2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා

ඒක හරියට අහස් කූරක් වගේ

 2017 පෙබරවාරි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

දක්ෂ නිරූපණ ශිල්පියෙක් විදියට ජාත්‍යන්තරය ජය ගත් අනුජ් රණසිංහ මේ වන විට රංගන ශිල්පියෙක් බව ඔබ  දන්නවා. මේ දිනවල අනුජ් වැඩි කාලයක් යොදවලා තියෙන්නේ  නම් සිනමාවටලු. මේ ඒ ගැන හදසර සමඟ කළ කතා බහ. 

මේ දවස්වල මොකද කරන්නේ?
අග පිපි මල් චිත්‍රපටයේ වැඩ. ඒ වගේම මේ දිනවල හිරු මෙගා ස්ටාර් එකේ ඉන්නවා. 

කලාවට එන්න හීනයක් තිබ්බද?
ඔව් ඇත්තටම හීනයක් කිව්වොත් හරි. හැබැයි නළුවෙක් කියන තැනට වඩා මගේ හීනය  වෙලා තිබ්බේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් වෙන එක.

නිරූපණ ශිල්පියෙක් වීම රංගන ශිල්පියෙක් වෙන්න හේතුවක් වුණා නේද?
අනිවාර් යෙන්ම.

පවුලේ අය කලා ක්ෂේත්‍රයට සම්බන්ධයිද?
නැහැ. කිසිම කෙනෙක් නැහැ. මම ම හොයාගෙන මම ම අඳුරේ අතපත ගාගෙන තනිව ආපු ගමනක් මේ. 

රංගනය ගැන හැදෑරීමක් කරලා තියෙනවද?
දැන් මම රංගනය කියන දේ පටන් ගත්තත් එක්කම රංගනය ගැන හැදෑරීමක් කරනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතා, මහේන්ද්‍ර පෙරේරා මහතා, අනෝජා වීරසිංහ මහත්මිය යටතේ අපි මාසෙකට සැරයක් work shop වලට සහභාගී වෙනවා. 

ඔබේ මුල්ම රංගනය? 
පුංචි තිරය ගත්තොත් ස්වර්ණවාහිනියේ විකාශය වූ දිලුක ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ සයුරි නාට්‍ය. සිනමාවෙන් නම් චන්ද්‍රන් රත්නම් මහතා අධ්‍යක්ෂණය කළ මේ වගේ ආදරයක් චිත්‍රපටය.

දැන් වැඩි ඉඩකඩක් දෙන්නේ සිනමාවටද?
දැන් මගේ ලොකුම හීනය සිනමාව තුළ හොඳ නිර්මාණ සමඟ රැදෙන්න. 

චරිතයක් භාර ගනිද්දී මුලිකව හිතන්නේ මොනවද?
මුලින්ම නම් චරිතයේ ස්වභාවය. මම කැමති මට අභියෝගයක් වන ඇඟ කිලිපොලා යන චරිත කරන්න. 

එතකොට මුදල්? 
මුදල්වලට හිමිවෙන්නේ දෙවැනි තැන. 

අනුජ් කැමති ජනප්‍රිය කෙනෙක් වෙන්නද? දක්ෂ කෙනෙක් වෙන්නද? 
මම කැමති දක්ෂ කෙනෙක් වෙන්න. මොකද ඒ දක්ෂතා නිසාම නිරායාසයෙන් ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන්. 

ජනප්‍රියත්වය දකින්නෙ කොහොමද?
හ්ම්ම්... හරියට අහස් කූරක් වගේ. ඉහළට යන්න ගත්තම ඉහළටම යනවා. නමුත් කවදා හරි ඒ ජනප්‍රියත්වය නැති වෙන දවසක් එනවා. අපි හැමෝම ඒ ගැනත් යටි හිත තුළ මතක තියාගෙන ජීවත් වෙන්න ඕනේ. 

ජනප්‍රිය කෙනෙක් වෙන්න මුලිකවම තියෙන්න ඕනේ කියලා අනුජ් හිතන්නේ. වාසනා ගුණයද? දක්ෂතාව ද? 
එතැනදී මම හිතන්නේ වාසනා ගුණය මුල් වෙනවා කියාලා. මොකද දක්ෂ අය අතරිනුත් වාසනාව තියෙන අය තමා ජනප්‍රිය වෙලා ඉන්නේ. 

ආදරය ගැන මොකද හිතෙන්නේ? 
ආදරය අපි හැමෝම බලාපොරොත්තු වෙන සුන්දර දෙයක්. ජීවිතේ එක එක කාලවලදී අපි ආදරය අත්විඳිනවා. මගේ ජීවිතය ගත්තම නම් ආදරය කියන්නේ බලාපොරොත්තුවක්. 

දැන් ඔබ පෙම්වතෙක්ද? 
නැහැ. මේ කාලය මම සම්පුර්ණයෙන්ම  යොදවලා තියෙන්නේ  රංගනයට. මේ ගමන සාර්ථක කරගත්තාට පස්සේ මමත් ආදරය ගැන විවාහය ගැන හිතනවා.

මේ වසර තුළ සපුරා ගන්න තියෙන ප්‍රධාන ඉලක්කය? 
මමත් මගේ සමීප මිතුරෙකුත් දැන් කාලයක් තිස්සේ  plan කරගෙන යනවා Film එකක් කරන්න. ඒ තුළ තියෙන්නේ  මගේ ජීවිතයට ගොඩක් සමීප සත්‍ය කතාවක්. ඒ වගේම තමා පිටපත ලියන්නෙත් මමත් මගේ යාළුවත් එක්ක. ඉතින්  කොහොම හරි මේ වසර තුළ මේ Film එක කරලා නිම කරන එක තමා ප්‍රධාන ඉලක්කය.

Text - Anusha Ranasinghe  /  Pic-Sumudu

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00