නිළියන්ගේ පින්තූර එකතු කළා. ඉස්සර පේමන්ට්වල නළු නිළියන්ගේ පින්තූර විකුණන්න තිබුණා. ඉතින් නුවර පේමන්ට් එකෙන් ඒ පින්තූර අරගෙන ඇවිත් තාත්තා මට ඒවා ගෙනත් දුන්නා. ඒවා මම හරි ආසාවෙන් එකතු කළා. ඒවාවල තියෙන විදිහට මම කොණ්ඩ හැදුවා. හරිම ආසාවෙන් ඒවා දිහා බලාගෙන හිටියා. හැබැයි අපිට සිංහල චිත්‍රපට එහෙම බලන්න නම් එක්ක ගියේ නැහැ. අපේ තාත්තා බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට. ඒ බලන්නෙත් සතුන්ගේ, ග්‍රහලෝක ගැන කියවෙන චිත්‍රපටයි. ඉතින් අපිව ඒවා බලන්න එක්ක ගියත් අපිට ඒවා බලන්න එතරම් කැමැත්තක් නැහැ. මගේ තාත්තා රගර් මැච්, ක්‍රිකට් මැච් එහෙමත් බලන්න ගියා. ඒ යද්දිත් අපිව එක්කගෙන ගියා. අපි ඒවාටත් කැමති නැහැ. හැබැයි හැම අවුරුද්දෙම අපේ ගෙදර සොකරි නැටුවා. ඒවාට තිබුණ පුහුණුවීම් කටයුතු මාසයක් තිස්සේ කරපු නිසා අපි ඒ දේවල් දිහා බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එළිවෙනකම් බලාගෙන ඉන්න පුළුවන් අපූරු සොකරි නාට්‍යයක් හැම අවුරුද්දෙම අපේ තාත්තා නැටුවා.

ඔබ රංග ශිල්ප ශාලිකාවෙන් නාට්‍ය හැදෑරුවා නේද?
ඔව්.. රංග ශිල්ප ශාලිකාවේ ධම්මා ජාගොඩ මහතාගෙන් මම බොහෝ දේ ඉගෙනගත්තා. බොහෝ ප්‍රවීණ කලාකරුවන්ගේ කලාකාරිනියන්ගේ ඇසුර මට ලබාගන්න පුළුවන් වුණා. මගේ කලා හැකියාවන් ඉහළටම හඳුනාගත්තු කෙනා තමයි ධම්ම ජාගොඩ මහතා. මුලින්ම මම කලාවට සම්බන්ධ වෙන එකට ගෙදරින් අවසර දුන්නේ නැහැ. බොහෝම අමාරැවෙන් ඒ කැමැත්ත අරගෙන තමයි මම කලාවට එකතු වුණේ. මගේ මුල්ම නාට්‍යය වුණේ මනමේ නාට්‍යයි.

අද ඔබ දරු මුණුපරන්ගේ ආදරය දිනාගෙන සිටින ආදරණීය කලාකාරිණියක්?
ඔව්.. මට පුතාලා දෙන්නයි දුවයි ඉන්නවා. තුන්දෙනාම කලාවට දක්ෂතාවයක් තියෙනවා. නමුත් ඒ එක්කෙනෙක්ටවත් කලාවට සම්බන්ධ වෙන්න උනන්දුවක් තිබුණේ නැහැ. මම බලහත්කාරයෙන් කලාවට යොමු කරලා වැඩක් නැහැනේ. පුංචි කාලේනම් දුව ටිකක් පාසැල් මට්ටමින් කලා නිර්මාණවලට නැඹුරු වුණා. නමුත් දීර්ඝකාලීනව කලාවට යොමු වුණේ නැහැ. ඉතින් ඒ අයගේ ආදරය හැමදාකම තියෙනවා. 

ඔබ රඟපෑ පළිඟු මැණිකේ, කැලණි පාලම වැනි නිර්මාණ එදා වගේම අදටත් ඉතා ජනප්‍රියයි. එවැනි නිර්මාණවලට දායක වීම ගැන මොකද හිතෙන්නේ?
පළිඟු මැණිකේ කියන්නේ අපේ මුල්ම නාට්‍යයක් වුණාට ඒ රංගනය පිළිබඳව අපිව දැනුම්වත්වීමක් කළා. අද කාලේ එහෙම නැහැ. අද පිටපතක් අතට ලැබෙන්නේ රූගතකිරීම් කරන්නට ගියාට පස්සෙයි. සමහර පිටපත් අතට ලැබෙන්නෙත් නෑ. පළිඟු මැණිකේ කාලේදී අපිට පිටපත් අතට ලැබුණේ මාස තුනකට විතර කලින්. ඒ හැම පිටපතක්ම අවසන් කරපු පිටපත්. ඒ පිටපත්වල චරිත අධ්‍යයනයක් කරලා තමයි අපි රෑගතකිරීම් ආරම්භ කළේ. එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍යවල පවා අපි බොහෝ පුහුණුවීම් කළා. මනමේ, සිංහබාහු, වෙස්සන්තර, මහාසාර, ලෝම හංස වැනි වේදිකා නාට්‍ය කරද්දී අපි කලාව පිළිබඳව බොහෝ දේ ඉගෙනගත්තා. ඒ හැම නාට්‍යයක්ම පුදුමාකාර විදිහට මිනිසුන් වැළඳගත්තා.

ප්‍රවීණ කලාකාරිණියක් විදිහට අද මේ කලාව යන රටාව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම සමහර තැන් ගැන තියෙන්නේ ලොකු කලකිරීමක්. අද තියෙන බොහෝ සම්මාන උත්සව පවත්වන්නේ දන්න කියන අයව සතුටු කරන්න විතරයි. අද හරි ඇගයීමක් සිද්ධ වෙන්නේ නැහැ. නිර්මාණයකදී වුණත් අවසන් කරපු පිටපත් ලැබෙන්නේ නැහැ. කලකිරුණත් ඉතින් අපි මොකද කරන්නේ? මේ තමයි යන රටාව. කලාව විතරක් නෙවෙයි අද හැමතැනම හරි දූෂිතයි. ඉතින්.. මේ දූෂිත දේවල් ඉවර වෙලා අපි පුංචි කාලේ ගතකරපු ඒ ළමා කාලය වගේ හරි අපූරු කාලයක් අනාගත දරු පරපුරට ලැබෙයිද කියලා මම දන්නේ නැහැ.

► Text - Dishani  /   Pic - Sumudu   

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00