2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

මම ඡන්ද කරන්නයි යන්නෙ...

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 199

ඇය කලක් පුංචි තිරයේ නිතරම දකින රුවැත්තියකව සිටියාය. පසුකාලීනව විවාහය නිසා තරමක් රංගන කටයුතු වලින් බැහැර වුවද එයින් පසු මහින්දාගමනය චිත්‍රපටය හරහාත් මේ දිනවල පෞද්ගලික රූපවාහිනී නාලිකාවක රියැලිටි තරගයක් හරහාත් ඇය කරළියට බැස ඇත. ඒ නිසා කාලෙකට පස්සේ ඕෂධීට කතා කරන්න හිතුණා.

මේ දවස්වල මොකද කරන්නෙ?
මේ දවස්වල හිරු මෙගාස්ටා නිසා ගොඩක් කාර්‍යබහුලයි. මම ඉන්නෙ රාවන්ස් කණ්ඩායමේ.

ටෙලිනාට්‍යවල වැඩිපුර දකින්න නැත්ෙත මොකද?
ටෙලිනාට්‍ය නම් බාර ගත්තෙ නෑ මේ දවස්වල. මම කලින් රඟපාපු ස්වේත ගං තීර කියන ටෙලිනාට්‍ය මේ දවස්වල සෙනසුරාදා විකාශය වෙනවා ස්වාධීන රෑපවාහිනියේ.

චිත්‍රපට රංගනයට දායක වුණාද?
චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. මේ අවුරුද්දෙ තව අලුත් චිත්‍රපටයක රඟපාන්නත් බලාපොරොත්තු වෙනවා 

තෝරා බේරාගෙනද නිර්මාණවලට දායක වෙන්නෙ?
සමහර නිර්මාණ දිහා බැලුවම තෝරා බේරාගෙන රඟපාන එක හොඳයි කියලා හිතෙනවා. 

මෙගාවලට කැමති නැද්ද?
 ඒ කාලේ මෙගා නාට්‍ය අතරෙයි දැන් කාලේ මෙගා නාට්‍ය අතරෙයි ලොකු වෙනසක් තියෙනවා. ටෙලිනාට්‍ය නිෂ්පාදනය වීමේ ඉඳන් කලාකරැවන්ට දෙන වටිනාකමේ ඉඳලම බාල ගණයට වැටිලා තියෙන්නෙ.

පහුගිය කාලේ රාවයක් තිබුණා ඔබ දේශපාලනයට එනවා කියලා? 
දැනටත් මම පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වෙනවා. බිම් මට්ටමින් දේශපාලන කටයුතුවලට සම්බන්වෙලා ඉන්නවා කියලා කිව්වොත් හරියටම හරි. 

ඒ කියන්නෙ ඕෂධී කියන නිළිය ඉවත්වෙලා අනාගතයේ දේශපාලන නායිකාවක් මතු වෙයිද?
 නිළිය කවදාවත් ඉවත් වෙන්නෙ නෑ. මම මැරෙනකම් රඟපෑම් කටයුතු කරනවා. කලාවට ටිකක් කාලය අඩුවෙයි. දේශපාලනය හරහා ජනතාවට සේවයක් කරන්න මම කැමතියි. කොයි කාලෙද කියලා හරියටම කියන්න බෑ. දැනටමත් මම දේශපාලනයේ ක්‍රියාකාරී සාමාජිකාවක්.

ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නෙ කාවද?
එදා ඉඳන් අද වෙනකල් මට ක්ෂේත්‍රයේ සමීප යාළුවො හිටියෙ නෑ. හැමෝම එක්ක මම සුහදයි. මේ දවස්වල නම් රාවන්ස් කණ්ඩායමේ හැමෝම හුඟක් ළඟින් ඇසුරු කරනවා. පෞද්ගලික මට්ටමින් මම හුඟක් ළඟින් ඇසුරු කරන්නෙ හිමාලි සයුරංගිව.

Text - Thanu / Pic - Internet